විසල් අරමුණු පූදන කුසල්ලාගේ බංග්ලාදේශ ගැම්ම | සිළුමිණ

විසල් අරමුණු පූදන කුසල්ලාගේ බංග්ලාදේශ ගැම්ම

 

'ෆීනික්ස් කුරුල්ලා අළු මතින් නැඟී සිටින කල්පිත කුරුල්ලෙකි. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ද සිදුව ඇත්තේ අළු මතින් නැඟී සිටීමට ය. ඒ වෙනුවෙන් නව කණ්ඩායමක් නිර්මාණය කර තිබේ. අඩුපාඩු මකා ගනිමින්, ශක්තිමත් ස්ථාන වර්ධනය කර ගනිමින් දුර ගමනක් යන්නට ඔවුනට සිදුව ඇත. එම පළමු චාරිකාවේ අත්දැකීම් සම්බන්ධ ව සිදුකරන විශ්ලේෂණයකි මේ.'

“තරගාවලිය ජය ගත්තා කියලා අපේ කාර්යය අවසන් නැහැ.” එසේ කීවේ බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් ය. ඔහු එය පැවැසුවේ ශ්‍රී ලංකාව හා පැවැති දෙවැනි තරගයෙන් ජය ලබා තරගාවලියේ ජය 2-0 ලෙස තහවුරු කර

ගැනීමෙන් අනතුරුව ය.

මෙයින් ඔහු අදහස් කළේ තරගාවලිය සම්පූර්ණයෙන්ම ජය ගැනීම තම අපේක්ෂාව බවය. එසේ වුවත් ඔවුනට එය එලෙස සම්පූර්ණ කර ගැනීමට ඉඩ අවකාශ සැලසුණේ නැත. නායක කුසල් පෙරෙරාගේ නායකත්වයේ ශතකය, ධනංජයගේ අර්ධ ශතකය, දුෂ්මන්ත චමිරගේ

16/05 විශිෂ්ට පන්දු යැවීම මෙන්ම ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ඒ අවකාශය බොඳ කර දැම්මේ ය.

”කඩුල්ලේ තැන්පත් වුණාට පස්සේ මම මගේ ක්‍රීඩා ශෛලිය වෙනස් කළා. මට අවශ්‍ය වුණේ ලකුණු 50 ක් 60 ක් ගහන්න නොවෙයි. පන්දුවාර 30 ක 35 ක පමණ දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න මට උවමනා වුණා.”තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නව නායකයා එලෙස පැවසුවේ ය.

තරග තුනේදීම වැඩිම කඩුලු දවා ගනිමින් දුෂ්මන්ත චමීර කඩුලු නවයක් ලබා ගත් අතර මුස්ෆිකර් රහීම් අර්ධ ශතක දෙකක් සමඟ

ලකුණු 237 ක් ලබා ගත්තේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වෙමිනි.

“අද තණතීරුව දෙස බලන විට එය කලින් තරගය පැවැති තණතීරුවේ පිටපතක් හැටියට නම් කළ හැකියි.” දෙවැනි එක්දින තරගයට පෙර ක්‍රීඩා පිටියේ තණතීරුව ගැන විස්තර විචාරක

ටිනෝ මොනොටෝ පැවැසීය. ඔහු එසේ තණතීරුව ගැන පැවැසුව ද තරගය අවසානයේ දී තණතීරුව පමණක් නොව සම්පුර්ණ තරගයම මුල් තරගයේ පිටපතක් වූවායැයි පැවැසුවහොත් වඩාත් ම නිවැරැදිය. වෙනසකට තිබුණේ මුල් තරගයේ දී මෙන් වනිඳු හසරංගගේ පිත්තෙන් ලකුණු ඇදී නො ඒම ය.

තරග තුනකින් සමන්විත තරගාවලිය මේ අනුව බංග්ලාදේශය ජය අත් කර ගත්තේ තවත් එක තරගයක් ඉතිරිව තිබියදී 2-0 ලෙසය. මෙය ඔවුනට ඓතිහාසික තරගමාලාවකි. ඒ 1986 ආරම්භ වූ දෙරට අතර එක්දින තරග වංශකතාවේ තරගමාලාවකින් මුල්වරට ශ්‍රී ලංකාව පරාජය කළ පළමු අවස්ථාව එය වීමෙනි. මෙම ජයග්‍රහණයත් සමඟින් ලකුණු 50 ක් ලබා සිටි බංග්ලාදේශය 2023 ලෝක කුසලාන සුපර් ලීග් වටයේ ප්‍රථම ස්ථානයට පත්වීමට ද සමත් වුණේ ය.

මුල් තරග දෙකේදීම බංග්ලාදේශ නායකයා කාසියේ වාසිය ලබා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේ ය. මුල් තරගයේදී ඔවුන් 257/06 ලෙස ලකුණු ලබාගත් අතර දෙවැනි තරගයේ දී ලැබූ ලකුණු ගණන 246 කි.මෙම තරග දෙකේදී ම ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම හා පන්දු රැකීම හොඳ තත්ත්වයක පැවතිණි. විශේෂයෙන් ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමේදී කැපී පෙණුන හ.

