දේශපාලනය සහ සාහිත්‍ය පටලවා නොගත් සොඳුරු මිනිසා | සිළුමිණ

දේශපාලනය සහ සාහිත්‍ය පටලවා නොගත් සොඳුරු මිනිසා

 

 

1983 දී ටී. බී. ඉලංගරත්නයන් රචනා කළ කවි පෙළක්

 

ගැමියෙකු ලෙස ඉපදුනු මට - සඟ සරණය ලැබුණ නිසා
මුනිදු දහම අනුව සිතුම - මට හොඳටම පුරුදු වෙලා
පැනය එයට හේතුව සහ - විසඳුම එහි පිළිවෙත යන
සතර අරිය දහම අනුව - තරක කෙරුම මගේ සිරිතය..

 

මා සමඟින් ඉන්න අයට - මගේ අවවාදය මෙහෙමයි
මා හමුවන හැම දෙන හට - දිය හැකි තිළිණයත් එයයි..

මා පෙරටුව යන්න එපා - බැරිවෙයි ඔබ අනුව එන්න
මා පසුපස එන්න එපා - බැරිවෙයි මට වග කියන්න...

 

මා යන වේගය හරිනම් - ඔබෙයි මගෙයි ගමන යන්න
මා මිතුරෙකු ලෙස සලකා - එන්න එකට මඟ ගෙවන්න..

 

ටී. බී. ඉලංගරත්නයන් මෙලොව එළිය දුටුවේ 1913 පෙරවාරි 27 දා ය. ඒ අනුව මේ ගෙවී යන්නේ ඔහුගේ 118 වන ජන්ම සංවත්සරය යි. සිය කාර්යභාරය අවසන් කොට ඔහු මෙලොවින් සමු ගත්තේ 1992 මැයි 21 දා ය. පසුගිය දිනට ඔහුගේ 29 වන අනුස්මරණය යෙදුණි. එසේ ගත් කළ මෙරට සාහිත්‍ය, සමාජ දේශපාලන ක්ෂේත්‍රයේ ඉලංගරත්න මතකය ශතකයකටත් වැඩි ය.

60 -70 දශකයන්හි ඇති වු ජාතික සාහිත්‍ය ප්‍රබෝධය තුළ ටී. බී. ඉලංගරත්න නම් නිර්මාණශීලීත්වය මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්, විශේෂයෙන් ම ඔහුගේ නවකතා මුල් කොටගෙන කළ ඒ විවරණය නොමැතිව ඉලංගරත්නගේ සාහිත්‍ය සේවාව සම්බන්ධ මේ කතිකාවත සම්පුර්ණ වන්නේ නැත.

“විලම්බීත” “තිලක” සහ “අඹ යාළුවෝ” යන තුන ලිවීමෙන් ඉලංගරත්න නවකතාකාරයෙකු වශයෙන් නියම මඟට පිවිසියේ ය. තමා හොඳින් දන්නා උඩරට ගැමි ජීවිතය පිළිබඳ අත්දැකීම් ඔහු මේ කතා තුනටම වස්තුකොට ගනී. මීට පෙර ඔහු ලියු කතා වලට වස්තු වුයේ කල්පනාවෙන් නිපදවාගත් චරිත හා ඔවුන් කරන කියන දේ මෙන් සිතාගත් තොරතුරු වේ. උඩරට ගැමි ජීවිතය පිළිබඳ තමාගේ ප්‍රියතම දැනුම අර කතා තුන සඳහා වස්තු කොට ගැනීමෙන් ඉලංගරත්න ගතානුගතික බොරු මඟහැර නියම මඟට පිවිසෙ යි. “විලම්බීත” “තිලක ” “අඹ යාළුවෝ”යන කතා තුනෙහි ලා ඔහු තමා විඳි දුක් දොම්නස් සොම්නස් ආදියට හේතු වු උඩරට ගැමි ජීවිතයත් එහි පරිසරයත් විස්තර කරයි. ඔහුගේ බසත්, වර්ණනාත් වස්තුවට උචිත වීම නිසා කතා චරිත අලුත් පණක් ලබයි. උඩරට ගැමි බසෙහි හැගීම් දක්වන වචන වහරන්නට ඔහු අවස්ථාවක් ලබයි.”

