හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

පරණ පෙමක් අලුත් වෙලා

 

ජනප්‍රිිය ගායිකාවක සහ නිළියක වන ජෙනිෆර් ලෝපස් 2017 සිටම ඇයගේ පෙම්වතාව සිටි ඇලෙක්ස් රොඩි‍්‍රගෝස් ගෙන් වෙන්වීම පසුගිය දිනවල ලොව පුරා ජේ ලෝ රසිකයන්ගේ විශාල අවධානයක් දිනාගත් සිද්ධියක් වුණා. කෙසේ වෙතත් මේ වනවිට ජෙනිෆර් ගැන යළි අලුත් පුවතක් මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. ඒ ඇය නැවතත් ඇගේ පැරණි පෙම්වතකු සමඟ සම්බන්ධය අලූත් කරගෙන ඇති බවට යි. මෙම පෙම්වතාත් හොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය කෙනෙක්. ඒ තමයි සුප්‍රකට නළු බෙන් ඇෆ්ලෙක්. 2002 සහ 2004 කාලය අතරතුර ඔවුන් දෙදෙනා ඉතා ජනප්‍රිය පෙම්වතුන් යුවළක් බවට පත්ව සිටියා. මාධ්‍ය එකල ඔවුන් හැඳින්වූයේ Benniferයන නමින්. 2003 වසරේ ඔවුන් විවාහ වීමට පවා සූදානමින් සිටි බවයි පැවසෙන්නේ. 2004 වසරේ ජෙනිෆර් සහ බෙන් අතර ප්‍රේම සම්බන්ධය නතර වුවත් ඔවුන් දිගටම එකිනෙකා සමඟ සම්බන්ධතා පැවැත් වූ බවත් සඳහන්. වසර 18 කට පෙර හදිසියේ අවලංගු කෙරුණු ඔවුන් ගේ විවාහය දැන් සිදුවේවි ද යන්න ගැන ඔවුන් දෙදෙනාගේ රසිකයන් මහත් කුතුහලයෙන් බලා සිටින බවත් පෙනෙනවා.

 

 

 

මේක දවසින් හදපු ගීතයක්

 

ජනප්‍රිය ගායන ශිල්පි ළහිරු පෙරේරා පසුගිය වෙසක් දා නිකුත් කළ ‘කලෙකින් පැයූ සඳ‘ගීතය මේ දිනවල බොහෝ ප්‍රතිචාර මැද ප්‍රචාරය වෙනවා. ඒ පිළිබඳ ළහිරු රසඳුනට මෙහෙමෙ කිව්වා."මේක දවසින් හදපු ගීතයක්. මුල්ම වතාවට එහෙම ගීතයක් කළේ. ගිය අවුරුද්දේ වෙසක් එකට කරන්න හිටපු වැඩක්. කොවිඩ් හින්දා අපිට මේ පාර වෙසක් සමරන්න බැරි වුණා.අපේ විශ්වයේ තියන ලොකුම ජයග්‍රහණය තමයි හිතේ සැනසීම. බුදු දහමේ කියලා තියෙන්නෙත් ගැටෙන්නෙ සැලෙන්නෙ නැතුව ඉන්න කියලා. මෙච්චර කල් වෙසක්වලට ඇලීම් සහ ගැටීම් එක්ක තමයි අපි ඉදලා තියෙන්නෙ. ඇත්තටම මනුරංගට ආපු සිතිවිල්ලක් තමයි මේ සැණකෙළියක්ද වෙසක් කියන්නෙ කියලා. මේ පාර වෙසක් එකේ අරුත සත්‍ය සොයා යෑම. ඒක අරමුණු කරගෙන තමා මනුරංග මේ ගීතය ලියලා තියෙන්නෙ. දිනේෂ් ගමගේ මෙලඩි එක දාලා තිබුණා. ඩැඩී බෑන්ඩ් එකෙ අපේ පියානෝ ශිල්පියා නිමන්ත සංගීතය කරලා තිබුණා. මම ගායනා කළා. අහන කට්ටිය ඔක්කොම කියන්නෙ ඇත්තක් කතා කරලා තියෙනවා කියලා " එහෙම කියපු ලහිරු පුළුවන් අයට මේ ගීතය රසවිඳින්න යැයිද ඇරයුම් කළා.

 

 

රැවටෙන්න එපා...

ඒ මම නෙවෙයි

 

ජනප්‍රිය රංගන ශිල්පිනි පූජා උමාශංකර් මේ දිනවල ගැටලුවකට මුහුණ පා සිටින බව ඇය සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා. එක්තරා පිරිසක් විසින් මීට කලකට ඉහත දී පූජා මුදා හැරි වීඩියෝ පටයක් භාවිත මිනිසුන්ගේ බැංකු කාඩ් පත් විස්තර පෞද්ගලික විස්තර ඉල්ලා තිබෙනවා. ඒ අතර මුදල් නැවත ලබා දෙන බව කියමින් මිනිසුන් නොමඟ යවා තිබෙනවා. පූජා සිය ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල්වලට නොරැවටෙන ලෙසයි. තමාට ඇත්තේ එක ෆේස්බුක් ගිණුමක් බව ද ඇය සිය ප්‍රේක්ෂකයන්ට මතක් කර තිබුණා.

