නිරි­ත­දිග මෝසම දිස්ත්‍රික්ක 5 ක් කල­ඹයි | Page 2 | සිළුමිණ

නිරි­ත­දිග මෝසම දිස්ත්‍රික්ක 5 ක් කල­ඹයි

කුකුළේ ගඟ පිටාර ගලයි

දිස්ත්‍රික්ක 7ක  ප්‍රා.ලේ. කොට්ඨාස 20 කට  නායයෑමේ  අවදානමක්

 

මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාපතනය නිසා සිකුරාදා සවස වනවිට ජීවිත 3ක් අහිමි වූ අතර පවුල් පවුල් 31,303 කට අයත් පුද්ගලයන් 130,672 ආපදාවට ලක්ව සිටිති‍. ‍ඒ අනුව ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක ගංවතුර ආපදා සිදුවී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි.

අයගම, ඇහැලි‍යගොඩ, බදුරලිය ප්‍රදේශවල නායයෑම් සිදුවී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ අයගම, දුම්බර මැදපොළ ප්‍රදේශයේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටී වයස අවුරුදු 17ක සෙත්මිණි ලක්මාලි පෙරේරා දැරිය, හොරණ මිල්දෙණිය මාකන්දූව, හා මාරවිල මුගුණුවටුවන ප්‍රදේශයේ පුද්ගලයන්ය. තවත් දෙදෙනකු පුත්තලම, හා නාරම්මල දෙදෙනකු අතුරුදන්ව ඇත. අත්තනගලු ඔය හා ඌරුවල් ඔය, කැලණි ගඟ, කළුගඟ හා ගිංගඟ පිටාර මට්ටමේ පවතී.

ඒ නිසා අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, හොරණ, අගලවත්ත, නෙළුව, රක්වාන, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, කළුතර, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමට ඉඩ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන පවසයි. අධික වර්ෂාපතනය නිසා කුකුලේ ගඟ දැදුරුඔය හා තබ්බෝව ජලාශවල වාන් දොරටු ද විවෘත කර ඇත.

මෙයට අමතරව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 20 කට පමණ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ එම්. ජයතිස්ස පවසයි.

 

Comments