“දේශපාලනයෙන් ඉවත් වී මගේ කාලය සාහිත්‍යය සඳහා කැප කිරීමට ආසාවක් මට තියෙනවා යි ඉලංගරත්න වරක් මා සමඟ කීවේ ය.”

( උපන්දා සිට )

එඩ්වඩ් චන්ද්‍රසිරි පසුගිය කාලය තුළ ඉලංගරත්නයන් සම්බන්ධයෙන් තොරතුරු සම්පාදනය කිරීමට වෙහෙස වු එමෙන්ම ඉලංගරත්නයන් පිළිබඳ කෘතියක් ද සම්පාදනය කළ ලේඛකයෙකි. ඔහුට අනුව ඉලංගරත්න නාමය සැදී ඇත්තේ පියාගේ නාමය ඇසුරින් ම පමණක් නොවේ. මවු පාර්ශ්වයේ නාමය ද ඊට එකතු කොට තිබේ.

“1913 පෙරවාරි 27 දා උපදින ටිකිරි බණ්ඩාර ඉලංගරත්න මහනුවර හතරලියද්දේ, වැලිගොඩපොල උපන්ගම කරගෙන හැදුණ වැඩුණ අයෙක්. ඔහුගේ පියා නවරත්න රාජකරුණා වාසළ ටිකිරි මුදියන්සේ රාලහාමිලාගේ අප්පුහාමි නිලමේ. ගමට හිටපු වෙද ආචාර්යවරයෙක්. පියා ගෙදර නැති අවස්ථාවල දී ගැමි ජනයාට සුළුවෙන් හෝ වෙද හෙදකම් කළ ඔහුගේ මව ද මිනිසුන්ට ම සේවය කළ මානව හිතවාදී කාන්තාවක්. ඉලංගන්දාවුන්ඩ මුදියන්සෙලාගේ ලොකු මැණිකේ කියන්නේ ඇය යි. ඔවුන් තම දරුවන්ට පෙළපත් නාමය හැටියට ඉලංගරත්න නම ලබා දෙන්නේ මවු පිය උභය පාර්ශ්වයෙන් ම ගත් නම් එකතුවකිනු යි. ලන්ඩන් මැට්‍ර්ක්්‍යුුලේෂන් විභාගයෙන් පසු පාසැල් අධ්‍යාපනය අවසන් කරන ඔහු රජයේ ලිපිකරු සේවාවට ඇතුළත් වෙනවා. ලිපිකාර සේවයේ කටුක වෙහෙස නිසා ත්, අමතර ආදායම් මාර්ගයක් වෙනුවෙනුත් ඉලංගරත්න මුලින් ම යොමු වෙන්නේ නාට්‍ය ලියන්න යි. ඊටත් කලින් කවි ලියු ඔහු ඒවා පුවත්පත් වලටත් යවනවා. ඔහුගේ කවියක් මුල් වරට පළ වෙලා තියෙන්නේ ලේක් හවුස් -“සිළුමිණ” පුවත් පතේ. ඒ නිසා දිගට ම සාහිත්‍යකරණයේ යෙදෙන්න විශාල දහිරියක් ලැබුණ බවක් කියනවා.”

