ප්‍රමිතිය තුළින් ප්‍රගතිය - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය | Page 2 | සිළුමිණ

ප්‍රමිතිය තුළින් ප්‍රගතිය - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

SLS සහතිකය අනිවාර්ය කර ‌රෙගුලාසි පැනවී‌මේ බලයක් අප ආයතනයට නෑ

- අජිත් කන්දගේ

ඊප්සිතා ජයසේකර මිය - (අධ්‍යක්ෂ) - විද්‍යාත්මක ප්‍රමිති අංශය

* ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති අංශයේ කාර්යභාරය කුමක්ද?

ජාතික ප්‍රමිති සම්පාදනය අපේ ආයතනයේ ප්‍රධාන රාජකාරියක්. පාරිභෝගිකයා ආරක්ෂා වන පරිදි ජාතික ප්‍රමිති හදනවා. මේ වන විට ප්‍රමිති ආයතනය, ප්‍රමිති 4500ක් පමණ සම්පාදනය කර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ව‌ගේම දැනටත් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමිති පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් පවතිනවා.

*පසුගිය කාලයේ කතා බහට ලක් වූ පොල්තෙල් නිෂ්පාදනවල ප්‍රමිතිකරණය ගැන සඳහන් කළොත්?

පොල්තෙල් පිළිබඳ ජාතික ප්‍රමිතියක් මුලින්ම සම්පාදනය කර තිබෙන්නේ 1968 වසරේදීයි. ප්‍රමිති, කාලයට අනුව යාවත්කාලීන කිරීමක් වෙනවා. ඒ අනුව 1979 සහ 2002 වසරේදී පොල්තෙල් පිළිබඳ ප්‍රමිතිය ප්‍රතිශෝධනය කර තිබෙනවා. 2016 වසරේදී නැවත පොල්තෙල් පිළිබඳ ප්‍රමිතිය ප්‍රතිශෝදනයට ලක් කළා. ඒ අනුව පොල්තෙල් සඳහා වන SLS 32 : 2017 ප්‍රමිතිය 2017 වසරේදී ප්‍රකාශයට පත් කළා. අවම වශයෙන් මේ විදිහට ප්‍රමිතිය ප්‍රතිශෝධනය කිරීමට වසරක වැනි කාලයක් ගත වෙනවා.

මෙම ප්‍රමිති පිරිවිතර සම්පාදනය කිරීම හෝ ප්‍රතිශෝධනය කිරීමේදී මුලික කෙටුම්පතක් සකස් කර, සියලුම පාර්ශවයන් නියෝජනය වන පරිදි ක්‍රියාකාරී කමිටුවක් පත්කරගනු ලබනවා. එහි විද්වතුන්, පර්යේෂණ ආයතන, පරීක්‍ෂණාගාර, කර්මාන්ත කරුවන්, ආනයන සහ අපනයන කරුවන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක අංශය, පොල් සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතන, විෂය දැනුම ඇති අප ආයතනයේ නිලධාරීන් නියෝජනය වනවා. එහි සභාපති ධුරය දරන්නේ එක් සමාජිකයෙකු වන අතර ප්‍රමිතිකරණ අංශයේ නිලධාරීන් තාක්‍ෂණික ලේඛණ කටයුතු සකස් කිරීමේ ක්‍රියාවලියෙහි නියැලෙනවා.

සකස් කරන ලද කෙටුම්පත වැඩිදියුණු කර දින 60ක මහජන අදහස් කාලයකට භාජනය කරනු ලබනවා. මෙම කාලයෙන් පසු තව දුරටත් වැඩිදියුණු කරන ලද කෙටුම්පත ආයතනයේ මහාමණ්ඩලයේ අනුමැතියෙන් පත්කර ගන්නා ලද ආහාර පිළිබඳ අංශික කමිටුව වෙත ඉදිරිපත් කරණු ලැබේ. අංශික කමිටුවේ අනුමැතිය ලත්, අවසාන කෙටුම්පත ප්‍රමිති ආයතනයේ මහාමණ්ඩලයේ අනුමැතිය ලබා ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා.

