නේත්‍රා | සිළුමිණ

නේත්‍රා

 

උපාධි පරීක්ෂණය වෙනුවෙන් වෙහෙසීම නිසා ඇස් පරීක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් නේත්‍රාට තිබුණි. මිතුරියන් හැම දෙනාම පැවසුවේ ඇස් පරීක්ෂා කර උපැස් යුවළක් ගන්නා මෙන් කියාය. සම වියේ මිතුරියන් කිහිප දෙනෙක් උපැස් යුවළවල් පලඳින නිසා එසේ ගත්තාට වරදක් නැතැයි ඇයට සිතුණි. දවල් දේශනවලට යද්දී විහිදෙන ඉරු කිරණ දරා ගැනීමට අසීරු ය. අම්මා උපැස් යුවළ ගත් වෛද්‍යවරයාට වඩා නවීන පරීක්ෂණ ඇසුරු කරන තරුණ වෛද්‍යවරුන් බිහිව ඇත. අද අක්ෂි රෝග සඳහා පමණක් උපදෙස් සපයන රෝහල් ඇත. ඇස් වෙදකමට සම්බන්ධ සිංහල වෛද්‍යවරුන් ද ඇත. ඔවුන් පරම්පරා ගත දේශීය වෛද්‍යවරුන් ය. ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාල‍ෙය් ද ඇසේ සුද ඉවත් කිරීම වැනි ශල්‍යකර්ම කරති. ආයුර්වේද චිකිත්සාව අනුව ප්‍රත්‍ය ආහාර ගත යුතු ය. කොළඹ ඉගෙන ගන්නා නිසා සිංහල වෙදකම කිරීම පහසු නැත. කසාය සීට්ටුවකට කැලෑ බෙහෙත් සෙවීම පහසු නැත.

 

අද ඉංග්‍රීසි ‍වෛද්‍යවරුන්ගෙන් ද දිනයක් ලබාගැනීම පහසු නැත. රෝගීන් පෙරමෙන් මහලු අක්ෂි වෛද්‍යවරු සොයා නොයති. නේත්‍රා පෞද්ගලික රෝහලකට කතා කර වෛද්‍යවරයෙක් පිළිබඳ සොයා බැලුවාය. හැම වෛද්‍යවරයෙක්ම විස්සකට වඩා රෝගීන් පරීක්ෂා කරන්නේ නැත.

“මට මේ ඇස් පරීක්ෂා කරගන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න පුළුවන් ද?”

“ඔව් පුළුවන්. උදේ 8.30 ඉඳල එකොළහ වෙනකල් චම්පා අතපත්තු එනවා‍. එයා බලන්නෙ විස්සයි. ඩොක්ටර් මහානාම ‍එකොළහට එනවා. ඊට පස්සෙ මුදිත නානායක්කාර.”

“ඩොක්ටර් ආශිර්වාදනී දැන් නැද්ද?”

“එයා ලංකාවෙ නෑ. හෙට විසල් නානායක්කාර එනවා.”

“හරි මිස් මට එයාව දෙන්න. සල්ලි බඳින්නම්. කොහොමද ඩොක්ටර් හොඳද?”

“ඔය අනිත් අය වගේ නෙමේ හරි හොඳයි. හැබැයි නීතියට වැඩ. හරියට වෙලාවට එන්ඩ.”

විසල් නානායක්කාර වෛද්‍යවරයා ගැන මිතුරියන්ගේ නම් එතරම් සතුටක් තිබුණේ නැත.

“ඒ ඩොක්‍ටර්ට එච්චර සෙනඟ නෑ.”

“ටෝක්කරල බලමු. නරකයි වාගෙ හිතුණොත් වෙන කෙනෙක් බලමු.”

පසුදින ඇය මැදි වූයේ සෑහෙන ප්‍රශ්නයකට ය. මේ හමුවීමට එහේ එන බව දන්වා සිටි නිසා එය මග හැරීමට ඇයට සිතුණේ නැත.

“එතකොට ඔයා ලංකාවට එන්නෙ කවද්ද?”

“හය මාසයයි කිව්වට අවුරුද්දක්වත් යයි.”

“එතකොට මම ඔයා නොදැක ඉන්නෙ කොහොමද?”

“මටත් තියෙන දුක ඒකයි. මම ඔයාව ගන්න බලන්නම්.”

