ලොව හොඳම මුව ආවරණයක් හදා ජීවත් වීමේ සහතිකය දුන් අපේ විද්වතා | සිළුමිණ

ලොව හොඳම මුව ආවරණයක් හදා ජීවත් වීමේ සහතිකය දුන් අපේ විද්වතා

 

මේ රට පුදුමාකාර තරම් අපූරුය. අප සිටියේ ජීවිත බලාපොරොත්තු අත්හරිමිනි. ලෝකයම ගිලගත් මහා උවදුරේ පහසු ගොදුරක්ව ව්‍යසනයට ලක් වෙන්නට හිත හදා ගනිමිනි. ඇසෙන දකින බොහෝ දේ ජීවිත අපේක්ෂාවන් දැල්ලුවේ නැත. එහෙත් අවසාන තත්පරයේ දී අපි යළි සිනාසෙමින් ජීවිතය වැලඳගන්නට සැරසෙමින් සිටිමු. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ සමඟ රසඳුන මේ සංවාදයේ යෙදෙන්නේ මරණයට සමීප වෙමින් සිටි විඩාපත් රටකට ජීවත් වීම සඳහා වූ සහතිකය ලබා දුන් විශිෂ්ට මනුෂ්‍යයෙක් වශයෙනි.

 

ලෝකයේ මෙතෙක් නිර්මාණය කළ විශිෂ්ටම මුව ආවරණය නිර්මාණය කළේ ලංකාවේ අපය. ඒ නිමැවුම කළ විද්වත් කණ්ඩායමේ පුරෝගාමියා ඔහුය. සියයට සියයක් ආරක්ෂාව සහතික කරන, පෘෂ්ටය මත ගැටෙන කොවිඩ් වයිරසය විනාශ කර දමන, මෙතෙක් ලෝකයේ නිර්මාණය වුණු ඵලදායීම මුව ආවරණය සැලසුම් කර අපේ රටේ මිනිස්සුන්ට ලබා දුන් මේ විශිෂ්ට විද්වතා මේ සකසා දුන්නේ මුව ආවරණයක් පමණක්ම නොව, රටට ලෝක ආර්ථිකය වෙත පිවිසිය හැකි ප්‍රවේශ මාර්ගයක් බව අපට සිතෙන්නේය.

ඒ සියලු වටිනාකම්වල අසීමිත අගය පිළිබඳ උපන් පහන් හැඟීම පෙරදැරිව අපි මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් සමඟ පිළිසඳර ඇරඹුවෙමු. කවියක් සේ රසවත් මියුරු ළමා වියේ අරුම අතර සැරිසරමින් ඔහු අප හා සංවාදය ආරම්භ කළේය.

“ මං උපන්නෙ අම්පාර ඈත කෙළවරක තියෙන ගෝණගල කියන කෘෂි කාර්මික ගමේ. අපි ගොවි පවුලක්. අම්මයි තාත්තයි ගොවියො. ගෙදර පවුලේ සහෝදර සහෝදරියො නව දෙනයි. මම තුන්වෙනියා. වැඩිමල් පිරිමි දරුවා. අපි මුලින්ම ඉස්කෝලෙ ගියෙ ගෝණගල කනිෂ්ඨ විද්‍යාලයට. “

“ඉස්කොලෙ ගිහින් ඇවිත් තාත්තට හේනෙ කුඹුරෙ වැඩට උදවු කරන්න තිබුණා. හරකුන්ට තණකොළ කපන්න ඕන. ගොයම පැහෙන කාලෙට කුඹුරෙ කුරුල්ලො එළවන්න ඕන. ගෙදර එළවළු පාත්ති හදන්න ඕන. මේව අපි කළේ පුදුමාකාර කැමැත්තෙන්. ගස් නැගලා ගඩා ගෙඩි කකා, වැවේ පැනලා නාලා ඒ ගත කරපු ජීවිතය අද ගම්වල දරුවන්ටවත් නෑ.“