2017 වසරේදී ප්‍රකාශයට පත් කළ පොල්තෙල් පිළිබඳ ප්‍රමිතියෙහි විශේෂත්වය වන්නේ ආහාරයට සුදුසු (Coconut oil, Virgin coconut oil, Whole kernel virgin coconut oil, White coconut oil, Refined and bleached coconut oil, Refined bleached and deodorized coconut oil, paring oil) හා ආහාරයට නුසුදුසු (Crude coconut oil, Industrial coconut oil) පොල්තෙල් දෙවර්ගය පිළිබඳ වෙන් වෙන් වශයෙන් අවධානයට ගෙන තිබෙනවා. පොල්තෙල්වල සුපිරිසිදු බව තහවුරු කළ හැකි විද්‍යානුකූල ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා. ඇෆ්ලටොක්සීන්, ආසනික්, ඊයම් සහ කැඩ්මියම් වැනි බැරලෝහ තිබෙනවා නම් එවා පවතින ප්‍රමාණයන් නිර්ණය කිරීමටත්, පුස්වර්ග වැනි දෑ සමන්විත නම් ඒවා විද්‍යාත්මක හඳුනාගැනීමට හැකි වන පරිදිත්, මේ පිරිවිතර හඳුන්වා දී තිබෙනවා. ඇෆ්ලටොක්සීන් B1, B2, G1, G2 ලෙස වර්ග කල හැකිය. මුළු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය (B1 ඇතුළුව) කිලෝ ග්‍රෑමයට මයික්‍රෝ ග්‍රෑම් 10. 0 ඉක්මවා යා නොහැකි බව (10µg/kg) SLS 32 : 2017 පිරිවිතරයෙහි සඳහන් වෙනවා. මෙහි ඇෆ්ලටොක්සීන් B1 තිබිය හැක්කේ කිලෝ ග්‍රෑමයට මයික්‍රෝ ග්‍රෑම් 5.0 ට වඩා අඩුවෙනි (5.0µg/kg). මෙයට හේතුව එය වඩාත් පිළිකාකාරක බැවිනි. අපි පාරිභෝගිකයන් විදිහට කැමැතියි සියයට සියයක් සුපිරිසිදු සහ වස විස අංශු මාත්‍රයක්වත් නැති ආහාර නිෂ්පාදනවලට. නමුත් නිෂ්පාදනයන් කිරීමේදී එය ප්‍රායෝගික නෑ. ඒ නිසා විද්‍යානුකුලව සහ සම්මතයන්ට අනුකූලව යම් යම් සීමාවන් පනවමින් එම ප්‍රමිති සකස් කළ යුතු වෙනවා. ඒ අනුව පාරිභෝගිකයා ආරක්ෂා වන පරිදි ජාතික ප්‍රමිති සකස් කරනවා.

 

අජිත් කන්දගේ මහතා - (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ) - භාණ්ඩ සහතිකකරණ - ආහාරමය නොවන අංශය

*ප්‍රමිති ලාංඡනය ලබා ගැනීම අනිවාර්ය දෙයක්ද?

SLS ප්‍රමිති ලාංඡනය නිකුත් කිරීම ප්‍රමිති ආයතනයේ එක් සේවාවක්. රජයේ රෙගුලාසි යටතේ SLS සහතිකය අනිවාර්යෙන්ම තිබිය යුතු භාණ්ඩ පවතිනවා. ඒ වගේම තමන්ගේ නිෂ්පාදිත භාණ්ඩවලට SLS ප්‍රමිති සහතිකය ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාත් අවස්ථාව තිබෙනවා. දැනට පවතින රෙගුලාසිවලට අනුව සෑම භාණ්ඩයක සඳහාම අනිවාර්යෙන්ම SLS සහතිකය ලබා ගත යුතු නැහැ.

*දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ යන දිවිත්වයටම SLS සහතිකය ලබා ගන්න හැකියාවක් තිබෙනවාද?

ඔව්. දේශීයව නිපදවන භාණ්ඩවලට මෙන්ම ආනයනික භාණ්ඩ සඳහාත් SLS සහතිකය ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයක් සහිත භාණ්ඩවලට පමණයි SLS සහතිකයක් නිකුත් කළ හැකි වන්නේ. පරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් SLS සහතිකය ලබාගැනීමට අනිවාර්ය කරන ලද භාණ්ඩ 46ක් නම් කරල තියෙනවා. එහි ආහාර ද්‍රව්‍ය 7ක් සහ ආහාර නොවන ද්‍රව්‍ය 39ක් අන්තර්ගතයි.

* SLS සහතිකය ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි කළොත්?

