රජවරු පවා වසඟ කළ ‘ඉන්දියානු රටඉදි’ රසය | සිළුමිණ

රජවරු පවා වසඟ කළ ‘ඉන්දියානු රටඉදි’ රසය

 

 

සියඹලා කියූ සැණින් අපට මතකෙට නැඟෙන්නෙ පැඟිරි රසය පිරුණු සියඹලා මදයයි. අතීතයේ සිටම සියඹලා මදය විවිධ වෑංජන රසවත් කිරීම සඳහා යොදා ගැනීමට අපේ පැරැන්නන් පුරුදුව සිටියා. ඒ සියඹලා කරලෙන් ලැබෙන ඇඹුල එයට ආවේණික රසය වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට නොහැකි බව ඔවුන් සිතූ නිසාවෙන්. රස වගේම ඉහළ ඖෂධීය ගුණයන්ද යුතු සියඹලා ශාකය‘ඉන්දියානු රටඉදි‘,‘ආම්ලිකා‘,‘චින්චා‘,‘තිත්තීඩි‘යනුවෙන් ද හැඳින්වෙනවා. සියඹලා ගසට හානියක් කළොත් එකල රජවරුන් ගේ උදහසට හා දඬුවම් ලැබූ බවද ඉතිහාසයේ සඳහන්.

 

සියඹලා චට්නිය

භාජනයක් ලිප තබා එයට සියඹලා යුෂ කෝප්පයක්, සීනී ග්‍රෑම් 100ක්, චොප් කරගත් සුදු ලූනූ හා අමු ඉඟුරු තේ හැන්දක්, මිරිස්කුඩු මේස හැන්දක් හා වතුර කෝප්ප 1/4 දමා රස අනුව ලුණු ද එක් කොට මඳ ගින්නේ උකුවන තුරු හැඳි ගා ගන්න. හොඳින් උතුරුවා ගෙන ලිපෙන් බා ජීවාණුහරණය කළ බෝතලයකට අසුර ගන්න.

 

 සියඹලා ගුණ

 

සියඹලා හෘදයට ඉතා ගුණදායී පළතුරකි.

එදිනෙදා ආහාර වේලට සියඹලා යෙදු වෑංජන යොදා ගැනීමෙන් ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ.

මල බද්ධය දුරු කරයි.

සියඹලා කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහා අන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කර මහ අන්ත්‍රයේ පිළිකා සෛල ඇතිවීම වළක්වයි.

දියවැඩියා රෝගීන්ට සියඹලා ඉතා ගුණදායක වන්නේ ආහාර ගත් විගස රුධිරයේ වැඩිවන සීනි ප්‍රමාණය අඩුකිරීමට සියඹලාවලට හැකි නිසාවෙනි.

අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කිරීමට උපකාරී වේ.

ඔක්කාරය සමනය කිරීමටද සියඹලා උපකාරී වේ.

 

 

අත් බෙහෙත්

 

සියඹලා කොළවලින් සාදාගත් පානය වයිරස් උණට ඉතා ගුණදායකය.

මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර බීම සුදුසුය.

අඹරාගත් සියඹලා කොළ තැලුම් ඉදිමුම්වලට යොදා ගනියි.

සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කරයි.

රක්ත අර්ශස් රෝගයට ප්‍රතිකර්මයක් ලෙස මිරිකාගත් සියඹලා මලෙහි යුෂ දෙනු ලැබේ.

මද්‍යසාර, අත්තන ආදියෙන් ඇති වූ මත්විෂ නැසීමට සියඹලා භාවිත කරයි.

හොඳින් තම්බාගත් සියඹලා කොළවලින් ඇස් සේදීමෙන් ඇස් ලෙඩ සමනය කරයි.

සියඹලා කොළ කොටා එම ඉස්ම කකාරා ආලේප කළ විට හන්දිපත් රුදාව සමනය වේ.

මඳසරුභාවය සහ ශුක්‍ර දෝෂවලට සියඹලා කොළ චූර්ණය භාවිත කෙරේ.

සියඹලා කොළ අමුකහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ දැවිලි ආදි අවස්ථාවල් වලදී සේදීමට යොදා ගනියි.

හිසරදය සුව කිරීමට දේශිය වෛද්‍ය සත්කාරයේ සියඹලා කොළ, රතු ලූනූ , උදු පියලිය කොටා ඉස්ම පානය දෙයි.

 

සියඹලා පානය

ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර ගත් මද කිහිපයක් හොඳින් පොඩි කර එයට ජලය වීදුරුවක් පමණ දමා සීනී, ලුණු කුරුඳුපොතු හා එනසාල් කුඩු ස්වල්පය බැඟින් හොඳින් මිශ්‍ර කොට අවශ්‍ය නම් ශීතකරණයේ මඳ වේලාවක් තබා සිසිල් වූ පසු පානය කරන්න.

 

උපදෙස්

වී.ජී. ස්වර්ණලතා - උමංදාව දේශීය ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

 

ඡායාරූප - තිලක් පෙරේරා

Comments