රුපවාහිනිය හා සංවාදයට එක් වෙමින් මෙරට හිටපු ප්‍රවීන ක්‍රීඩකයින් වන අනුෂ සමරනායක හා රවින්ද්‍ර පුෂ්පකුමාර ද ශ්‍රී ලංකා පන්දු යැවීම මෙන්ම පන්දු රැකිම අගය කළහ. “තම ඉනිම් දිගු ඉනිම්වලට පරිවර්තනය කිරීමට පිතිකරුවන් අපොහොසත්වීම ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වුණා.” පළමු තරගයේ පරාජය සම්බන්ධයෙන් බංග්ලාදේශ ප්‍රකට විස්තර විචාරක අතාර් අලි ඛාන් පැවසීය. ලකුණු හඹා යාමේ දී දීර්ඝ ඉනිම් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වාර්තා නොවීම මෙහිදී දැක ගැනීමට ලැබුණු අවාසිදායක තත්ත්වයකි.

කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් මුල් තරගයේ දී ලකුණු විස්ස ඉක්මවා ලබා ගත්ත ද එම ලකුණු දිගු ඉනිම් බවට පත් කරගැනීමට අසමත් වූහ. දෙවැනි තරගයේ දී ද නම් දැරූ පිතිකරුවන් එක් අයෙකු ගෙන් හෝ දිගු ඉනිමක් දැක ගැනීමට නොලැබිණි. ප්‍රතිවාදී කණ්ඩායමේ පීඩනය මධ්‍යයේ එම පීඩනයෙන් මිදීම පිණිස අපරික්ෂාකාරී පහරවල් එල්ල කිරීම ද බොහෝ දැවීයාම්වලට හේතු විය.

”කණ්ඩායමට තෝරාගෙන සිටි තරුණ ක්‍රීඩකයින් දක්ෂයින්. නමුත් අත්දැකීම් අඩු කම ඔවුනට බලපෑවා” දෙවැනි තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසා තිබුණේ ය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පළපුරුදු ක්‍රීඩකයින් ඉවත් කර තරුණ ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කිරීම සම්බන්ධව පක්ෂව මෙන්ම විරුද්ධව ද අදහස් පළව තිබිණි.

”තරුණ ක්‍රීඩකයින් එක් කිරීම ඇත්තෙන්ම හොඳයි නමුත් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සිටින ස්ථානය දෙස බලන විට මෙය ඊට අවස්ථාව ද කියා සැකයි.” මේ එක් විචාරකයෙකුගේ අදහසය.විචාරකයින් හට අමතරව සාමාන්‍යය බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.

”මම හිතන්නේ ශ්‍රී ලංකා සංචිතයට මැතිව්ස්, චන්දිමාල් හා කරුණාරත්න ඇතුළත් කර මෙයින් දෙදෙනෙක් සෑම තරගයකටම තවත් තරගමාලා හතරක් පහක් සඳහා යොදවා ගත යුතුයි. ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමෙන් යොවුන් ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසයත් ඉහළ යාවි” ඒ මුහම්මද් අලි නමැති ක්‍රිකට් ලෝලියා ය.

“ප්‍රවීන ක්‍රීඩකයින් හට කණ්ඩායමේ දොරවල්

වසා නැහැ. ඔවුන් ඉදිරියේදී දක්වන දස්කම් මත

යළි කණ්ඩායමට එන්නට පුළුවන්.” මෙසේ කියන්නේ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ය.

“ඇයි ඔහුව අංක අට ස්ථානයේ පන්දුවට පහර දීමට යොදවන්නේ. කිසිම අපහසුවකින් තොරව ඔහුට අංක 05 හෝ 06 වැනි ස්ථානවල පන්දුවට පහර දීමට පුළුවන්.” මේ විස්තර විචාරක අතාර් අලි ඛාන් වනිඳු හසරංග ගැන අදහස් දක්වමින් පවසා තිබිණි. ඒ පළමු එක් දින තරගයේ වනිඳු ගේ පිතිහරඹය දැක මහත් පුදුමයට පත්වීමෙන් අනතුරුව ය.

“ඔහුගේ එකම පහරක්වත් සම්මතයෙන් පිට පහරවල් නොවෙයි. සියලුම පහරවල් නියම ක්‍රිකට් පහරවල් බව කිව යුතුයි.” මෙම විස්තර විචාරකයා වැඩි දුරටත් පවසා තිබිණි. කෙසේ නමුත් එම තරගයේ වනිඳු පන්දුවට පහරදීමට පිටියට පැමිණෙන විට බංග්ලාදේශ පිලේ ජයග්‍රහණය සහතිකවී තිබුණේ ශ්‍රී ලංකා පිලේ කඩුලු 06 ක් ලකුණු 102 කදී බිඳ වැටීම හේතුවෙනි.