“ළමා කාලෙදි අම්මයි තාත්තයි එක්ක එකොළොස් දෙනෙක් වුණු අපේ පවුලට කිසිම අග හිඟයක් තිබුණු බව මට මතක නෑ. ගම්වල අපට අමුතු වියදම් නෑ. කිසිම පොහොරක් බෙහෙතක් නැතිව හරිම සරුසාරෙට එළවළු ටික වත්තෙ හැදුණා. ගෙදර පොල් ගස් කීපයක් තිබුණා. හොඳට කුඹුරු පැහුණා. ඉස්කෝලෙට යන්නෙ පයින්. ඒ දවස්වල ටියුෂන් කියන දේවල් අපි අහලවත් තිබුණේ නෑ.“

“ඔය අතරෙදි තමයි මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්නෙ ගෝණගල කනිෂ්ඨ විද්‍යාලයෙන්. අපේ කාලේ ශිෂ්‍යත්ව විභාගය තිබුණෙ 8 පන්තියෙ දි. මම ශිෂ්‍යත්ව විභාගය පාස් වුණාම මට ලැබුණේ බිබිල සෙන්ට්‍රල් එක. තාත්තා මාව ගිහින් එහෙ නැවැත්තුවා. “

ඒ මනරම් කතාව එක වචන මාත්‍රයක් ගිලිහෙන්නට නොදී අසා සිටියෙමි. මේ විද්වත් චින්තකයාගේ චින්ත පෞරුෂය ගොඩනඟන්නට සොබා දහම හා ගෙවුණු ළමා කාලය බොහෝ පිටිවහලක් වී තිබිණි. ශිෂ්‍යත්ව විභාගය සමත් ගාමිණී රාජපක්ෂ ද්විතියික අධ්‍යාපනය සඳහා යොමුවන බිබිල මධ්‍ය මහා විද්‍යාලය ද නිදහස් ගැමි පරිසරයක පිහිටි පාසකි. පාසල පහළින් ගඟ ගලාගෙන ගියේය. මේ ගඟේ දියවර අතර කිමිදෙමින් ලද සතුට ගැන මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් අදත් සිහි කරන්නේ මහා ප්‍රමෝදයකිනි.

“ මේ නිදහස් කාලය ඇතුළේ මට හීන මවන්න ඕන තරම් කාලය තිබුණා. ඒ සිහින සැබෑ කරගන්න විදිහ ගැන සැලසුම් කරන්න ඉඩ තිබුණා. මේ පරිචය මගෙ ජීවිතේට ඉතාම වැදගත් වුණා. ඉස්කොලේ දි මම ගණිතයට දක්ෂයි. මට ළමයි කිව්වෙ ගණිතඥයා කියලා. මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළින් සරසවි ආවේ බිබිල මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් සරසවියට එන මුල්ම ශිෂ්‍යයා විදිහට.“

පේරාදෙණිය සරසවියේ විද්‍යා අංශයට ඇතුළත් වන ඔහු රසායන විද්‍යාව විශේෂවේදී උපාධි පාඨමාලාව සඳහා තේරෙන්නේය. එම අධ්‍යයන කාලය පුරාම රසායන විද්‍යා පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා ඔහුය. ඒ හේතුවෙන්ම ඔහුට සරසවි අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබෙන්නේය. අනතුරුව ඔහු රසායන විද්‍යා පාඨමාලාවේ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් සහිතව සමත් වන්නේය. ඒ 1983 දීය.

“1984 දෙසැම්බර්වලම මට සහකාර කථිකාචාර්ය ලෙස පත්වීම ලැබුණා. 84 ජූලි පත්වීම ස්ථිර වුණා. වර්ෂ 1985 දී මගෙ ආචාර්ය උපාධියට ලන්ඩන් විශ්විද්‍යාලයේ ඉම්පීරියල් විද්‍යා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. එය ඒ වකවානුවේ එය බ්‍රිතාන්‍යයෙ හොඳම සරවිය. ලෝකයේ අංක 8 හිමි කරගත් සරසවිය. .“

