බැංකු සහ­න­යෙන් ලක්ෂ 30කට සෙත | සිළුමිණ

බැංකු සහ­න­යෙන් ලක්ෂ 30කට සෙත

කොවිඩ් - 19 තුන් වැනි රැල්ලේ දැඩි බලපෑම් හේතුවෙන් රැකියා අහිමි වී, ආදායම් ඇණහිටි සේවකයින් හා ව්‍යාපාර බිඳ වැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබා ගත් බැංකු ණය ආපසු ගෙවීම මාස තුන හමාරකට අත්හිටුවීමට රජය ජූනි 01 වැනිදා ගත් තීරණයෙන් ලක්ෂ 25 ත් 35 ත් අතර පිරිසකට සහන සැලසී තිබේ.

ඉකුත් මැයි 15 දා සිට ලබන අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ මේ බැංකු ණය ආපසු ගෙවීම අත්හිටුවා ඇති අතර, එම සහනය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී වාණිජ බැංකු 26 හි සහ විශේෂිත බැංකු 06 හි ගනුදෙනුකාර භවතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ සහනය ලබා ගැනීමට ගනුදෙනුකරුවන් ජූනි මස 21 වැනිදාට පෙර අදාළ බැංකු වෙතින් ඉල්ලුම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සිළුමිණට ප්‍රකාශ ‍ කළේය.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ මේ තීරණයත් සමඟ කොවිඩ් 19 තුන් වැනි රැල්ලේ  දැඩි බලපෑම් හා දුෂ්කරතාවයන්ට පත්වූ පිරිස්වලට සහනයක් ලැබෙනු ඇතැයි ද

අධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ කළ විමසීමකදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සභාපතිනි කේෂීලා ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත මෙම සහන උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරගෙන යන බවය.

මෙම සහනයට අමතරව උකස් ණය අත්තිකාරම් ලබාගෙන තිබෙන ගනුදෙනුකරුවන්ට ද මේ සහන කාලය තුළ අදාළ වරප්‍රසාද ලබා දීමට අදාළ බැංකු තීරණය කර තිබේ.

Comments