SLS සහතිකය ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩය සම්බන්ධයෙන් මුලින්ම අයදුම් පත්‍රයක් භාර ගන්නවා. පසුව ඒම නිෂ්පාදනයේ සාම්පල් පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම අදාළ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියත් අප ආයතනය විසින් විගණනයට ලක් කරනවා. නිෂ්පාදනය සහ නිෂ්පාදන ක්‍රියාවලිය යන ද්විත්ව අංශයන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල නම් සහතිකය නිකුත් කරනවා. අවුරුදු තුනෙන් තුනට සහතිකය අලුත් කරන්න අවශයයි. එම වසර තුන ඇතුළත සාමාන්‍යයෙන් වසරෙන් වසරට සහතිකයට දිගුවක් දෙනවා. ඒ සඳහා වසරක් ඇතුළත අවම වශයෙන් දෙවතාවක්වත් කර්මන්තශාලාවට ගිහින් විගණනයට ලක් කරනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවලින් භාණ්ඩ නිෂ්පාදන සාම්පල් අරගෙන පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම වෙළෙඳපොළෙන් අහඹු ලෙස එම නිෂ්පාදන මිලට ගෙන පරීක්ෂාවට ලක් කරනවා. ඒ අනුව තමයි ඊළඟ වසර සඳහා සහතික දිගුවක් දෙන්නේ.

*භාණ්ඩ පරීක්ෂාවට ලක් කරන්නේ කොහොමද?

ඒ සඳහා අපේ පරීක්ෂණාගාර පහසුකම් භාවිත කරනවා. ආහාර සඳහා ක්ෂුද්‍රජීවී පරීක්ෂණාගාරයක් , රසායනික පරීක්ෂණාගාරයක් සහ ආහාර පරීක්ෂණාගාරයක් තියෙනවා. ආහාර නොවන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා ද්‍රව්‍ය පරීක්ෂණාගාරයක්, විදුලි හා විද්‍යුත් පරීක්ෂණාගාරයක් සහ රෙදිපිළි පරීක්ෂණාගාරයක් පවතිනවා.

*ආනයනික භාණ්ඩ සඳහා SLS සහතිකය ලබා දීමේ ක්‍රමවේදය ගැන සඳහන් කළොත්?

සමහර භාණ්ඩ ආනයනය කරන්න පවා SLS සහතිකය ගැනීම අනිවාර්යයි. එහිදී විදේශ කර්මාන්තශාලා විගණනයට ලක් කරනවා. නියැදි පරීක්ෂා කරනවා. එපමණක් නොවෙයි ආනයනය කරන අවස්ථාවේදිත් එම භාණ්ඩවල නියැදි පරීක්ෂා කිරීමෙන් පසුවයි එම ආනයනික භාණ්ඩ තොග නිදහස් කරන්නේ.

* SLS සහතිකය ලබා ගැනීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඔබ අංශයට හෝ ආයතනයට පවතිනවාද?

පැහැදිලිවම කියන්න අවශ්‍යයයි අපට එවැනි බලයක් නෑ. SLS සහතිකය අනිවාර්යයි කියන්න අප ආයතනයට බලයකුත් නෑ. නමුත් SLS සහතික ලාංඡනය අවභාවිත කරනවා නම් අපට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකියි. SLS සහතිකය අනිවාර්ය කරපු භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්.

*ආහාර වර්ග 7ක් සඳහා පමණයි SLS සහතිකය අනිවාර්ය බවට රෙගුලාසි පනවා තිබෙන්නේ. මේ වගේ ආහාර වර්ග කිහිපයක් සඳහා පමණක් SLS සහතිකය නිර්දේශ කිරීමට හේතුව ඔබ අංශයට පැහැදිලි කරන්න පුළුවන්ද?

අපිත් හිතනවා මේ ලැයිස්තුව යාවත්කාලීන විය යුතුයි කියලා. කෙසේ වෙතත් SLS සහතිකය අනිවාර්ය කර රෙගුලාසි පනවනු ලබන්නේ පාරිභෝගික ආරක්ෂණ පනත අනුව එම අධිකාරිය විසිනුයි. අපිත් ‌මේ ලැයිස්තුවට අලුතින් භාණ්ඩ එකතු කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

 

දයානි යාපා මිය - (ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ) - තත්ත්ව ආරක්ෂණ අංශය

*තත්ත්ව ආරක්ෂ අංශයේ කාර්යය භාරය කුමක්ද?