“පස්සෙ කාලෙක මිතුරෙකුගේ මාර්ගයෙන් ශේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමක් හඳුනාගන්නවා විතරක් නෙවෙයි ශේක්ස්පියර් නාට්‍යයක සුළු චරිතයක් රඟපාන්නත් ඔහුට අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි “දොළොස් වැනි රාත්‍රිය.”පසුව “ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි” කතාව ඇසුරින් “අන්ධ නන්දා” නමින් නාට්‍යයක් ද ලියනවා. කොළඹ මෙතෝදිස්ත විදුහලේ සිසුවියන් රඟ දැක්වු “සකුන්තලා” ත් ඉලංගරත්නයන් අතින් ලියවුණ නාට්‍යයක් “වෙල් මුඩ්ලියර්” “සෙනේටර්” වගේ ඉංග්‍රීසි නාට්‍ය ඇසුරු කළ ඔහු ලියපු “මොකද මුදලාලි” විශේෂයෙන් ම උඩරට ප්‍රදේශයේ ජනප්‍රිය වී තිබෙනවා. “නිකං ආවා” “හඳහන” වැනි නාට්‍ය ලියන අතරෙම ඩබ්ලියු. ඒ. සිල්වාගේ “රදළ පිළිරුව” නවකතාවෙන් ද නාට්‍යයක් රචනා කරනවා. ඒ අතර “රාජ ගාන්ධර්ව” “සීගිරි කාශ්‍යප” යන නාට්‍යවලට ඔහු සම්බන්ධ වෙන්නෙ රංග ශිල්පියෙකු හැටියට යි.”

“කොහොම වුණත් ඒ කාලයේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සිදුවූ ලිපිකාර සේවයට අදාළ අසාධාරණකම් හමුවේ ඉලංගරත්න මහතා දේශපාලන චරිතයක් ද බවට පත්වීමේ ලකුණු පෙන්වනවා. ඒ රාජ්‍යය අසාධාරණ තත්වය හමුවේ ක්‍රියාකාරී දේශපාලනයක අවශ්‍යතාව ඔහුට තදින් ම දැනෙනවා යැයි කීවොත් වඩාත් නිවැරැදි යැයි මා සිතනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි රජයේ ලිපිකරු සේවා සංගමයේ මහනුවර ශාඛාවේ සභාපතිවරයා හැටියට ඉලංගරත්නව අපි හඳුනාගන්නෙ.”

තමන්ට ටී. බී. ඉලංගරත්නයන් මුල් වරට හමු වන්නේ ඉරිදා ලංකාදීප පුවත්පත් කාර්යාලයේ දී බව පවසන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඔහුගේ බොහෝමයක් කෙටි කතා එම පුවත්පතේ පළවුණත් ඒවා කෙටි කතා සංග්‍රහ වශයෙන් පළ කිරීමට එතරම් උනන්දුවක් දක්වා නැති බව පවසයි.

“මම ටී. බී. ඉලංගරත්න කියන කෙටි කතාකරුවා ඉරිදා ලංකාදීපයට ලියු කෙටි කතා කීපයක් ම එකතු කරලා තියෙනවා. ඒවායෙ නම් පවා මට මතකයි. “වතුර” “උපේක්ෂා” “දඩිබිඩිතිස්ස” “සිංගිරිස් ගුරුවරයා” ඔය විදිහට කතා කිහිපයක් ම තියෙනවා. මේ කාලේ මෙන් එකල කෙටි කතා බෙහෙවින් බිහි නොවු බැවින් පුවත්පත් කෙටි කතා ජනප්‍රිය වුණා. ටී. බී. ඉලංගරත්න ඉරිදා ලංකාදීපයට කෙටි කතා විශාල සංඛ්‍යාවක් ලියා ඇතත් ඒවා කෙටි කතා පොත් වශයෙන් තවමත් පළවෙලා නෑ. දැනට පළවෙලා තියෙන්නේ “ඔංචිල්ලාව” හා “රන් මැණිකා”යන කෙටි කතා පොත් දෙක විතරයි.”

“සම්මත ග්‍රන්ථාවලියට ඇතුළත් නොවු ඒත් පකෂයේ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) අරමුදල වෙනුවෙන් ශත දහයකට මිල නියම කරමින් කුඩා පොත් පෙළක් ඔහු ලියනවා. ඉන් දෙකක්, “ආණ්ඩව හා භාෂාව” “ආණ්ඩුව හා ආගම”යනුවෙන් නම් කොට තිබෙනවා.”