“ඕන් නාවොත් මට මොනව හරි වෙයි.”

“එච්චර අසාධාරණ කතාවක් කියන්ට එපා. මේවගෙ රස්සාවක් ලෙහෙසියෙන් හම්බ වෙන්නෙ නෑ. හරි අවිශ්වාස නම් මම ඔයාව බැඳල යන්නම්.

“ඔයාව කසාදෙන් හිරකරල යවන්ට හිත නෑ. ඔයා නිදහසේ යන්න. මාව ගන්න ට්‍රයි එකක් දෙන්න.”‍

“බැඳල යන එකේ ප්‍රශ්නයක් නෑනෙ නේත්‍රා. බඳිනව කියන්නෙ පෞද්ගලික කටයුත්තක්.”

“ගෙදර බැඳපු නැති අක්කලා දෙන්නෙක් ඉන්දෙද්දි මම බඳින්නෙ කොහොමද?”

“මේ වාගෙ දේවල් ඕනෑ තරම් වෙනවා. අපි නොකියා ඉම්මු.”

ඔවුනතර නිහඬ බවක් ඇති වුණි.

“මම යන්නද?”

“ඇයි මේ හදිස්සි. මොනව හරි බොමු.”

“මගෙ මේ ඇස් දෙක පෙන්වන්න ඇපොයින්මන්ට් දාල තියෙන්නෙ.”

“කෝ පහක් දෙන්න” ඔවුහු අත් ගටා සමුගත්හ.

ඇය රෝහලට යද්දී සිතුවාට වඩා ප්‍රමාදවී තිබුණි. ඇගේ අංක අට ගොස් තිබුණි.

“නොම්මර පහළොව එන්න” හෙදිය මැදිරියෙන් හිස පොවා කීවාය.

“මිස් මම අට.”

“කී සැරයක් නම් කතා කළා ද? දැන් යන්නෙ පහලොව.”

“ඉතින් එයා ගාවට මම යන්නම්.”

“බෑ. මේ ඩොක්ටර් නීතියට වැඩ කරන කෙනෙක්. ඔයාගෙ නොම්මරේ ඩොක්ටර් කීප සැරයක් ඇහුවා.”

“මිස් මම ආවෙ බස් එකේ‍. අද ටවුන් හෝල් එකේ පෙළපාළියක්.

“මම කියන්නම්. ඔයා අනිත් කාමරේට ගිහින් ලෙන්ස් එක බලාගන්න.

නේත්‍රාට වෛද්‍යවරයා හමුවුණේ අන්තිමටය. මාරය ඇවිස්සී තිබුණත් ඇය කෝපය දරා සිටියාය. පාරෙ වාහනවල එද්දී ප්‍රමාද වීම් වැළැක්විය නොහැක.

“ඩොක්ටර් මේ පේෂන්ට් ආවෙ ප්‍රමාද වෙලා‍.”

“මීට පස්සෙ ප්‍රමාද වෙලා මාව හම්බවෙන්න එන්න එපා. ඉඳගන්න.

වෛද්‍යවරයා නේත්‍රා දෙස හොඳින් බලා කීවේය.

සිත් ඇද ගන්නා ‍කාන්තිමත් නෙත් යුවළක් ඇති බව ඔහු ප්‍රථමයෙන් දුටුවේය. ඒ විතර ද ඇයට තිබුණේ දොඩමලු නේත්‍ර යුග්මයකි. රූපය සත්වයට ආභරණයක් වන්නේය. “නරක්‍යා භරණී රූපං” වශයෙන් ගැහැනියගේ රූපය පිළිබඳ කාලිදාසගේ සෘතුසංහාරය සඳහන්ව තිබුණි. එතෙක් මෙතෙක් බාල මහලු ගැහැනු පිරිමි රෝගීන් පරීක්ෂා කර සුවපත් කර ඇත.

අද මේ මොහොතේ තමා ඉදිරියේ සිටින්නේ තමා සොයමින් සිටි රූපකාය නොවේ දැයි විසල්ට සිතුණි.

හෙතෙම රෝගියෙක් පරීක්ෂා කිරීමට ඇති වෘත්තීය අයිතිය යොදා ගත්තේ ය. ඇගේ නිකටින් ඔසවා නෙත් යුග්මය දෙස බලා සිටියේය.

“ඇස් පියා ගන්ට එපා. හෙමින් අරින්න. මා දිහා බලන්න.”