ශ්‍රී ලංකාවට ගෙන්වන ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය 122ක් සඳහා ආනයන අපනයන පාලක විසින් 1969 අංක 2064/34 (2018 මාර්තු 29 ) නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් අනුව අපට තත්ත්ව ආරක්ෂණ පරීක්ෂාව සඳහා බලතල ලැබී තිබෙනවා. එහි ආහාර අයිතම 48ක් අඩංගුයි. මෙම භාණ්ඩවල නියැදි පරීක්ෂාවට ලක් කර එම ද්‍රව්‍ය ශ්‍රි ලංකාවේ ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කර නිර්දේශ ලබා දෙනවා. ආනයනික භාණ්ඩවල නියැදි පරීක්ෂණාගාරයට යවලා එයින් ලැබෙන ප්‍රතිඵල ශ්‍රී ලංකා රේගුවට යැවීමයි අපි කරන්නේ. ආනයනකරුවන් යම් වැරැද්දක් කර ඇත් නම් රේගුව විසින් තමයි ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ. පැහැදිලිව කියන්න අවශ්‍යයයි ප්‍රමිති ආයතනයට දඬුවම් කිරීමේ බලයක් නෑ.

ඉහත සඳහන් කළ ආහාර සම්බන්ධව ක්‍රියා කරන්නේ අපේ ආයතනය පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවට ගෙන්වන සෑම ආහාර ද්‍රව්‍යක් සඳහාම බලතල තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආහාර පාලනය නියාමන අධිකාරියටයි. ඒ ආහාරවලින් කොටසක් තමයි ප්‍රමිති ආයතනයට භාර දී තිබෙන්නේ.

*නියැදි පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදය මොකද්ද?

නියැදිය පරීක්ෂා කිරීම මෙන්ම අපේ පරාමිතින් මත සකස් වුණු එනම් ප්‍රතීතකරණය කරන ලද වෙනත් රටක රසායානාගාර වාර්තාවක් ගෙන ආවොත් ඒම රසායනාගාර වාර්තාව විශ්ලේෂණය කිරීමෙන් පසුව භාණ්ඩ සඳහා අනුමැතිය ලබා දෙනවා. ඒ වගේම වෙනත් රටවල නිෂ්පාදානගාර විගණනය කිරීමෙන් පසුව, නියැදි පරීක්ෂා කිරීමෙන් පසුව නිෂ්පාදකයන් ලියාපදිංචි කරලා තිබෙනවා. ලියාපදිංචි කර ඇති නිෂ්පාදකයන්ගේ භාණ්ඩ මෙරටට ගෙන්වීමේදීමේ අහඹු නියැදි පරීක්ෂාවකින් භාණ්ඩ පරීක්ෂාවට ලක් කරනවා. මේ වගේ පහසුකම් දෙන්නේ ආනයන අපනයන ක්‍රියාවලියේදී වෙළෙඳ බාධක අඩු කරන්නයි. ඒක ලෝක සම්මුතියක් අනුව සිදුවන දෙයක්. ඒ ව‌ගේම භාණ්ඩය සම්බන්ධ කිසිම සහතිකයක් නොමැති ආනයනික භාණ්ඩ සඳහා නියැදි පරීක්ෂා කිරීමට ලක් කරනවා. රසායනාගාර වාර්තාවක් නිකුත් කරන්න සතියක් දෙකක් ව‌ගේ කාලයක් ගත වෙනවා. පරීක්ෂාවට ලක් කරන කාලය ඇතුළත ආනයනකරුගේ ගබඩා සඳහා භාණ්ඩ නිදහස් කරනවා වරාය ඇතුළේ වැඩි කාලයක් භාණ්ඩ රඳවා ගැනීමෙන් සිදුවන ආර්ථික පාඩුව වළක්වා ගැනීම සඳහා. නමුත් භාණ්ඩ පරීක්ෂණ වාර්තා එනතුරු එම භාණ්ඩ විකුණන්න අවසර නෑ. ආහාර භාණ්ඩයක් සම්බන්ධ ගැටලුවක් පවතිනවා නම් ඒ සම්බන්ධව රේගුවට පමණක් නොවෙයි දැනුම් දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය, ආනයනකරු සහ ආහාර සම්බන්ධ ආයතන දැනුවත් කරනවා.