“ඉලංගරත්න සිනමාවට පිවිසෙන්නේ එස්. නඩේසන් මහතා විසින් චිත්‍රපට නිෂ්පාදක කේ. ගුණරත්නම්ට ඔහුව හඳුන්වා දීමෙන් පසුව යි. සිංහල චිත්‍රපටවල දෙබස් උසුරුවීමේ අදියුරු ලෙස ඔහු කටයුතු කරනවා. බොහෝ විට දෙමළ හෝ ඉංග්‍රීසි කතාවකට අනුගතව සිංහල චිත්‍රපට තැනුන කාලයක් තමයි ඒ. ඔය විදිහට එක් වතාවක ඔහු “වරද කාගෙද” චිත්‍රපටයේ තිර නාටකය හා දෙබස් ලියනවා. ඒ විතරක් නෙවෙයි එහි චරිතයක් ද ඔහු නිරූපණය කරලා තියෙනවා. ”

“ඔහු ළමා කතා ද ලියා තිබෙනවා. ඔහුගේ ඒ කතාවල ඉස්මතු වෙන්නේ සංවාද ස්වරූපයක්. කතාව ගලා යන්නේ ඒ සංවාද වලට යටිනු යි. ඒ වගේ ම ඒ කතාව දරුවෙකුට සමාජය ගැන කල්පනා කරන්න ඉඩක් සපයා දෙනවා. ඔහුගේ කෙටි කතාවල වගේ ම ළමා කතා වල ස්වීයත්වය පැහදිලිවම දකින්න පුළුවන්. ඔහු බොහෝ විට තෝරා ගන්නේ සිද්ධියක්. ඒ සිද්ධියේ යටිතලය ක්‍රමයෙන් විවරණය කෙරෙන විදිහටයි කතාව ගොඩ නගන්නෙ. බොහෝ විට ඔහුගේ ළමා කතාවල වගේ ම කෙටි කතාවල සමාන බවක් දැකිය හැකි යි. ප්‍රධාන වශයෙන් ම ඒවායෙ දැකිය හැක්කේ ළමා සහ ගැටවර ජීවිත යි. එතනදී ඔහු තමන්ගේ බාල කාලය වගේ ම තරුණ විය හා සම්බන්ධ අත්දැකීම් එකින් එක ඉදිරියට ගන්නා බවක් දකින්න පුළුවන්. ඔහු ඒවා සියුම් ලෙසින් නිරූපණය කරනවා. ඒ බොහෝ අත්දැකීම් ඔහු සමීපයේ ම තිබු ඒවා බව පැහැදිලි යි.”

මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහට අනුව ටී. බී. ඉලංගරත්න යනු චරිතයක් මෙන්ම සාධකයකි. ඒ අනුව දේශපාලනඥයකු, සාහිත්‍යකරුවකු, කලාකරුවෙකු හැටියට ඔහු චරිතයක් මෙන්ම සාධකයක් වේ.

“දේශපාලනඥයෙක්, සාහිත්‍යකලා කරුවෙක් හැටියට වගේ ම යහපත් වූත්, සාධනීය වූත් පුද්ගලයෙකු හැටියටත් ඉලංගරත්න චරිතය පැහැදිලිව ම සාධකයක්. ඒ හැම ක්ෂේත්‍රයක ම ඔහු සාධනීය පැවැත්මක් බවට පත් වෙනවා. හැම ගීතයක් ම ගීතයක් නෙවෙයි. හැම කවියක් ම කවියක් නෙවෙයි. හැම ගැහැනියක් ම ගැහැනියක් නෙවෙයි. හැම මිනිහෙක් ම මිනිහෙකුත් නෙවෙයි. ඒ වගේ ම හැම දේශපාලනඥයෙක් ම දේශපාලනඥයෙකුත් නෙවෙයි. මෙන්න මෙතන දී ඉලංගරත්න කියන සාධකය මතු වෙනවා. මං කියන්නේ අපිට වෘත්තීය මට්ටමින් හෝ පුද්ගල මට්ටමින් හෝ චරිතයක් දැනෙන්න ඕනෙ. අන්න ඒ දැනීම විසින් තමයි ඒ චරිතය අපට හඳුන්වා දෙන්නෙ. ඉලංගරත්න කියන්නෙ අපට හොඳින් දැනුන චරිතයක්. ඒ නිසාම ඔහු ඒ කාලයට අදාළ ව සාධකයක්.”