රාජපක්ෂයන් ආචාර්ය උපාධිය කර ලංකාවට එනනේ 1988 වකවානුවේය. ඒ කාලය අවිචාර සමයකි. පේරාදෙණිය සරසවියත් අමු සොහොනක් වූ ආකාරය සමකාලීනව සරසවියේ ගත කර අද ලෝකය දිනාගෙන සිටින සමහර විද්වත්හු සිය ජීවිතාවර්ජනවල දී අප සමඟ කී හැටි මතකය. ඒ වනවිට ලංකාවේ සරසවි පද්ධතිය වසා තිබිණි. ගාමිණී රාජපක්ෂයන් නැවත එංගලන්තයට ගොස් ඉම්පීරියල් සරසවියේ අධ්‍යයන කටයුතුවලට එක් වී යළි ලංකාවට එන්නේ 1991 දීය.

1999 දි හේ පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබුවේය. අවුරුදු 08කින් පසු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට පත් වූයේය. දැනට වසර 15ක්ම එතුමා පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය.

මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් දැන් ලොව පිළිගත් විශිෂ්ට පර්යේෂණ ගණනාවක් කළ විද්වතෙකි. හේ නව නිර්මාණ 10කට පේටන්ට් අයිතිය හිමි පර්යේක්ෂකයෙකි. අන්තර්ජාතික තලයේ පේට්න්ට් අයිතීන් දෙකක් ද ඔහු සතුය. ප්‍රාමාණික විද්වත් පර්ෂයදහි සම්භාවනාවට ලක්වන පර්යේෂණ පත්‍රිකා සියයකට වැඩි ගණනක් අන්තර්ජාතික සඟරාවල පළ කළ විද්වතෙකි. නාසා ආයතනයේ ඔහුගේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් සේවය කරන්නේය. ලෝකයේ සෑම පිළිගත් විශ්ව විද්‍යාලයකම ඔහුගේ ඇසුරෙහි ශික්ෂණය වූ සිසුහු වෙති. ඔහුගේ රෙකමදාරුව ආචාර්ය උපාධි සඳහා ලෝකයේ ඕනෑම සරසවියක ප්‍රවේශ දොරටු විවර කිරීමට සමත්ය.

“ඔබතුමා මේ මුව ආවරණය හදන්න හිතුවේ ඇයි?. “ඉලක්ක ප්‍රශ්නය වෙත ඔහුව යොමු කළෙමි. මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් දැඩි අවධාරණයකින් යුතුව සිය අදහස අපට කීවේය.

“මම නිදස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු කෙනෙක්. රටට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවම අපි ඊට මැදිහත් වීම අත්‍යාවශ්‍යයයි. ඒක වගකීමකට එහා ගිය යුතුකමක්.“

“ කොවිඩ් ආවාම බැලුවා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඒ වෙනකොට මම මොරටුවෙ සරසවියේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු අංශයේ පර්යේක්ෂකයන් කණ්ඩායමක් සමඟ එක්ව වැඩි දියුණු කළ රෙදි ප්‍රභේද ගැන පරීක්ෂණ කරමින් හිටියේ. කුණු ගැවෙන්නෙ නැති, දහදිය දාන්නෙ නැති, බැක්ටීරියා නොරැඳෙන, මදුරුවන් විකර්ෂණය කරන වැඩි දියුණු කළ රෙදි වර්ග ගැන අපි පර්යේෂණ කරමින් සිටියා. ඒවා එංගලන්තයෙ නිෂ්පාදනවලට යොමු කරගන්න ආකාරය ගැන ගිවිසුමකට එළැඹෙන්න සූදානමින් හිටියා. කොවිඩ් හින්දා ඒ සියල්ල නැවතුණා.

මේ වැඩි දියුණු කළ රෙදි සම්බන්ධව මගෙ තිබෙන දැනුම මාස්ක් එකක් නිර්මාණයට යොදා ගන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. අනෙක දැන් අප ජීවත් වෙලා ඉන්නෙ ලෝකයක් විදිහට බරපතළ අර්බුදයකට. ලෝක ජනහගණය බිලියන 7.9ක්. ඔවුන් සියලුම දෙනා මුව ආවරණ පැලඳිය යුතුයි. නිසි නියමන් අනුගමනය කරනවා නම් පොලිප්‍රොපිලීන් මුව ආවරණ එක් වරක් පමණක් භාවිත කර ඉවත් කළ යුතුයි. ඒ මුව ආවරණ දිරන්නෙ නෑ. මහා පරිසර ප්‍රශ්නයක්. ඒ වගේම ආරක්ෂාව සාපේක්ෂව අඩුයි. වෛරසය මුව ආවරණය මතුපිට දින ගණනක් නොමැරී ජීවත් වෙනවා.