 

ලලිත් චිත්‍රගේ මහතා - (අධ්‍යක්ෂ) - පරීක්ෂණාගාර සේවා

*ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාණ්ඩ පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂාණාගාරය තුළ ඒකක හයක් තිබෙනවා. ආහාර පරීක්ෂණාගාරය, රසායනික පරීක්ෂණාගාරය, විදුලි හා විද්‍යුත් පරීක්ෂණාගාරය, ක්ෂුද්‍රජීවී පරීක්ෂණාගාරය, ද්‍රව්‍ය පරීක්ෂණාගාරය සහ රෙදි පිළි පරීක්ෂණාගාරය එම ඒකකයි. පාරිභෝගික භාණ්ඩ විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කළ හැකි ජාතික තලයේ ඇති ශ්‍රී ලංකාවේ එකම පරීක්ෂණාගාරය වන මෙහි ශ්‍රී ලංකා ප්‍රමිතින්ට අනුව හෝ යම් යම් අවස්ථාවලදී අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව භාණ්ඩ පරීක්ෂාවට ලක් කරනවා. එම පරීක්ෂණ වල නිරවද්‍ය භාවය තහවුරු කර ගැනීම සඳහා නිරන්තරයෙන් පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධ තත්ත්ව ආරක්ෂණ ක්‍රමවේද (Quality Assurance Protocols) අනුගමනය කරනවා. මීට අමතරව බොහොමයක් පරීක්ෂණ සඳහා ISO/IEC 17025 පරීක්ෂණාගාර තත්ව පද්ධතිි ප්‍රමිතියට අනුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීත කරණ සහතිකය ලබා සිටිනවා. එමඟින් අප පරීක්ෂණාගාරය විසින් නිකුත් කරන එවැනි පරීක්ෂණ වාර්තා ලෝක මට්ටමේ පිළිගැනීමට ලක්වෙනවා.

භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව පරීක්ෂණ වාර්තාව අදාළ ආයතනය වෙත යැවීම සිදු වෙනවා. අපේ අංශයට අභ්‍යන්තර සහ භාහිර පාරිභෝගිකයන් යනුවෙන් පාරිභෝගිකයන් වර්ග දෙකක් සිටිනවා. භාණ්ඩ සහතික කරන අංශය සහ තත්ත්ව ආරක්ෂණ අංශය අපෙගේ ප්‍රධාන අභ්‍යන්තර පාරිභෝගිකයන් වනවා. ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර සකස් කිරීමත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධාන කාර්යභාරයක්. ඒ සඳහා අවශ්‍ය භාණ්ඩවල පරීක්ෂණ දත්ත ලබා දීමත් අපේ මූලික කාර්යයක්. ඊට අමතරව කර්්‍මාන්ත වලට අපේ සේවය සපයනවා ඒ ඔවුන්ගේ භාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂාකර ගැනීම සඳහා. රජයේ ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදි ආයතනවල මිළදී ගැනීම් වලට අදාළ භාණ්ඩ පරීක්ෂාව කරනවා. අධිකරණය විසින් දෙන භාණ්ඩත් අපි පරීක්ෂාවට ලක් කරනවා. ඔවුන් අපේ බාහිර පාරිභෝගිකයන්.

නිසි අයුරින් පරීක්ෂණ කිරීම සඳහා අප කැප වී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් සමත් (competent) විශ්ලේෂකයන් අප සමඟ සේවය කරනවා. පරීක්ෂණ සඳහා අවශ්‍ය ඉතා උසස් නවීන පරීක්ෂණ උපකරණ අප සතුව තිබෙනවා. අනුමත කර ඇති ක්‍රමවේදයට අනුව පරීක්ෂණ කිරීමත් ඉතාමත් වැදගත්. මේ පරීක්ෂණවලින් පසුව එම වාර්.තා අදාළ සේවාදායකයා වෙත යවනවා. ඒ පරීක්ෂණ වාර්.තා පදනම් කර ගෙන එම සේවාදායකයා විසින් එම භාණ්ඩය සඳහා අවශ්‍ය තීරණ ගැනීම් සිදු කරනවා.

* කොතරම් කාලයක සිට මේ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවාද?