“මම මුලින් ම දේශපාලනය ගැන කියන්නම්. දේශ් කියන ධාතුවෙන් දේශය කියන අරුත හැදෙනවා. දේශය ඕනෑම තැනක තිබිය හැකි යි. ඊළඟට පල් කියන ධාතුවෙන් කියවෙන්නේ හරි පිළිවෙළක් කියන එක. පිළිවෙළකට වැඩ කිරීම කියන අරුත ඒ තමයි පාලනය. තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා කියන නවකතාවේ මන්ත්‍රණ සභාව කියන්නේ කෙළි මඬළක්ය කියලා කියනවා. ඒ කියන්නේ නිෂ්ඵල හැසිරීමක් එහි දැකිය හැකියි කියන එකනෙ. නමුත් ඉලංගරත්න අපේ මන්ත්‍රණ සභාව තුළ සඵල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ විදිහට ඔහු මෙරට දේශපාලනයේ සාධකයක් බවට පත් වෙනවා.”

“ඒ වගේ ම ඉලංගරත්න කී සැණින් අපට මතක් වෙන තවත් නමක් තමයි තමරා ඉලංගරත්න. එතන තියෙන්නේ යුවළ සම්බන්ධයක්. ඔවුන්ගේ ගෘහ ජීවිතය ඒ වගේ ම දේශපාලන ජීවිතයත් සමඟ එකට යන යුවළ සම්බන්ධයක්. බණ්ඩාරනායක නම අපිට තනියෙන් කියවන්න බෑ. අමරදේව ගත්තොත් විමලා අමරදේවත් සම්බන්ධ වෙනවා. චිත්‍රසේන - වජිරා අපට තනියෙන් කියවන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ යුවළ සම්බන්ධය ඔවුන්ගේ කාර්යභාරයත් එක්කම එකට බැඳිලා තිබීම. ඒ විදිහට ඉලංගරත්න කියන සාධකය ඒ යුවළ සම්බන්ධයත් එක්ක තමයි දිගටම පැවතුණේ. ඔහු හොඳ දේශපාලනඥයෙක් වගේ ම හොඳ ස්වාමි පුරුෂයෙක් සහ පියෙක්ය කියලා අප අහලා තියෙනවා.”

“ඉලංගරත්න කියන්නේ ලේඛකයෙක්. සංස්කෘතයේ දි ලේඛකයා යන්න තුන් ආකාරයකට විග්‍රහ කරනවා. එක අර්ථයකට අනුව හූරනවා, පළනවා, පහුරු ගානවා, කොටනවා වශයෙන් එය නිරූපණය වෙනවා. දෙවැනි අර්ථයට අනුව එය වාර්තා කිරීමකට සමාන වෙනවා. තුන්වෙනි අර්ථයේ දි ලේඛකයාගේ කාර්යය චිත්‍රයක් වගෙයි. මගේ කියවීමට අනුව ඉලංගරත්නගේ ලිවීම චිිත්‍රයක් හා සමාන යි. ඒ වගේම වාර්තා කිරීම් අනුව යන ලිවීම් ඔහුගේ නොතිබුණා නෙවෙයි. ඒත් මට හිතන්න අමාරුයි පහුරු ගානවා එහෙම නැත්නම් කොටනවා, පළනවා වගේ ලිවීම් ඔහුට තිබුණාය කියලා. ඉලංගරත්න ඒ විදිහට තමයි සාහිත්‍ය සාධකයක් වෙන්නෙ.”

