ජාතික කලා ප්‍රතිපත්තියක් ඇති රටක කලාව පහසුයි | සිළුමිණ

ජාතික කලා ප්‍රතිපත්තියක් ඇති රටක කලාව පහසුයි

නදී කම්මැල්ලවීර ලාංකේය වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය කලාවෙහි පමණක් නොව, විටෙක අන්තර්ජාතික තලයේ නිර්මාණවලටත් සිය දායකත්වය සපයමින් අප ගතකරන වකවානුව තුළ රූපණ කලාවේ විශේෂ ලකුණක් තැබූ ශිල්පිනියක්. මින් පෙර ඇය අන්තර්ජාතික තලයේ දී ‘Wakefield‘නම් ඔස්ට්‍රේලියානු ටෙලි නාට්‍ය මාලාවට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඇය ඔස්ට්‍රෙලියාවේ වේදිකාගත වූ ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක් වූ ‘Counting And Cracking‘ (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ද සිය රංගන දායකත්වය සපයා තිබුණා.

නදී කම්මැල්ලවීරගේ නවතම වේදිකා අත්දැකීම, ‘The Cherry Orchard‘ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී මේ දිනවල ප්‍රදර්ශනය වේ. එයත් විදේශ අධ්‍යක්ෂවරයකුගේ නිෂ්පාදනයක්. නදී සමඟ අප සංවාදයට මුල පුරන්නේ මේ අලුත්ම වේදිකා නාට්‍යය අත්දැකීම මුල් කරගනිමින්.

නදීට තවත් අලුත් නිර්මාණ අත්දැකීමක් ලබන්න අවස්ථාව සැලසුණා නේද?

ඔස්ට්‍රේලියානු වේදිකා නාට්‍යය නිර්මාණයක් වෙනුවෙන් එකතුවෙන්න ලැබුණා. එනිසා මේ දවස්වල ඉන්නේ මෙල්බන් නගරයේ. මේ වැඩ ටික නිමා කරලා නැවතත් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

නාට්‍යයට පදනම් වෙන්නෙ මොනවගේ තේමාවක් ද?

එය රුසියානු නාට්‍යකරුවකු වන ඇන්ටන් චෙකොෆ්ගේ ‘The Cherry Orchard‘(චෙරි වත්ත) නාට්‍යයේ අනුවර්තනයක්.⁣ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ Eamon Flack.ඔහුගෙන් ලැබුණු ආරාධනයක් අනුවයි මම මෙයට සම්බන්ධ වෙන්නෙ. නාට්‍ය පුහුණුවීම් කටයුතු මාසයක් පුරා සාර්ථකව කරගෙන යනවා. පසුගියදා එහි මංගල දර්ශනය පැවැත්වුණා.

ඔබ මීට පෙරත් ඔස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයකුගේ වේදිකා නාට්‍ය නිර්මාණයක රඟපෑවා?

2019 බෙල්වර් තියටර් කම්පැනි විසින් කළ ‘Counting And Cracking‘නාට්‍යයේ රඟපෑවා. එහි අධ්‍යක්ෂවරයාගේම අලුත්ම නාට්‍යයට තමයි මම මෙවර සම්බන්ධ වෙන්නේ.⁣ එහි දී ‘චෙරි වත්ත’ නාට්‍යයේ වාර්යා කියන චරිතයටයි මම එක්වන්නේ. එය මට ලැබුණ විශේෂ අවස්ථාවක්. ඒ නිසා මේ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.

අනෙක් නළු නිළි කණ්ඩායම සකස් වෙන්නෙ කොහොම ද?

නාට්‍යයේ නළු නිළි පිරිස විදිහට අපි දොළොස් දෙනෙක් වැඩ කරනවා. මෙහි රඟපාන අනෙක් සියලු දෙනා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන නළු නිළියන්. මේ රට බහුවාර්ගිකත්වය පදනම් වූ රටක්. ඒ නිසා සමකාලීන ඔස්ට්‍රේලියාව නියෝජනයවන නළු නිළි කණ්ඩායමක් තමයි මේ නාට්‍යයේ චරිත නිරූපණය කරන්නේ. මම ලංකාවේ කෙනෙක්. ප්‍රධාන පිරිමි චරිතය රඟපාන ශිල්පියා දකුණු සූඩාන ජාතික ඔස්ට්‍රේලියානුවෙක්. කැනේඩියන් ඔස්ට්‍රේලියානු රංගන ශිල්පිනියක් විසින් රනවෙස්කියා ආර්යාවගේ චරිතය රඟපානවා. මෙහි ලෙබනීස් ඔස්ට්‍රේලියානු සහ චයිනීස් ඔස්ට්‍රේලියානු රංගන ශිල්පිනියන් දෙදෙනෙක් ද කටයුතු කරනවා.

ඇන්ටන් චෙකෝෆ්ගේ ‘චෙරිවත්ත‘අනුවර්තනයක් විදිහට නිෂ්පාදනය වීම ඔබට දැනුණේ කොහොමද ?

‘චෙරි වත්ත‘නාට්‍ය ඇන්ටන් චෙකොෆ් විසින් රචනා කරන්නේ 1904 වර්ෂයේදී. මේ නාට්‍ය පෙළ එදා වගේම අදටත් යාවත්කාලීන වූ ප්‍රස්තුතයක් සකච්ඡා කරන්නේ. අධ්‍යක්ෂවරයා විසින් මෙම නාට්‍යය සමකාලීන ලෝකයට ගැළපෙන්න අනුවර්තනය කර තිබෙනවා.

