අලුත් අවු­රුදු පොකුර ලක්ෂය පනියි | සිළුමිණ

අලුත් අවු­රුදු පොකුර ලක්ෂය පනියි

කොවිඩ් 19 අලුත් අවුරුදු පොකුරේ රෝගීන් සංඛ්‍යාව 102,755ක් දක්වා ඉහළ නැඟ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සිළුමිණට කීය.

මහජනතාව සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙසින් කටයුතු කිරීම මේ රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් 17 වැනිදා රෝගීන් 93,089ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් මස 18 වැනිදා කොවිඩ් රෝගීන් 93,446 දෙනෙක් වාර්තා වී තිබේ. 19 වැනිදා රෝගීන් 93,755ක් ද 20 වැනිදා 94,122ක්ද 21 වැනිදා රෝගීන් 94,700ක් ද 22 වැනිදා 95,372ක්ද 23 වැනිදා 96,341ක්ද වාර්තා වී තිබේ.

ඒ අනුව අප්‍රේල් 17 වැනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් 357ක් 18 වැනිදා වාර්තා වී ඇති අතර එම වැඩිවීම ඉහළ ගොස් අප්‍රේල් 20 වැනිදාට වඩා රෝගීන් 578ක් 21 වැනිදා වැඩි වී තිබේ. එසේම 22 වැනිදාට වඩා රෝගීන් 1369ක් 23 වැනිදා වාර්තා වී තිබේ. පසුගිය සිකුරාදා පස්වරුව වන විට මෙරට කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 195,844ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ ජනතාව සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව වුවද එය නිදහසේ ගමන් කිරීමට ලබා දෙන බලපත්‍රයක් සේ ගමන් කළහොත් අනිසි විපාක රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. විශේෂයෙන්ම රෝගීන් 4000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නට වුවහොත් එය වසංගතය පාලනයෙන් ගිලිහී යන්නට ඉඩ තිබෙන බවද හේමන්ත හේරත් මහතා පැවසුවේය. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් කළහොත් වර්තමානයේ පවත්නා දහස් ගණන් රෝගීන් වාර්තා වීම මාස 6ක් තුළදී සාමාන්‍ය තත්වයට පාලනය කර ගැනීමට හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.

අධික රෝගීන් වාර්තා වීම යටතේ දැඩි සත්කාරද වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දුන්නේ එසේ දැඩි සත්කාර ඒකක වැඩි කිරීමේදී එක් ඇඳක් වෙනුවෙන් හෙදියන් පමණක් 10 දෙනෙක් පමණ වෙන් කරන්නට සිදුවන බවයි.

 


Comments