ජීවිතයේදී අපට බොහෝ කමටහන් මග හැරෙනවා. එහෙත් ඉලංගරත්න නම් ඒ මතකය අපට අදටත් නොනැසුන සාධකයක්. යහපත් මිනිසෙකුගේ මතකය ඔහුගේ පරපුර තුළ වගේ ම ඊළඟ පරපුර තුළත් නොනැසී ජීවත් වෙනවා. ඉලංගරත්න සාධකය ඒ බව තහවුරු කරන චරිතයක්. ඇලෙක්සැන්ඩර් ඩූමාගේ මේ කියමන ඉලංගරත්නයන් සම්බන්ධයෙන් ඉතා නිවැරැදි යැයි මම විශ්වාස කරනවා.

“අපට නැතිවුණ මිතුරන් නිදන්නේ පොළොව පතුලේ නොව අපගේ හදවත් පතුලේ ය.”

 

-----------------------

‘අපේ අප්පච්චි’

ටී. බී. ඉලංගරත්නයන්ගේ පුත් රෝහණ ඉලංගරත්න කැනඩාවේ සිට සිළුමිණ ට කිය යි.

“නිරායාසයෙන් ජන නායකත්වයට පත්වන්නෝ ස්වල්පයකි. ඔවුහු වාසනාවන්තව නිරෝගීව වසති. උපක්‍රමයෙන් නායකත්වයට පත් වන්නෝ අවසන් වන්නේ හිස් බවෙන් සහ මානසික ගිලන් බවෙන්ය” යනුවෙන් හර්මන් හෙසේ නම්වූ දාර්ශනිකයා පවසනවා.”

අප්පච්චි පිළිබඳව මෙම කියමන සනාතවූ අවස්ථාවක් මට මතක යි. අප්පච්චිගේ ජිවිතයේ සැන්දෑසමයේ දිනක ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා අවමඟුල් උත්සවයක දී අහම්බෙන් මුණගැසෙනවා.

“ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා කියලා පත්තරෙන් මම දැක්කා, මම හිතුවේ නෑ කිසිම කෙනෙකුට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න පුළුවන් කියලා” ප්‍රේමදාස ජනාධිපතිතුමා අප්පච්චිට කිව්වා . “ඒ පුවත වැරදියි. මම විශ්‍රාම ගියේ නෑ. මම දේශපාලනෙන් ‘නිවන් ගියා කියලා’” අප්පච්චි සිනහමුසු මුහුණින් පිළිතුරු දුන්නා !

අප්පච්චි පිටව ගියාට පසු ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම්වූ විජේදාස මහතා අමතා “ඉලංගරත්න මහත්මයා බොහොම ගැඹුරු දෙයකුයි මට කිව්වේ එහි උපහාසයත් ගැබ්වෙලා තිබුණා. නිවන් දකින්නට නම් ආසාවන් නැති කරන්න ඕනෑ. යථාව අවබෝධ කර ගන්නට ඕනෑ. තවතවත් පදවි ලබාගැනීමේ, කීර්ති ප්‍රසංසා ලබාගැනීමේ ආසාව නැති කර ගත්න ඕනෑ, එහි උපහාසය වුණේ, එතුමා ගඟෙන් එතර වුණා, මම ජනපති වෙලත් තවමත් ගඟේ පිහිනනවා යන්නයි”.යයි ප්‍රකාශ කළ බව, පසු කාලයකදී විජේදාස මහතා කියා තිබුණා.”

“මා උත්සාහ කරන්නේ, ටී බී ඉලංගරත්න නම්වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා සහ කලාකරුවා සිදු කළ මෙහෙවර පිළිබඳ හැඳින්වීමක් කරන්න යි. එ්ත් ටී. බී ඉලංගරත්න නම්වූ උදාර දේශපාලනඥයා ගැන හැදින්වීමක් නොකළොත් මෙය අංග සම්පූර්ණ නොවන නිසායි අර මුල් කතාව කිව්වෙ.”