 

රංගන ශිල්පිනියක්, සාහිත්‍ය ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ කෙනෙක් විදිහට මේ කෘතිය ඔබ විඳින්නෙ කොහොම ද?

ඇන්ටන් චෙකෝෆ් මම හඳුනගෙන හිටියේ කෙටිකතාකරුවෙක් විදිහට. මගේ තාත්තා ජයතිලක කම්මැල්ලවීර, ඔහුගේ සාහිත්‍ය ජීවිතය තුළත් තාත්තා ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ අධ්‍යයනය කරපු කෙනෙක්.‘චෙරි වත්ත‘ නාට්‍යය මට රඟපාන්න ලැබුණාම අපි චෙකොෆ්ගේ නිර්මාණ පිළිබඳ සාකච්ඡා කළා.

ඔහුගේ අනෙකුත් නාට්‍ය මම කලින් කියවා තිබුණත් නැවත කියවන්න පටන් ගත්තා. මනුෂ්‍ය ජීවිතයේ පරස්පරතා මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය සහ කැකෑරෙන ජීවිත පිළිබඳ ඔහුට තිබුණු අති සියුම් අවබෝධය පිළිබඳ මට පුදුමයි. මා ඔහුගේ නිර්මාණවලට මුසපත් වෙලා ඉන්නේ. ඔහුගේ ලිවීම හාස්කමක්.. මං හිතන්නේ නාට්‍යයෙන් පස්සෙත් මං ඇන්ටන් චෙකොෆ්ව කියවයි.

 

ලොවම කොවිඩ් අවදානමට මුහුණ දෙන මේ වකවානුවේ වේදිකා නාට්‍යය අත්දැකීමකට යන්න ඕස්ට්‍රේලියාවට හැකිව තිබෙනවා. ඒ සුබවාදී පසුබිම පිළිබඳ කතා කළොත් ?

කොවිඩ් වසංගතය පාලනය කරගත් රටවල් අතර ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ රටක්. මා ජීවත්වන සිඩ්නි නුවර සාමාන්‍ය ජන ජීවිතයට දැන් ඉඩ සැලසී තිබෙනවා. වේදිකා නාට්‍යය සඳහා මාස 6කට කලින් අවස්ථාව සැලසුණා. මුලින් රංග ශාලාවලට ප්‍රේක්ෂකයන් ඇතුළුකර ගත්තේ සියට පනහක් පමණයි. දැන් ඒ තත්ත්වයෙන් මිදී සාමාන්‍ය විදිහට නාට්‍ය බලන්න පහසුව සලසා තිබෙනවා.

 

ඕස්ට්‍රේලියාවේදී රංගන ශිල්පීන්ගේ වෘත්තීය පසුබිම ගැන කතා කළොත් ?

රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් කියන්නේ මෙහි අතිශයින්ම පිළිගැනීමක් තිබෙන ස්ථාපිත වෘත්තියක්. නාට්‍යයකට අපි සම්බන්ධ වෙන මූලික අවස්ථාවේදීම ශිල්පීන් සමඟ ඔවුන් ගිවිසුමකට එනවා. ඒ ගිවිසුම තුළ පුහුණුවීම් සඳහා පැමිණෙන කාලය, ශිල්පීන් සඳහා ගෙවීම් පිළිබඳ, වේදිකා ගතවන අවස්ථාවේදී වෙන් කළ යුතු කාලය වගේම වගකීම් පිළිබඳ සියල්ලක්ම එම ගිවිසුමට ඇතුළත් වෙනවා. ඒ ගිවිසුමට පිටතින් කිසිවක් වන්නේ නැහැ. නළු නිළියන්ට අයිතිවාසිකම් හිමිවෙනවා වගේම පහසුකම් ලබා දෙනවා. නළු නිළියන් වගකීමෙන් වැඩ කිරීමත් ඔවුන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. නළු නිළි වෘත්තීය සමිති මෙහි තිබෙනවා. රංගන ශිල්පියෙක් අලුත් කෙනෙක්ද පරණ කෙනෙක්ද කියලා වෙනසක් නැහැ. රංගන ශිල්පියෙක් ශිල්පිනියක් නම් සියලු දෙනාටම සමාන පිළිගැනීමක් තියෙන්නේ. සමානව ගෙවීම් ලැ⁣බෙනවා.

 

නවීන තාක්ෂණික පහසුකම් සහිත රංග ශාලාවක අත්දැකීම ගැන කතා කළොත් ?

ඔස්ට්‍රේලියාව ආර්ථිකව දියුණු රටක් වගේම කලාව සාහිත්‍යය රසවින්දනය අතිනුත් ඉතාම පොහොසත් රටක්. නාට්‍ය බලන්න සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකට වෙන් වුණු හොඳ ප්‍රේක්ෂකාගාර පද්ධතියක් රට පුරාම විහිදිලා තිබෙනවා. වැදගත්ම දේ මේ රටේ කලා සංස්කෘතියක් ස්ථාපිත වී තිබීම සහ ජාතික කලා ප්‍රතිපත්තියක් මෙහි ක්‍රියාත්මක වීම.

 

නිර්මාණ නිදහස පිළිබඳ මොන වගේ අදහසක් ද ඔබට අත් දකින්න ලැබුණේ ?

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයකින් නාට්‍ය පිටපතක් අනුමත කරගන්න මේ රටේ අවශ්‍ය වන්නේ නෑ. නාට්‍ය නිෂ්පාදනය කරන ආයතනයයි එහි වගකීම දරන්නේ. කලාව සඳහා නිදහස නිර්මාණකරුවන්ට ලැබෙනවා. වාරණය පිළිබඳ අත්දැකීම් මෙහි දී මා දැකලා නැති තරම්.

Comments