කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

තනි­යට එන්න

ගම්මා­න­යට ගොම්මන් හිරු එබෙන පැයේ
ළඳ­කට තනිව ඉනු හොඳ නැහැ වෙල් එළියේ
කුඹුරේ නියරෙ ඇති තණ­කොළ කපන ලියේ
මොන එහෙ­ක­ටද? මගෙ හිත නුඹ වෙතට ගියේ

සුරතේ දෑකැත්ත වේගෙන් ලෙළෙන පැයේ
ළා තණ අහුරු පැන­ගෙන විත් මල්ලෙ තියේ
නළලේ දෙකෙ­ළ­වර දහ­දිය ගලා ගියේ
මුතු ඇට­ව­ලට නැති ඔප­යක් එතැන තියේ

පහ­ළට නැමුණු බඳ දේදුනු හැඩ ගන්න
අප­හ­සු­වක්ය මට ඒ දෙය නර­ඹන්න
හැට්ටේ කර කඩු­ල්ලෙන් පැන­ගෙන යන්න
හස පැට­වුන් දෙදෙන පොර­ක­නවා ඔන්න

තණ ගෝනිය බරද? හිස මත්තට ගන්න
මට පිළි­වන්ය ඒකට සහ­යක් දෙන්න
අඩ නෙතගේ බැල්ම බැහැ තේරුම් ගන්න
හිතුවේ නැද්ද? තව­මත් දීගෙක යන්න

කුම­කට මේ තරම් නුඹ නැහෙ­න­වද නගේ
කිරි එළ­දෙ­නට ඇති සෙනෙ­හස නිසයි හැඟේ
උන් ටික බලා­ගත හැක මට දරුවො වගේ
තනි­යට වරෙන්! පාළුව ඇති පැලට මගේ

සිරි­සේන පල්ලෙ­වත්ත
 

------------------

මහ­මායා නුඹයි..

ගැහෙන හද මොහො­ත­කට
නැවතී මගේ හිස ගිනි ගත්ත වේලේ..
නුඹේ උණු­සුම දුරස්වී දින
සති ගණන් ගත­වෙච්චි කාලේ..

නොපෙන්වා හිත දරා­ගෙන
හිස පහත් කර­ගෙන ගෙවුණු වේලේ
නුඹේ සෙනෙ­හස තවත් දැනුනා
අඩු නැතුව මට වගේ බාලේ .....

සඳ වසා­ගත් වලා­කුළ සේ
දෑස් පම­ණයි දුටුවෙ ඔබගේ
අඟුළු වැටිලා කුටිය තුළ
මගෙ හුරු සිනා­වත් මැකී මුවගේ...

බෙදා වෙන්කළ රස බොජුන්
පිරි පිඟන් දෙද්දි දුරින් වාගේ ...
සඟ­ව­ගත් ඔබෙ කඳුළු දැක්කා
මහා­මායා මවුනි මාගේ...

උරුම කිසි­ද­ව­සක මක­න්නට බෑ
පෙළි­න්පෙළ එනව ඇත්තයි
විඳින විඳ­වන සියලු දේවල්
සසර පින් පවු කරපු මත්තෙයි ....

ඔබේ සෙනෙ­හස මනි­න්නට බෑ
ලෙයක් සුදු­කිරි කරපු හින්දයි ....
ආද­රෙයි මගෙ අම්මෙ ඔබ
මගෙ ජීවි­තය හැම­දාම සත්තයි .....

චන්ද්‍ර­සිරි හෙට්ටි­ආ­රච්චි
 

-------------------

 

මගෙ දුවේ

දෙගු­රුන් දෙපා ළඟ කඳු­ළින් දණින් වැටී
බුලත් හුරුලු දී අව­සර පැතුවෙ නැති
පෝරු මස්තකේ අෂ්ටක හඬ නොනැගී
පති­කු­ල­ය­කට නුඹ රහ­සින් යන්න ඇතී...

ලේ කිරි කර පෙවූ මත­කය හද පාරා
සුර­තල් බැලුව අව­දිය මන­සින් පීරා
හෙළ­මින් නෙතින් වෑහෙන කඳු­ළැලි ධාරා
පපු­වෙන් නුඹව රකි­නෙමි අත අත­නෑරා...

අත­කින් වෙරළු ගෙන සෙනෙ­හස පුරෝ­ගෙන
මිට­කින් පලා ඉන නෙරියේ ඔතා­ගෙන
නෙත­කින් නිදි නැතිව ඇකයේ හොවා­ගෙන
නැළවූ යුගය සිහි­වෙයි හද දවා­ගෙන...