“අප්පච්චි ලේඛකයෙකු වශයෙන් දැඩි ලෙස විශ්වාස කළේ

කලාව, කලාව සඳහා නොව කලාව, ජනතාව උදෙසා විය යුතු බවයි. මේ නිසාමදෝ අප්පච්චිගේ කෘති වෙත විචාරකයින්ගේ අවධානය යොමු වී නැති අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ප්‍රමාණවත් සැලකිල්ලක්ද යොමු වී නැහැ. එහෙත් මහජනතාවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගලා ඒම අප්පච්චිගේ අභාවයෙන් පසුවත් සිදු වෙනවා. අප්පච්චිගේ නිර්මාණ සැබවින්ම ජන හද ජයගත් බව මෙම ප්‍රතිචාර සාක්ෂි දරනවා.”

“උඩරට ගැමි ජීවිතය පිළිබඳ ඉලංගරත්න ගේ හැඟීම් සහ දැනුම එහි පිටස්තරය පමණක් නොව ඇතැම්විට අධ්‍යාත්මයද දකින්නක් වෙයි. වඩාත්ම මගේ සිත් ගත් නිර්මාණය අඹ යහළුවෝ කෘතිය යි ” මාර්ටින් වික්‍රමසිංහයන් උපන් දා සිට කෘතියේ සඳහන් කරනවා.”

“අප්පච්චි පාසැල් අවදියේදී ආරම්භ කළ නාට්‍ය රචනා කිරීම සහ රඟදැක්වීම ම තමයි මහනුවර කච්චේරියේ සේවය කළ අවස්ථාවේදී ජනප්‍රිය වේදිකා නාට්‍ය රචකයෙක් බවට කරන්නෙ. එයට සාපේක්ෂකව අප්පච්චි විසින් ඉරිදා ලංකාදීපයේ පළ කළ කෙටි කතා පෙළ අප්පච්චිව ජනප්‍රිය කෙටි කතා රචකයෙක් ලෙස පාඨක ආදරයට ලක් කරනවා.”

“අප්පච්චි මිය යන විට ගන්නා විට නවකතා කෙටි කතා ළමා කතා නාට්‍ය පරිවර් තන ඉංග්‍රීසි බසින් ලියු නවකතා සහ චරි තාපදාන 50 ක් රචනා කොට තිබුණා.”

“මෙම නවකතා අතුරින් ‘අඹ යහළුවෝ’ සහ ‘විලම්බීත’ ටෙලි නාට්‍ය වශයෙන්ද, තිලක හා තිලකා, ලසඳා,නයනා, සසර,මංගලා, නිවෙන ගින්න, කැලෑ මල් නෑදෑයෝ චිත්‍රපට ලෙසද ජනතා ආදරයට පාත්‍ර වෙනවා.”

“1949 දී වරද කාගේද සහ රදළ පිළිරුව සිංහල චිත්‍රපට සඳහා සිංහලෙන් තිර රචනා කරමින් තිර රචන කලාව ලංකාවට හඳුන්වා දීමේ ගෞරවයත් අප්පච්චිට හිමි වෙනවා. එමෙන්ම වරද කාගේද චිත්‍රපටයේ ගුණතිලක රාලහාමි ලෙස රංගනයෙන්ද අප්පච්චි දායක වෙනවා.”

“චාල්ස් ඩිකන්ස් රචනා කළ‘A Tale of Two Cities’ “දෙනුවර කථාව” නමින් සිංහලට පරිවර්තනය කළ අතර, එහි සඳහන් “Recalled to Life යන්න” ‘එ‍ළොවින් මෙලොවට’ ලෙසින් පරිවර්තනය කිරීමෙන් එය වචනයෙන් වචනය පරිවර්නය කිරීමකට වඩා අර්තයට දේශීයත්වය මුසු කරවීම වශයෙන් අගය කිරිමකටද ලක් වුණා.”

 

Comments