මේ නිසා වඩාත් ඵලදායී, පරිසර හිතකාමී මුව ආවරණයක් හදන්න අපට අවශ්‍ය වුණා. අපි සැලසුම් කළේ පරිසර හිතකාමී කපු රෙදිවලින් හදන මුව ආවරණයක්. මේ මුව ආවරණය ස්ථර තුනකින් යුතුයි. මුල් ස්ථරය නෙළුම් කොළයක් වගේ. අපේ පර්යේෂණ දැනුම අපට කටයුත්ත ඉතා පහසු කළා. ක්ෂේත්‍රයෙදි මෙවැනි වැඩි දියුණු කළ රෙදි විශේෂයක් නිර්මාණය කරගන්න ක්‍රම 19ක් අප සොයාගෙන තිබුණේ. මෙය මුව ආවරණයක් නිසා රෙදිවල කිසිම වසක් විසක් තියෙන්න බෑ. ඒ වගේම අප භාවිත කරන ද්‍රව්‍ය රෙද්දට හොඳින් රසායනිකව බැඳිලා සේදුවත් ගැලවිලා නොයන සේ තිබිය යුතුයි. මුලින්ම අප එය කළා. නෙළුම් කොළය වගේ පෘෂ්ටය නිසා වෛරසය රැඳෙන්නෙ නෑ... විසි වී යනවා.

වෛරසය කියන්නෙ අතිශය සියුම් අංශුවක්. ඒ නිසා මේ නෙළුම් කොළේ වගේ තිබෙන ස්ථරය හරහා එම අංශු ඇතුළට ගියොත් එය වළක්වන්න අවශ්‍ය වුණා. ඒ නිසා දෙවන ස්ථරයේ කපු රෙද්ද මිනිස් ශරීරයට අහිතකර නැති, රූපලාවණ‍ය ආලේප සඳහාත් භාවිත කරන රසායනික සංයෝග දෙකකින් බලගැන්නුවා. ඒ ස්ථරය හරහා වෛරසය අතුළු වෙන්න ගියොත් රෙදිවල බන්ධනය කරලා තියන ඒ සංඝටක විසින් වෛරසය විනාශ කරනවා. තුන්වන ස්ථරය ජල වාෂ්පවලට ඔරොත්තු දෙන, මිනිස් සිරුරට අහිතකර නොවුණත් මැද ස්ථරයෙ ඇති කිසිම රසායනික ද්‍රව්‍යයක් සිරුරට ස්පර්ශ නොවන වැඩි දියුණු කළ කපු රෙද්දකින් ආවරණය කළා.“

“මේ මාස්ක් එක හදලා අපි එංගලන්තයෙ ඉම්පීරියල් සරසවියේ දියුණුම පර්යේෂණාගාරයකින් තුන් වරක් පර්යේෂණ කළා. තුන් වතාවෙම ප්‍රතිඵලය ආවෙ සාර්ථකත්වය සියයට 99.9යි. “

ලංකාවේදී කළ පර්යේෂණවලදි අපි තහවුරු කරගත්තා වොෂින් මැෂිමක 20ක් යනතුරු සේදුවත් කිසිම ආකාරයකින් පිටත ස්ථරයේ නෙළුම් කොළය ස්වරූපය විනාශ වෙන්නෙ නැති වග. ඒ කියන්නෙ පුද්ගලයකුට මේ එක මුව ආවරණයක් සෝදමින් මාසයකට ආසන්න කාලයක් භාවිත කළ හැකියි.