දුවේ නුඹට මවු කිරු­ළක් පල­න්ඳන
සුර­තල් සිඟිති මුදු දෙතො­ලක හැඬුම් ළඟ
නුඹේ ළයට කිරි කඳු­ළක බර දැනුන
දින­යක නුඹට වැට­හෙයි මව­කගෙ අරුම....

කුමාරි රත්නා­යක
 

-------------------

පරි­ණා­මය

අඳුර තුළින් සෙව­ණැ­ල්ලකි
ගිනි පුළි­ඟුව කඩා වදියි
නිහැ­ඬි­යාව වලා­කු­ළෙනි
ඊට පසුව ප්‍රීන­න­යකි
හද තුළ නැඟි ප්‍රමෝ­ද­යක්
වේද­නාව හඹා දිවෙයි
මළ­වුන්ගේ සීතල අළු
නව දිවි­යක් අර­ඹනු ඇත

‘Evolution’ - ජෝන් බැනි­ස්ටර් ටැබ් (1845 – 1909)


ඇමෙ­රි­කානු කවි­යකු හා ගීත රච­ක­ය­කුවූ ජෝන් බැනි­ස්ටර් ටැබ් වර්ජි­නි­යාවේ ඉපිද, මේරි­ලන්ඩ්හි ශා. චාර්ල්ස් විශ්ව විද්‍යා­ලයේ ග්‍රීක් හා ඉංග්‍රීසි භාෂා ආචා­ර්ය­ව­ර­යකු ලෙස සේවය කර­මින් සිටි­යදී ජන­පද සමගි සන්ධා­නයේ යුද හමු­දා­වට බැඳුණේ ය. සතුරු මග අව­හිර කරද්දී, ඒකා­බද්ධ (Union) හමුදා අත්අ­ඩං­ගු­වට පත්වූ ඔහු‍ ­ඔ­වුන්ගේ යුද සිර කඳ­වු­රක මාස අටක් දිවි ගෙවීය. සිඩ්නි ලේනි­යර් කවි­යාගේ ගජ මිතු­රකු බවට බැනි­ස්ටර් පත්වූයේ එම සිර කඳ­වු­රේ­දීය. සන්ධා­නය ජන­පද ජය ගැනී­මෙන් පසු, 1872 දී කතෝ­ලික ආගම වැල­ඳ­ගෙන, 1884 දී ඔහු පූජ­ක­ව­රය ලැබීය. ‘Born Rules’ කාව්‍ය සංග්‍ර­හයේ නිර්මා­තෘවූ හෙතෙම ඉංග්‍රීසි භාෂාව පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස ප්‍රසි­ද්ධව සිටි­යේය.

පරි­ව­ර්ත­නය - බර්න් දස­නා­යක

-----------------

මත­කය

නිල්පාට තරු පිරුණ
ආකාසේ ලස්ස­නයි
නුඹෙ සිනා වත වාගේ
මුළු දවස ලස්ස­නයි...

බෝ ඈත දුර ගෙවා
ආ ගමන දුෂ්ක­රයි
කවි­යක්ව සිත­ගාව
මතක සැම­රුම් මැවෙයි...

අචලා මධු­රංගි

-----------------

 

ඇස් දෙක

දුටුවා එක වරක්
බැලුවා තව වරක්
ගියා ආපසු නොබලා
මත­කයේ රඳවා
ඒ දෑස

ආනන්ද වි‍ජේති­ලක

--------------------

 

සුන්ද­රය ඒ ගඟ ළඟ

නිලන තුඟු තුරු වියන් දලු පත්
සෙමෙර සැලෙනා මිතුරු සුළඟේ
ගලන ගං දිය තාලෙ අල්ලා
එ'වන ගුම්බය පවා ගුම් දේ...

ඉපිළි ඉපිළී සීත සිතු­විලි
'හෝ' නගා දිය තරග මැද්දේ
පැටලි පැටලී රැහැයි නාදෙක
සකුණ මියැ­සිය රාව නැංවී....

ළතෙත් තුරු ගොමු තෙමා හිරි­පොද
වැටී ගං දිය පවා ගැස්සී
ඇදෙත් කුඩ මසු එ'ගං ඉවු­රට
ඔබේ මුදු බැල්ම­කින් මත් වී....

මේ ගැජුම් ඒ අඳුරු අහ­සෙහි
විදුලි එළි පා හඬන සද්දේ
අසා තැති ගත් කෙකි­නි­යක රඟ
බලා සිටි­යෙමි ඔබට ළං වී...