නේත්‍රාගේ සිතට යකා නැග්ගේ වෛද්‍යවරයාගේ මේ කතා ඇසීමෙනි. මේ ඇඟේ අමාරුවට සිංහල, දෙමළ වෛද්‍යවරුන් හමුවන්ට ගොස් ඇත. ඇස් පරීක්ෂා කිරීමට ලේසර් වැනි නවීන උපකරණ තිබියදී නිකටින් ඔසවා තම නෙත් නැරඹීමට කිසිම හේතුවක් නැත. පිරිමි තම පූර්ව යෞවනයේ දී හා යෞවනයේ දී තම කාන්තිමත් දෙනෙත් වලට වශීව සිටි හැටි මතකය. මොහුට රෝගීන් අඩු මේ නොමනා හැසිරීම නිසා විය හැක. නේත්‍රා අසුනෙන් නැගිට මැදිරියේ පිටතට ආවාය.

එරන් ගමනට සූදානම්ව නේත්‍රා හමුවීමට ආවේය.

“මට වීසා ලැබුණා.” ඔහු සතුටින් කීවේය.

එරන් වෙන්වීමට යන මොහොතේ වැරදියටත් පැවසීමට සිතුණේ නැත.

“ඔයාවත් එක්ක යන්නයි බැලුවේ.”

“මාව කරදරයක් කරගන්ට එපා. විභාගෙ ඉවර වෙනකල් මට යන්ට වෙන්නෙ නෑ.”

“මට ලැබුණු මේ අවස්ථාව අතහරින්ට බෑ.”

“මෝඩ වැඩ කරන්ට හිතන්ට එපා. ඔයාගෙ අක්කලා නංගිලා මට බණිවී.”

“ඩොක්ටර් විසල් නානායක්කාර මොකද කිව්වේ. මම මෑන්ව ටිකක් අඳුනනව. ඇය පිළිතුරක් නොදී සිටියාය. හෙතෙම ගිජු ලෙස තම උවන දෙස බලා සිටි හැටි සිහිවෙයි.

“තනියම තැනකට යවන්ට බැරි ඕකනෙ. ඇස් දෙක දිහා බලාගෙන කවියක් ලියන්ට හිතෙනව ඇති කියල විසල් කියන්ට ඇති.” ඔහු සිනා සෙමින් කීවේය.

වෛද්‍යවරයා නිකටින් ඔසවා මුහුණ දෙස බලා සිටි අයුරු එරන්ට පැවසුවේ නැත. තේ පානයෙන් පසු එරන් පිටව ගි‍යේය.

“දැන් ඒ ළමයා මොකද කියන්නෙ.”‍

“එයා කියන දේවල් මට කරන්න බෑ.”

“මේ අපි හිටියට කමක් නෑ. ඔයා බදින්න නේද නංගි.”

“එයා රට යන්නෙ අරමුණක් ඇතිමයි.”

“රන් ඉන්දෙද්දී ඔයාට වඩා ඉගෙන ගත්ත ලස්සන සල්ලිකාර කෙල්ලො හම්බ වෙන්න පුළුවන්. එරන්ගෙ හිතත් වෙනස් වෙන්ට පුළුවන්.

“එයා වෙනස් වෙයි කියල හිතන්නෙ නෑ.”

ප්‍රශ්නෙ තියෙන්නෙ මට වෙනස් වෙන්ට බැලූ එකයි.”

“ඒයි ඔය විදිහට පිරිමි විශ්වාස කරන්ට එපා.”

“ඔව් පොඩි නංගි පරිස්සම් වෙනවා. මොකද දොස්තර කිව්වෙ.”

“ඒක කුකුල් කේන්තිකාරයෙක්. මම පරක්කු වුණා කියල මගෙ ඇඟට කඩා පැන්නා. අට වැනියට හිටපු මාව ගත්තෙ අන්තිමට.

“මට හිතෙනව ඒකා හොඳ ‍එකෙක් කියලා. මොකද ඇහේ අමාරුව ගෑනි කිව්වෙ කණ්ණාඩි දමන්න වේවි.”

“මූණ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වෙ නෑ. සැවොම එකවර සිනා සෙන්ට වූහ.