දැනට අවුරුදු 40කට වඩා වැඩියි පරීක්ෂණාගාර කටයුතු ආරම්භ කරලා. දැනට පවතින පරීක්ෂණාගාරය අවුරුදු 30කට පමණ පෙර මෙම ස්ථානයේ පිහිටෙව්වේ. ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් කලින් කලට නිකුත් කරන ලද ගැසට් පත්‍ර අනුව SLS ලාංඡනය අනිවාර්ය කර ඇති භාණ්ඩ සහ ආනයන අපනයන පාලක විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍ර අනුව නම් කර ඇති රට තුළට ආනයනය කරන භාණ්ඩ පරීක්ෂා කිරීමේ අපට ඇති වගකීම මැනවින් ඉෂ්ට කරනවා.

*නෛතික ක්‍රියාදාමයට යටත් කළ යුතු වෙනත් භාණ්ඩ තිබෙනවා කියල ඔබ හිතනවාද?

ඔව්. එවැනි භාණ්ඩ තිබෙනවා. උදාහරණයක් විදිහට පොල්තෙල්වලට SLS සහතිකය අනිවාර්ය නෑ. නමුත් පොල්තෙල් ආනයනික භාණ්ඩ පරීික්ෂාව යටතේ පරීක්ෂාවට ලක් වෙනවා. නමුත් රට තුළ නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නෑ. එම පරීක්ෂාව කළ හැකියි SLS සහතිකය අනිවාර්ය කිරීමෙන්.මේ සඳහා නෛතික බලය ඇති පාරිභෝගික සේවා අධිකාරිය මඟින් එය කළ යුතුයි. මේ ආකාරයට ඍජුව ජනතාවට බලපෑම් කළ හැකි භාණ්ඩ නියාමනය කිරීමට කටයුතු කරනවා නම් එය යහපත් දෙයක්. ඒ සඳහා අපේ පරීක්ෂණාගාර තවදුරටත් පුළුල් කළ යුතු වෙනවා. නවීන පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් මේ වන විට මිළදීගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සඳහා රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙන්නේ.

*මේ අයුරින් පරීක්ෂාවට ලක් කිරීමේදී සොයා ගන්නා ගැටලුකාරී ආහාර ද්‍රව්‍ය තහනම් කිරීමේ බලය තිබෙන්නේ කුමන ආයතනයටද?

ආනයනික භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව එම භාණ්ඩවල යම් ගැටලුවක් මතු වුණොත් එය අපි මූලික වශයෙන් ශ්‍රී ලංකා රේගුවට දැනුම් දෙනවා ප්‍රතිඅපනයනය කරන්න කියලා. මීට අමතරව ආනයන - අපනයන පාලකවරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියට දන්වනවා. ආහාර ද්‍රව්‍යවල ගැටලුවක් නම් ඒ සියල්ලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයට, දන්වනවා.

 

ඉරේෂා තරංගනි මිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ) සහ ජානකී චන්ද්‍රසේකර මිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ) - පද්ධති සහතිකකරණ අංශය

*පද්ධති සහතිකකරණ අංශය ගැන පැහැදිලි කරමු

අපේ ආයතනයේ කාර්යභාරය වන්නේ ප්‍රමිති කටයුතුවලට රටට පහසුකම් සැපයීමයි. එහිදී පද්ධති සහතිකකරණ අංශයේ කාර්යය වන්නේ දේශීය හා විදේශීය වශයෙන් පිළිගත් පද්ධති සහතිකකරණ ක්‍රියාවලි ගණනාවක් පවත්වා‌ගෙනයෑමයි. භාණ්ඩ හා සේවා ද්විත්වයටම අපි පද්ධති සහතිකකරණ කරනවා. පද්ධති සහතිකකරණය සඳහා ආයතන ඇදී එන්නේ ආයතනයේ නමට, වෙළෙඳපොළක් ඇති කර ගැනීම සඳහායි. එලෙසම විදේශීය ගැනුම්කරුවන් සඳහා නිෂ්පාදන ලබා දීමේදී මේ සහතික අත්‍යවශ්‍ය වන අවස්ථා තිබෙනවා. තේ, කුළුබඩු, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී මේ සහතික අත්‍යවශ්‍ය වනවා. තුන්වැනි පාර්ශ්වයක් සඳහා වන සහතිකකරණයක් තමයි අප අංශය මඟින් ලබා දෙන්නේ. අන්තර්ජාතික ISO ආයතනයේ (International Organization for Standardization) ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන්නෙත් අපියි. ඒ අනුව ISO ප්‍රමිති අනුව තමයි අපි සහතිකකරණය කරන්නේ. ඒ අනුව අ‌පේ ආයතනය තවත් ආයතන දෙකකින් ප්‍රතීතතනකරණය ලබා ගෙන තිබෙනවා. එනම් අපේ ආයතනය නිවැරදිව සහතිකකරණය කරනවාද යන්න එම ආයතනවලින් සහතිකකරණය කිරීමයි. ප්‍රතීතනකරණය ලබා ගෙන ඇති නිසා අපේ අංශයේ සහතිකකරණ ක්‍රියාවලි සඳහා අනතර්ජාතික උසස් පිළි ගැනීමක් තිබෙනවා.