විපුලි නිරෝ­ෂිණී හෙට්ටි­ආ­රච්චි
 

-----------------

 

කඳුළු වැහි

ගිනි ගන්න ඉර මල ගාව
මැරී වැටුණා සම­න­ලුන්
ඉරි තැළුණු මහ පොළව මත්තේ
හුස්ම ඉල්ලපු කණ­කො­කුන්
දැවී කර­වුණු අරටු ගස්වල
කඳන් උඩ අළු කොබෙ­යි­යන්
අහස ඉරා­ගෙන බිමට පැන­පන්
කඳුළු ඉල්ලති මිනි­ස්සුන් .. ..

දිය සිඳුණු වැව් පතුල හාරා
පැටවු වදනා කුඩ මසුන්
බිම වැටුණු අතු කැබලි අහුලා
කූඩු හද­නවා කැණ­හි­ලුන්
ඉවුරු බිඳලා බෝල ගල් මත
ඇට­සැ­කලි ඇත දිය­ක­වුන්
අඬ­න්නට තව කඳුළු ඕනද
අරන් එන්නම් කියා­පන් ......

පාළු ගල් උඩ බලන් ඉන්නවා
මොනරු එන­තුරු සෙබ­ඩි­යන්
මැරුණු ලේ ධාතු­වක් අර­ගෙන
දුව­න­වලු උණ­හ­පු­ලු­වන්
දැවෙන චිත­කයෙ වකුටු වෙනවා
දන්න හඳු­නන මනු සතුන්
අහස ගුගුරා දෙරණ කලඹා
අඬා­පන් දැන් අඬා­පන් ....

ලංකා නිරෝ­ෂි­මාලා
 

---------------------

 

මාද නුඹම වෙමි

නුඹ මා හැරදා
නොයන බව දනිමි
මක්නි­සාද යත්
නුඹ කව­දා­වත්
මා අසල නොසිටි බැවිනි
මා නුඹ හැරදා නොයන
බව කියමි
මක්නි­සාද යත්
මා සැම­දා­මත්
නුඹ අසල සිටිනා බැවිනි...

මුහු­දක් ගඟක් සොයා නොගි­යද
ගඟ මුහුද සොයා යන පරි­ද්දෙන්
මාද නුඹ කරා ඇදෙමි
ඉන් ඉක්බිති ....

මම මා සඟ­වමි
මාද නුඹම වෙමි

නෙත්මි පබ­සරා හේවගේ
හිමි­ක­මක් නැති බැඳී­මක්
ඔබව මං හංගා දැමුවා...
මට නොපෙ­නෙන්න නිල් වන­න්ත­ර­යක...

ඔබ අතු අග පිපි මලක් වෙලා..
පා යුග තෙමනා දොළක් වෙලා...
ඔබ මා ළඟින්ම නතර වෙලා...
ඔබ හැර යන්නට සිතුවා නිත­රම
විසඳු­මක් නොමැති හමු­වී­මක් ළඟ
සොදුරු බොළඳ ඔබෙ මිහිරි වදන් ළඟ
නිහඩ කළා මා සිතු­විලි සිර­කර...

වෙන් වෙන්න සිතන මතු යම් දව­සක
ඔබෙ හිත හැදු­මට නොහැකි වුණත් මට
හිමි­ක­මක් නැතත් බැඳී­මක් ළඟක
ඔබ හැම­දා­මත් ඔබ හැම තැන­කම

සඳ­රු­වන් කරු­ණා­ති­ලක
 

---------------------

 


හිත රිදුණු කෝච්චිය

හිත රිදුණ කෝච්චිය
කඳු කපා­ගෙන
බිං ගෙවල් හදා­ගෙන
බැස­ගෙන ඇවිත් පහ­ළට
හද­ව­තට ලේ විදින ස්ටේෂමේ නැව­තුනා....

හිටියේ එකම මගි­යයි
නැග හිඳ­ගෙන අසු­නක
නැවත බැස්සෙත් ඇය­මයි...

එතැන් සිට මගේ නැව­තුම් වූයේ
දුක් හිතෙන තැන්මයි...
අද ඔබට කොහො­මද
වලා­කුළු මැදින් යන­කොට
තට්ටක් පේන­වද....

වලා­කු­ළ­කට
තටු අග පිරි­මැ­දෙ­න­කොට
හිත හීරෙ­න­වද...
ඔබේ ගම­නා­න්තය
අහ­ස්යාත්‍රා තොටු­ප­ළක
මගේ දුම්රිය
තාමත් දුක හිතෙන ගම­නක...