ලොකු අක්කා තමා නිසා කරදර වන බැව් නේත්‍රා දැන සිටියාය. සිංහල, ඉංග්‍රීසි බෙහෙත් කළත් සුවයක් නැත. කාර්යාලයේ සිටියදී රන්දිකාට අක්ෂි වෛද්‍යවරයාගේ කාර්යාලයේ හෙදිය ගෙන් ඇමතුමක් ලැබුණි.

“වහාම ඇවිදින් අයි සර්ජන් හම්බවෙන්න කියල නර්ස් කිව්වා.

“මොනවත් දමලා ආවද දන්නෙ නෑ.”

“සමහර විට ‘ප්‍රොපෝසල්’ එකක් ද දන්නෙ නෑ. ලොකු අක්කා කීවාය.

“ඔව් ඉතින් මෙයාට ඒ ප්‍රශ්නෙ තියෙනවනෙ. මම හැන්දෑවට ගිහිල්ල එන්නම්.

නේත්‍රා සිටියේ කල්පනාවකට මැදිවය. එරන් වෛද්‍යවරයා හඳුනන නිසා ඇතැම් විට තමා පිළිබඳ තොරතුරු විමසා දැනගන්නට ඇත. සැබෙවින් ආදරය කළා නම් මීට වඩා සාධාරණ නිමාවක් දැකිය හැකිව තිබුණි. තාත්තාට ගැහැනු තිදෙනෙකුට දායාද දීමට තරම් මුදලක් නැති බව නේත්‍රා දැන සිටියාය.

තම නිකටින් ඔසවා මුහුණ දෙස බලා සිටි දසුන වෛද්‍ය වෘත්තියට එහා ගිය වෙනත් සිදුවීමකට කිට්ටු ය. වෛද්‍යවරයා හමුවීමට ගිය අක්කා එනතෙක් ඇයට දහසක් දේ සිතුණි. වෛද්‍ය සභාව මොහුට ‍එරෙහි පැමිණිල්ලක් දැමීමට ඇය සිතා ගත්තාය. නීතිඥවරයෙකුගේ උපදෙස් ගැනීමට ඇය සිතා ගත්තා ය. වැස්සෙන් බේරීමට කුඩයක් ඉහලා නිවසට පැමිණි අක්කාගෙන් ආ ගිය තොරතුරු විමසුවේ නැත.

“මොකද එන්ට කිව්වෙ? දොස්තර කොහොම කෙනෙක්ද?

“ඩොක්ටර් හරිම හොඳ කෙනෙක්. මා එක්ක හුඟ වේලාවක් කතා කළා.”

“මංගල යෝජනාවක් ආවද?”

“අපි මිනිසුන් ගැන හිතන විදිහ කොච්චර වැරදිද කියල හිතුනෙ ඩොක්ටර් එක්ක කතා කරන කොටයි.

නේත්‍රා ලොකු අක්කාට සවන් දුන්නා විනා වාද කිරීමට ගියේ නැත.

“මම යනකොට ඩොක්ටර් මෙයාගෙ රිපෝට් බලමින් හිටියා. ඇස් දෙකට ඔපරේෂන් එකක් කරන්ට තියෙනවා කිව්ව.”

“මොනවා.”

අක්කලාට කතා කරන්ට ඉඩදී නේත්‍රා සිය කාමරයට ගියාය.

පොඩි නංගි කාමරයට යනතෙක් සිටි ලොකු අක්කා අම්මා අසලින් ඉඳගත්තාය.

“අම්මා මෙයා බැන්නට පොඩි වුණාට කාටවත් හොයාගන්න බැරි වෙච්ච ලෙඩේ අල්ලාගෙන. හෙටම ඇවිදින් ඩොක්ටර්ගෙ වාට්ටුවට ඇතුළු වෙන්න කිව්වා.

“අනේ දෙවියනේ! මේවා නංගි දන්නෙ නැද්ද?”‍

“මේක නංගිට දැන්ම කියන්ට එපා කිව්වා.”

“මේක ලංකාවෙ කරන්ට බැරි තරම් සංකූලතා තියෙන රෝගයක් කිව්වා.

හරියට බෙහෙත් නොවැටුණොත් අන්ධ වෙන්න ඉඩ තියෙනවා කිව්වා.

අම්මාගේ දෙනෙතින් කඳුළු ගලා වැටෙනු ලොකු අක්කා දුටුවා.

මුව දෙනෙකුට වැනි සිහින් දෙනයනක් ඇති නංගී අන්ධ වුණොත්....

Comments