සම මරා සුදු වෙන්න නොසිතන්න | සිළුමිණ

සම මරා සුදු වෙන්න නොසිතන්න

 

ශ්‍රී ලාංකේය කාන්තාවන් සහ පුරුෂයන් බහුතරයක් හිමි කම් කියන්නේ තලෙළු නැතිනම් දුඹුරු හෝ ළා දුඹුරු පැහැති සමකටය. සමේ වර්ණයට හේතු වන්නේ මෙලනින් වර්ණකයේ අඩු වැඩි බවය. ස්වභාවයෙන් ලද රූපය, සමේ පැහැය ඇතුළු ශරීරාංගවල ස්වභාවය තව තවත් ඉස්මතු කරගැනීමට නොයෙක් රූපලාවණ්‍ය සත්කාර වෙත අතීතයේ සිටම මිනිස්සු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යොමු වූහ. පැරැණි සමාජයේ දී රූප ලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගනු ලැබුවේ ස්වභාවික සත්කාරයන්ය. එහෙත් රූපලාවණ්‍ය කර්මාන්තයක් වී ඊට නූතන තාක්ෂණික ක්‍රමෝපායන් එක් වීමත් සමඟ ඉක්මන් කෙටි ක්‍රම සේම කෘත්‍රිම රූපලාවණ්‍ය සත්කාර බිහි විය. රුව වඩවා ගැනීම සඳහා සම වෙනස් කර ගත හැකි කෘත්‍රිම සත්කාර ක්‍රම හා විලාසිතා වෙළෙඳ පොළට එන්නට පටන් ගත්තේය.

 

රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කර්මාන්තයක් වී දැවැන්ත වෙළෙඳපළක් නිර්මාණය වූ පසු ඒ වෙළෙඳපළ හැසිරීම මත කලින් කලට රූපලාවණ්‍ය ලොවේ විවිධ ප්‍රවණතා ඇති විය. කලක් ‘සුදු හමට‘තිබුණු ඉල්ලුම වැඩිය. ඒ වකවානුවේ තලෙළු සමක් හිමි අපේ කලාපේ ඇත්තෝ ද වයස් භේදයකින් තොරව සුදු වෙන කෙටි ක්‍රම සෙව්වෝය. මේ වනවිට විලාසිතා ලෝකයේ යළි තලෙළු සමට වැඩි ආකර්ෂණය හිමි වී ඇති බව මෑත කාලීනව විලාසිතා ලොව සේම අන්තර්ජාතික රූ රැජන තරග වේදිකාවලද දුටුවෙමු.

නමුත් තවම අපේ සමහර කාන්තාවෝ සේම පිරිමිද සුදු වෙන රැල්ලෙන් මිදී නැත. හෝමෝන පෙති, එන්නත්, ශල්‍යකර්ම, ක්‍රීම් වර්ග පසුපස හඹා යාම නතර කර නැත. ව්‍යායාම, එළවළු, පලතුරු, ජලය හා ස්වභාවික රූපලාවණ්‍ය සත්කාරවලින් තොර වූ මෙම කෘත්‍රිම ක්‍රමවේද කොතරම් යෝග්‍ය ද යන්න ගැටලුවකි. පසුගිය කාලය තුළ සිදුවූ ඇතැම් ඛේදවාචක ඊට උද‌ාහරණ ලෙස ගෙනහැර දැක්විය හැකිය.

අද අප කතා කරන්නේ මේ සමාජය තුළ තවමත් පවතින සුදු වීමට ඇති කැමැත්ත පිළිබඳය. රසඳුන රූ රහස් ඔස්සේ සුපුරුදු පරිදි ඔබ එවන් නිවැරැදි රූපලාවණ්‍ය කරුණු කාරණා පිළිබඳ දැනුම්වත් කරන්නේ රංගන ශිල්පිනියක් සේම දේශීය වෛද්‍යවරියක්වන අයෝමි ශානිකා ය.

“වර්තමානයේ අවුරුදු දා හතර පහළොව වයස් සීමාව පසුවුණු විගස තරුණයන්ට කෙසේ වෙතත් බොහෝ තරුණියන් මානසිකව ඇද දමන ගැටලුවක් තමයි " අනේ මම කළුයි. මට ඉක්මන්ට සුදු වෙන්න පුළුවන්ද" යන්න. එවැනි සමහර තරුණියන් මෙම ගැටලුව නිසාම මානසික ආතතියකට ලක් වෙන අවස්ථා තිබෙනවා. ඒ ගැටලුව මතු වෙන්නෙ වයසත් එක්ක විරුද්ධ පාර්ශ්වයේ අවධානයට ලක් වීම සමඟයි. ඉතින් එයට ඔවුන් කදිම විසඳුම් හොයා ගන්නවා. සුදු වෙන එන්නත හොයනවා. එය පාවිච්චි කළ සැණින් සුදු වෙනවා යැයි හිතනවා. එතැන තමයි තරුණ තරුණියන් වරද්ද ගන්න තැන.