ගම­නා­න්ත­යක් යනු
ඉමි­හිරි පැතුම් පොදි හමු­වෙනා උලෙ­ළක්
මට නම්
හිමි­ක­මක් අහිමි තැන් වල පිපෙන කුසු­මක්

මලික් තුසිත ගුණ­රත්න
 

-----------------

 

නතර වූ හෝරා කුලු­න­කින් අසමි

අතී­තෙන් අනා­ග­ත­යට
අන­ව­රත ගම­නක අව­සන
විඩා­පත්ව
මියැ­දු­ණිද ?...
අතීත අනා­ගත දෙතෙර
අතැර
උදාවූ ක්ෂණය හා නත­රව
නිවී
සැන­හු­නිද ?

ලහිරු දෙද්දු­ව­කු­මාර
 

---------------------

 

සිහි­නෙන් ගෑ සුව­ඳක්..

එල්ලා සේද සළු හිස් හිත් අහ­ස­යට
තෙලි තුඩ අගක තව­රාලා නෙක පාට
සායම් කලත් ලස්සන නෑ එය රෑට
ගෑවම ලස්ස­නයි අහ­සට කහ පාට..

තරු­මල් අහසෙ එල්ලා පාළුව බින්දා
සඳ කුම­රි­යත් තනි­යට ඒ ළඟ රන්දා
පොල් අතු අගි­ස්සෙන් සෙවැ­ණැලි ඇද බැන්දා
කෝලම් රටා මිදුලේ සඳ­රැස් ඇන්දා..

සත් සර නදින් රඟනා විල් දිය මතට
හරි ලස්ස­නයි එබු­නම සඳ කහ පාට
සිලි සිලි නදින් සෙල­වෙන උණ පඳුර යට
පෙම් කෙළි­නවා සා යුව­ළක් සුදු පාට..

කඳු ගැට පෙළක් ඇන්දා සිති­ජයෙ ඉම
මිහි­දුම් සළුව කඳු මුඳු­නත එතුව මම
දියවී ගලා හිම ගග­නත තෙමු­ණාම
සිතු­වම සේදුෙණ් කෙලෙ­සද නොදැ­නීම...

ගාමිණි අකු­රැ­ටිය

------------------------

ලොකු පුතේ..

පාන්ද­රින් කොළඹ යන්න සූදා­නම් වෙන­කොට
මතක් වුණා පුතේ නුඹව ගෙද­රින් ගිය රෑ මට
කාල බීල ජැන්ඩි පහට අපිට පාට් දැම්මට
මොනව කාල ඉන්න­වාද සිහි­වෙන කොට දුක­මට..

එක අත­කට එහෙම වුණෙ නුඹෙ හොඳ­කට වෙන්නැතී
ජීව­ත්වන හැටි තනි­වම ඉගෙ­න­ගන්න වෙන්නැතී
තරුණ කාලෙ හිතෙන ඒව සම­හ­ර­විට හරි ඇතී
කොහොම වුණත් ඔහොම ඉන්න පුළුව­න්එක හොඳ ඇතී...

ආච්චි නම් කොයි වේලෙත් අහන්නෙ නුඹ ගැන තතූ
නංගියි මල්ලි­ලාට නම් දැන් ඉව­රයි කී ගතූ
සැර වැර දැම්මට කව­දත් නොපෙ­න්නු­වට ළෙන්ගතු
නුඹෙ අම්මට හැම­දා­මත් නුඹම තමයි ලොකු පුතූ..

බස් යන්නැති ගමක ඉප­දු­ණත් මා ගිය දුර පුතේ
ඔබට යන්න යා හැකි දුර දන්න කෙනත් මම පුතේ
යහ ගුණ­දම් ගරු­ස­රු­කම් පිරු­ණොත් නුඹගේ හිතේ
යා හැකි­දුර කියන්න බෑ කාට­වත්ම මගෙ පුතේ...

පදුර ළඟට මුවෙක් මිසක පදුර නොයා යතී
ඇසූ පිරූ කෙනෙක් වුණොත් හැමෝම ළංවෙතී
අලුත් අලුත් දේවල් ගැන හිතු­වොත් නිති නිතී
සිතන තැනට යා හැකි­වෙයි දින­යක ළඟ ඇතී...

කරු­ණා­රත්න විජේ­ව­ර්ධන

---------------------

 

මම එන­තුරු

මද­ටියා මලින් සෙවණ කළ මහ­ගෙ­දර අංගනේ
රූස්ස මාර ගහ යට බංකුවේ පිටු­ප­සින්
ගලන ඟං දියේ එදා අප ඔරු පැදපු හැටි
සිහි­පත් කරයි අදද ඒ මත­ක­යන්...

