රජය කොවිඩ් රෝග පාලනයට බිලියන 286ක් වැය කරයි | සිළුමිණ

රජය කොවිඩ් රෝග පාලනයට බිලියන 286ක් වැය කරයි

කොවිඩ් වසංගත තත්ත්වය රෝග පාලනයට මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුබ සාධන ක්‍රියාවලිය උදෙසා සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
මධ්‍යම පළාතේ  කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර ඇතැයි ද ඒ මහතා කීවේය.
 
රුපියල් පන්දහස බැගින් පවුල් ලක්ෂ 40කට මූල්‍යාධාර ලබාදීමේදී විවිධ චෝදනා අපවාද එල්ලවීම සිදුවන නමුත් මූල්‍යාධාර ලබාදීම උපරිම සාධාරණත්වයෙන් යුක්තව ඉටු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
 
මහනුවර දිස්ත්‍රිකයට ලබා දුන් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 11වන දින මෙරටට හිමිවන බවත් එම එන්නත් 15වන දින සිට ජනතාවට ලබාදිය හැකි යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
ලෝකයේ කිසිදු රටක් නිශ්චිත රාමුවක් තුළ සිට මෙම වසංගත තත්ත්වය පාලනය කර නැතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා රෝග මර්දනය හා පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙනුවෙන් රජය බැදි සිටින බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.

Comments