 

 

තරු දියණියගෙන්

මරු වැඩක්

 

ආමීර් ඛාන් ගේ පළමු විවාහයේ දියණියක වන අයිරා ඛාන් පසුගිය දා අලූත් සංවිධානයක් ආරම්භ කළා. ඇය එය හඳුන්වා ඇත්තේ අගත්සු පදනම (Agatsu Foundation) යන නමින්. අයිරා මෙම පදනම පිහිටු වීමේ අරමුණ මානසික ගැටලුවලින් පෙළෙන අයට එයින් ගොඩ ඒම සඳහා සහාය ලබා දීම බවයි පැවසෙන්නේ. කොවිඩ් වසංගතය නිසා විශාල පිරිසක් මෙවැනි මානසික ගැටලුවලින් පෙළෙන පසුබිමක මෙය ඉතා වැදගත් සමාජ සේවයක් ලෙස සලකන්න පුළුවන්. අයිරා ද මානසික ගැටලුවලින් පෙළෙන කෙනකු බව මේ වනවිට රහසක් නොවේ. තමා විශාදය (depression) නමැති මානසික ආබාධයෙන් පෙළෙන බවත්, වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගන්නා බවත් ඇය පසුගිය කාලයේ ඉතා විවෘතව අනාවරණය කර තිබුණා.

අයිරා ගේ මෙම අලූත් ව්‍යාපෘතියට ඇයගේ මව වන රීනා දත්තා ගේ මෙන්ම කුඩම්මා (අමීර් ගේ වත්මන් බිරිය) වන කිරන් රා ඕ ගේ ද සහාය ලැබී ඇති බව සඳහන්.

 

 

දුල්කර් අලුත් වැඩක

 

දුල්කර් සල්මාන් මලයාලම් සිනමාවේ විශාල ආකර්ෂණයක් දිනා ගත් නළුවකු බව රහසක් නොවේ. ඔහු රඟපෑමට යන අලූත්ම චිත්‍රපටයක් ගැන මේ දිනවල ඉන්දීය මාධ්‍ය ඔස්සේ ආරංචි පළවෙනවා. තවමත් නමක් නොමැති මෙම සිනමාපටය මනෝවිද්‍යාත්මක තේමාවක් රැගත් (Psychological Thriller) ශානරයේ චිත්‍රපටයක් බවයි සඳහන් වන්නේ. මෙම සිනමාපටය ගැන මුලින්ම අනාවරණය කරනු ලැබ තිබුණේ සිනමාපටයේ කැමරා ශිල්පියා වන ශ්‍රීරාම් විසින්. එහි රූපගත කිරීම් ළඟ දී ආරම්භ වනු ඇති බව ඔහු තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරයා නිසාත් මේ ගැන විශාල අවධානයක් යොමුව තිබෙනවා. මෙය අධ්‍යක්‍ෂණය කිරීමට යන්නේ ඉතා ප්‍රකට නිර්මාණකරුවකු වන ආර්.බල්කි. බල්කි විසින් මෙයට පෙර අධ්‍යක්‍ෂණය කරන ලද ‘පැඩ්මෑන්’ (Padman) සිනමාපටය බොහෝ දෙනකුට මතක ඇති. එය අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර ඒ ගැන ලොකු කතාබහකුත් ඇති වුණා. ඉන්දියාව තුළ කාන්තාවන් ගේ සනීපාරක්‍ෂක තුවා කර්මාන්තයක් හඳුන්වා දෙමින් විශාල පෙරළියක් කරන චරිතයක් පසුබිම් කරගෙනයි එය නිර්මාණය වුණේ. එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්.

දුල්කර් සල්මාන් රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක් මේ වනවිට රූගත කිරීම් අවසන් කර ඉදිරියේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. Kurup, Salute, Hey Sinamika ඒ අතරින් කිහිපයක්.

 

 

ලාංකේය නාමය බබළවන නිම්මිට

සුබ පැතුම් !

 

අති දක්ෂ රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම දායක වූ ජාත්‍යන්තර ටෙලි කතා මාලාවක් වූ The Good Karma Hospitalකළ රංගනය වෙනුවෙන් UK national television Awards 2021 සම්මාන උලෙළේ විශිෂ්ටතම රංගනය උදෙසා වන සම්මානයට නිර්දේශ වී තිබෙනවා. එහිදි ඇයව විශිෂ්ටතම රංගනය උදෙසා ජයග්‍රහණය කරවීමට https://www.nationaltvawards.com/vote/category/drama-performance

යනවෙබ් අඩවියට පිවිස ඇය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා. අන්තර්ජාතික සම්මානයකට නිර්දේශ ව සිටින් නිම්මිට මෙරට ඇගේ සහෝදර රංගන ශිල්පින් ශිල්පිනියන් බොහෝ දෙනෙක් සුබ පතමින් ප්‍රර්ථනා කර සිටියේ නිම්මිට එම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වේවා යන්නයි.

 

Comments