කොස් කොළ බකිණි කොළ දොඹ කොළ වැටී ඇතී
පෙර දින ඇසුණු ළෙංගතු හඬ කිසිත් නැතී
පාලුව රැදුනු ගෙත්තම් හුද­කලා වැසී
ඉඳ­හිට රැහැ­යි­යෙ­කුගේ හඬ නිමක් නැතී....

ඟං ඕවිටේ මඳ පවනේ සිනාවෝ
දෙවැටේ මධු මල්වල රැඳි සිනාවෝ
කුඹුරේ රන් පැහැ ගොයමේ සිනාවෝ
පැරදූ නුඹේ මුව රැදි මල් සිනාවෝ....

කන්ද පන්සලේ කළු ගල් තලා­වට
නා මල් අරන් මම පැමි­ණෙන වෙලා­වට
සුදු ඔස­රි­යෙන් හැඩ වී නෙත් අයා­ගෙන
සිටියා මැණිකෙ මම එන­තුරු බලා ගෙන....
.
ඉරේෂා දුලාං­ජලි කල්දේරා
 

--------------------

 

අහිමි ප්‍රේම­යක කතා­වක්


එදා වැහි දින­යක්
තිබුණා හද­වතේ සොදුරු පැතු­මක්
ගියා මම නොසිතා වරු­වක්..
දුටුව දේ පෑරූවා අහිං­සක හද­ව­තක්
ඇය කිවේ මුසා­වක්
මට වුණේ ලොකු මුළා­වක් ....

ගෙන දෙන්න බැරි­වු­ණත් ලෝක­යක්
මම පැතුවේ රැක ගන්න කාල­යක්
හිමි නොවන ප්‍රේම­යක උරු­ම­යක්
ඔව් මේක මට වුණු එක්තරා කතා­වක්
හදේ සිවු කොනම වෙළා­ගත්
හුස්ම­කින් පවා හැඳි­න­ගත්
සංසාර බැමි එක්ක හඬා­ගත්
ආත්මීය ප්‍රේම­යක්...

ඉතින්
හමුවී හිමි නොවු­ණත්
තහ­නම්ද
එවැනි හිත­කට පෙම්ක­ර­න්නට....

ප්‍රසන්න වන්නිනායක

----------------

 

කළු

යන්න හිතුණු වෙලා­වට
ගමන් යන
කවුරු මුලිච්චි වුණත්
මක් කර­න්නද...

ඉන්න හිතු­නාම නව­තින
ගේට්ටු කණු උඩ
අසැබි ඉරි­ය­ව්වෙන්
මූණ සෝදන..

හොර බළල් තඩි­යන්ව
පන්න පන්නා හූරන
හැපු­වොත් බෙල්ල
පෙරළා හපා කන...

ඒ කළු බැළලී
ආදරේ දරා ඉන්නම බැරිව
පුරු පුරු ගාන

අමා ඕවිනි අලුත්ගේ

-------------------

 

සැඟව ඇති තෙක් .....


අඳුරු මිහි ගැබ
පතුලෙ සැඟ­වුණ
අනගි මිණි­කැට
ගෙනැත් සුර­තට
කළොත් ඔප­වත්
වටී බොහො­මත්
සැඟව ඇති­තෙක්
ලොවක් නොද­නිත්....

රළුම කත­රක
පතුලෙ ඉප­දුන
සිසිල් උල්පත්
ගෙනත් පිට­තට
ගලා හැරි­යොත්
ලොවක් සැන­සෙත්
පතුලෙ ඇති­තෙක්
ලොවක් විය­ළෙත්

හදක උණු­සුම්
දිනක පිබි­දුන
සෙනේ මල් කැන්
නෙලා සුර­තට
කලට පිදු­වොත්
හදක් නැළ­වෙ­තත්
නොපු­දනා මල්
එහිම පර­වෙත්....

මනෝරි ගමගේ

----------------

 

නුඹට කියමි


නිහඬ හද විමනේ
මේ තරම් දුර ඇවිද ආ අපි
හද විමන තුළ රැදී හුන් දුර
අත්හැර දමා ගියේ ඇයි නූඹ...

මතක හීන­යක් වේලා අද
කඳුළු සලා හඬනා නෙතඟ
වේදනා සුසුම් වික­සිත වී ඇත
සොඳුරු මත­ක­යන් අතර

මගේ හදට ළං වීලා
සොරා­ගත් මගේ හද තලා
ඔබ නිහඬ හද විම­නේන්
පලා විත් ගියා අද ඔබ
මගෙන් වෙන් වී

ශෂී විජේ­රත්න
 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල
[email protected]

Comments