අපට තිබිය යුත්තේ නිරෝගි කාන්තිමත් සමක්. සුදු කියන්නෙ ඇත්තටම අපේ සමේ ස්වභාවික වර්ණයක් නෙමෙයි. සුදු වෙනවා යැයි කියන එන්නත් භාවිත කළ පසු බොහෝ ජානමය වෙනස්කම් ඇති වෙන්න පුළුවන් බව සායනිකව තහවුරු කර තිබෙනවා. පසුකාලීනව සමේ පිළිකාවලට මුහුණ දීමේ අවදානමට ඔවුන් ලක් වෙනවා. සුදු වෙනවා යැයි කියන එන්නතේ අඩංගු හයිඩොස් කියන රසායනික සංයෝගය නිරෝගි සම මලානික සුදුමැලි සමක් බවට පත් කරනවා. අපේ ශරීරයට අවශ්‍යම මෙලනින් තමයි එලෙස වෙනස් වෙන්නේ. ඇත්තටම සුදු වෙනවා යැයි කියන එන්නත්කරණයෙන් අවසාන ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ පෝෂ්‍ය කොටස් විනාශ වූ රෝගී සමක්.

සමේ වර්ණය මෙන්ම නිරෝගී බවටත් අවධානය යොමු කළ යුතුයි. නිරෝගී සමක් කියන්නෙම ප්‍රත්‍යස්ථ බව, තෙතමනය හා කාන්තිමත් බව යන සාධක. අපි තිබෙන්නේ මොන ආකාරයේ සමක් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට පුළුවන් සරල පරීක්ෂණයක් කරන්න.

ඔබ උදෑසන අවදි වී හොඳින් මුහුණ සෝදා පැයකට පමණ පසු ටිෂු කඩදාසියක් මුහුණ මත තබා විනාඩි දෙකකට පමණ පසු එය ඉවත් කරන්න. ඒ ටිෂු කඩදාසිය වියළි නම් ඔබට තිබෙන්නෙ වියළි සමක්. ටිෂු එකේ තෙල් ගතියක් තිබෙනවා නම් ඔබට තිබෙන්නෙ තෙල් සහිත සමක්. ඉංග්‍රීසි හෝඩියේ ටී අකුරේ හැඩයට තෙත් ගතිය තිබේ නම් ඔබට තිබෙන්නේ මිශ්‍ර සමක්.

ආයුර්වේදයට අනුව සම වාත, පිත, කළු යනුවෙන් වෙන් කෙරෙනවා. පිත සහිත හමක් හිමි අය සුදු පැහැයෙන් යුක්තයි. නමුත් නිතරම ආසාත්මිකතා ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. මදුරුවෙක් කෑවත් සම රතු පැහැ වෙනවා. රුධිරය උණුසුම් වාත සමක් හිමි අයගේ ශරීරය කෙට්ටුයි. සම වියළියි. කළු සමක් හිමි අයගේ සම ටිකක් හයියයි. සම පිරිපුන්. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි වාත පිත කළු කියලා තනි තනිව කිසිම කෙනෙක් නැහැ. කුමක් හෝ වර්ග දෙකක් මිශ්‍ර වුණු අය තමයි ඉන්නෙ.

ඉතින් ඔබේ සමේ වර්ගය කෙබඳු වුණත් ස්වභාවික සත්කාරයෙන් සමට අවශ්‍ය නිසි පෝෂණය කාන්තිමත් බව තෙතෙමනය රැකගැනීමේ පිරිසුදු කිරීම් (Cleaning), සම්බාහනය (Massage, ඖෂධ මඟින් ස්වේද කිරීම (දුම ඇල්ලීම- LterbalSteam), සමට සත්කාර කිරීම (Neutrisying Pack)වැනි ආයුර්වේද ක්‍රමවේද සේම නිවෙසේදීම වුවත් අනුගමනය කළ හැකි ස්වභාවික ප්‍රතිකර්ම ඕනෑ තරම්. ඉතින් ඉදිරි ලිපියෙන් අප දැනුම්වත් කරන්නේ සුදු වෙනුවට කාන්තිමත් සමක් හිමිකර ගත හැකි එවැනි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

Comments