ඒ වගේම අප තහවුරු කරගත්තා මෙය පලඳින පුද්ගලයකුට රෝගය බෝ වන්නෙ නෑ වගේම රෝගියකුගෙන් මේ මුව ආවරණය හරහා වෛරසය එළියට ගමන් කරන්නේ නැති වග. “

එහෙත් මේ විද්වත් කණ්ඩායම මෙම මුව ආවරණය හදා එය Respirone ලෙස නම් කර පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා කාලය ඇතුළත මීට සමාන, එහෙත් තාක්ෂණිකව මීට බෙහෙවින්ම බාල උපක්‍රම සහිතව Respilon ලෙස නම් කළ මුව ආවරණයක් චෙකොස්ලෝවැකියාව විසින් විදේශ වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කීරීම අරඹා තිබිණි.

“කොහොම වුණත් මේ මොහොතෙත් මේ මාර්ස්ක් එක තමයි ලෝකයේ නිෂ්පාදනය වෙන සෞඛ්‍ය ආරක්ෂිතම මාර්ස්ක් එක.“ මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් තහවුරු කරන්නේය.

මෙම මුව ආවරණය නිර්මාණය වන්නේ විශාල පරාසයක විෂය ක්ෂේත්‍රයන්හි දැනුම, කැපවීම හා අවබෝධයේ එකමුතුවකිනි. සරසවිය තුළ මේ විශිෂ්ට පර්යේෂණය සිදුකිරීමේ පදනම නිර්මාණය කළෝ උපකුලපති උපුල් දිසානායකයෝය. නියොජ්‍ය උපකුලපති පරාක්‍රම කරුණාරත්නයන්ය. මේ විශිෂ්ට පර්යේෂණය ප්‍රායෝගික කර එය වාණිජ නිෂ්පාදනයක් තෙක් දියුණු කිරීමට මූලිකත්වය ගන්නේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනය. කපු රෙදි රසායනිකව බල ගන්වන ද්‍රාවණය හදන්නේ කටුනායක ඉසබෙලා ආයතනයෙනි. එය රෙදිවලට බන්ධනය කරන්නෙ කඩුවෙල ලුමියා ආයතනයෙනි. ලෝකයට මේස් නිෂ්පාදනය කරන සමාගමක් වූ සරසවි ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනය හරහා මෙම මුව ආවරණය නිෂ්පාදනය කරවා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ඔස්සේ සතොස වෙළෙඳසල් හරහා රුපියල් දෙසීයකට දැන් අපට අලෙවි වන්නේය. Respirone මුව ආවරණයේ සංක්ෂිප්තය රටක් ලෙස එකමුතු වුවහොත් අපට ජයගත හැකි අභියෝග හි ප්‍රමාණය කියන්නේය.

මහාචාර්ය ගාමිණී රාජපක්ෂයන් සිය පර්යේෂණ දිවි සැරයේ නිම් හිම් සොයා යන්නේ පේරාදෙණියේ සිය අසපුවක් බඳු නිවෙසේ නිදහසේ දිවි ගෙවමිනි. ඔහුගේ ප්‍රිය බිරිය රමණී රාජපක්ෂය. මහනුවර ධර්මරාජයෙන් අකුරු කළ ඔහුගේ දරු තිදෙනා ද මේ වනවිට ලොව දිනූ විද්වතුන්ය. වෛද්‍යවරයෙක් වූ ලොකු පුතා ශෂංක රාජපක්ෂ රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙකි. දෙවැනියා චතුර රාජපක්ෂ බෙල්ජියමේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින ඉංජිනේරුවරයෙකි. බාල පුතා තිළිණ රාජපක්ෂ පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින්නේය.

“ දැන් මම බොහොම නිදහස් කෙනෙක්....“ මහාචාර්ය ගාමිණි රාජපක්ෂයන් සිනාසෙමින් කියන්නේය. ඒ සැහැල්ලු හඬෙහි ගෝණගල ගමේ ගොවි ගෙදර හිඳ වෙල් යායේ ඉපනැල්ලෙහි දුව පැන ඇවිද හැදී වැඩුණු නිවහල් ගැමියාගේ පෞරුෂය තවමත් රැඳී ඇතැයි විශ්වාස කරමි.

 

Comments