සැබැවින්ම ඔහු තවත් මඳ වෙලාවක් පිටියේ රැඳී සිටියේ නම් තරගයේ ජය ශ්‍රී ලංකාවට අත් වන්නට ඉඩ තිබිණි. මුල් තරගයේදී පිතිකරණ අංශයෙන් ශ්‍රී ලංකාවේ ගෞරවය යම් පමණකින් හෝ රැකුණේ නම් ඒ ඔහු පන්දු 60 කින් ලබාගත් ලකුණු 74 නිසාය. මුල් තරගයේ එක අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු පුවරුව 99/04 ලෙස කියවිණි. මුස්ෆිකර් රහීම් 84, මහමදුල්ලා රියාද් 54 ලෙස ලකුණු රැස්කරමින් කලබල නොවී මනා සංයමයකින් එක එක ලකුණ එක්කරමින් සිය ඉනිම ගොඩ නැංවූහ.

එමගින් තරගයේ ශ්‍රී ලංකාව උකහාගෙන තිබූ වාසිදායක තත්ත්වය සංචාරකයන්ගෙන් ඉවතට රැගෙන යාමට එය ඉවහල් විය. දෙවැනි තරගයේ දී ද මෙය එලෙසම සිදුවිය. ලකුණු 74 ට කඩුලු 04 ක් ලෙස කඩුලු බිඳ වැටි තිබිය දී ඔවුන් දෙදෙනා ලකුණු සංඛ්‍යාව 161 දක්වා ලකුණු පුවරුව වර්ධනය කරන්නට සමත් වූහ. මුස්ෆිකර් මෙහිදී ලකුණු 125ක් ලබා ගත්තේය.

” මුස්ෆිකර් කවදත් ශ්‍රී ලංකාවට එරෙහිව දස්කම් දක්වනවා.”එම අවස්ථාවේ අතාර් අලි ඛාන් තම පිතිකරුවා ගැන වඩාත් විශ්වාසයෙන් කතා කළේ ය.

“ ශ්‍රී ලංකාව මැද පන්දු වාරවල දී කඩුලු දවා

ලිය හැකි චමින්ද වාස්, මුරලිදරන්, මාලිංග වැනි පන්දු පන්දු යවන්නන් ඉක්මනින් සොයා ගත යුතුයි.” යනුවෙන් ද පවසමිනි.

එමෙන්ම බංග්ලාදේශ පන්දු යවන්නන් ද තණතීරුවේ මන්දගාමී ස්වභාවය මැනවින් ප්‍රයෝජනයට ගත්තේ මෙහෙදී හසන් 30//04 හා 28/03 මෙන්ම මුස්ෆිකර් රහමන් 34/03 හා 16 /03 ලෙස මුල් තරග දෙකේ දී පන්දුයැවීමෙන් දස්කම් දක්වමිනි.

ටස්කින් අහමඩ් තෙවන තරගයේදී කඩුලු හතරක් දවාලීය. මේ අතර මුල් තරගය අතරතුර තවත් විශේෂ සිදුවීමක් වාර්තා විය. ඒ එරට ක්‍රිකට් ප්‍රධානි නස්මුල් හසන් තම පිලේ ඇතැම් පිතිකරුවන් දැවී ගිය ආකාරය දැඩි ලෙස විවේචනය කිරීමෙනි.

”ජයගැනීම හෝ පරාජය නොවෙයි වැදගත්. ඔවුන්ගේ පහරවල් තෝරාගැනීමයි ගැටලුව. මේ විදිහ නම් නව පුහුණුකරුවෙකු ගෙන ඒම නොවෙයි මූලික කාරණය වෙන්නේ. අද අපේ සමහර දැවී යාම් අන්තිම අශෝභනයි. මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩකයින් සමග සාකච්ඡා කර ඔවුන්ට යම් ප්‍රශ්නයක් තිබේ ද යන්න සොයා බැලිය යුතුයි.” යැයි පවසා තිබුණේය.

මෙහිදී ඔහු සෘජුව ඇඟිල්ල දිගු කර තිබුණේ ආරම්භක පිතිකරු ලිටන් දාස් හා මොහොමඩ් මිතුන් හට ය. ඒ ඔවුන් මුල් තරගයේ ලකුණු නොලබා දැවී යාම සමඟ ය. එමෙන්ම ලිටන් දාස් ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීම ද ඔහු ප්‍රශ්නයට නඟා තිබිණි. මේ හේතුව නිසාමදෝ මොහොමඩ් මිතුන් දෙවැනි හා තෙවැනි තරගවලින් ද ලිටන් දාස් අවසන් තරගයෙන් ද ඉවත් කර තිබුණේ ය.

අනිල් විරසිංහ

Comments