*සහතිකකරණය කර ගත හැක අංශ මොනවාද?

ආහාර, ඇඟළුම්, ‌හෝටල් සේවා, කාර්යාල, විවිධ කර්මාන්ත මේ සියල්ල සඳහා සහතිකරණයන් කර ගත හැකියි. පද්ධති සහතිකකරණ අංශ 14ක් තිබෙනවා. ISO 9001, තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය සඳහා ආයතනවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා. ISO 22000 යන ආහාර සුරක්ෂිතතාව කළමනාකරණය කිරීම පිළිබඳ පද්ධති සහතිකකරණය, සහ HACCP හා FSSC 22000 යන සහතිකකරණය ආහාර සුරක්ෂිතතා කළමණකරණය සඳහා ලබා දෙනවා.

*ආහාර සුරක්ෂිතතා සහතිකකරණයේදී කුමන අංශයන්ද සළකා බලන්නේ?

නිෂ්පාදනවලින් මිනිස් සිරුරට සෞඛ්‍ය හානියක් වෙන්න පුළුවන් උපද්‍රව පාලනය කිරීම මේ සහතිකකරණයේදී කෙරෙන්නේ. ඒ උපද්‍රව වෙන්නේ, ක්ෂුද්‍ර ජීවී, රසායනික හා භෞතික උපද්‍රවයන්. ඊට අමතරව අනුරේකනතාවය, නිෂ්පාදන යළි කැඳවුම් ක්‍රියාපටිපාටිය, සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පිළිබඳව සළකා බලනවා.

ඊට අමතරව ISO 14001 යනුවෙන් පරිසර කළමනාකරණ තත්ත්ව සහතිකයක් ලබා දෙනවා. පරිසර සුරක්ෂිතතාව රැකෙන පරිදි ආයතන කටයුතු කරන බව එම සහතිකකරණයෙන් තහවුරු කරනවා. ISO 50001 බලශක්තිය නිසි පරිදි කළමනාකරණය කරමින් පවත්වාගෙන යනවාද යන්න තහවුරු කරන සහතිකකරණයත් අප ආයතනය කරනවා. GMP යහපත් නිෂ්පාදනකරණ සහතිකය, OHSAS 18001 සහ ISO 45001 රැකියාවේදී සෞඛ්‍ය හා ආරක්ෂිතභාවය තහවුරු කරන බවට සහතිකය, සුපරි වෙළෙදසැල් (Supermarket) සහතිකකරණය, නිර්මාංශ ආහාර සහතිකකරණය, විදාතා සහතිකකරණය කරනවා. ඊට අමතරව රටේ අවශ්‍යතාව අනුව SLS 1672 : 2020 යන කොවිඩ් 19 සහතිකරණය 2020 මැයි මාසයේදී පටන් ගත්තා. විශාල සේවකයන් සංඛ්‍යාවක් වැඩ කරන කර්මාන්තශාලාවල අපේ සහතිකරණය අනුව පුහුණුවීම් ලබා දීලා කොවිඩි පොකුරු පාලනය කරමින් එම කම්හල් ඉදිරියට පත්වාගෙන යෑම සඳහා සහාය ලබා දුන්නා. එමගින් කොවිඩ් පොකුරු ඇති වෙමින් ආයතන කඩා වැටීිම මේ සහතිකකරණය මඟින් වැළැකී යෑම ගැන එම ආයතන අපට ස්තුතිය පළ කළා. ‌මේ වන විට කොවිඩ් 19 සහතික 48ක් පමණ ලබා දී තිබෙනවා.

 

ප්‍රියන්ති පිගේරා මෙනවිය - (ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ) - පුහුණු අංශය

*ප්‍රමිති ආයතනයේ පුහුණු අංශයෙන් කෙරෙන්නේ කුමක්ද?

පාරිභෝගිකයන් වෙත තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ආයතනයන්හි සේවකයන් පුහුණු කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පුහුණු අංශයේ ප්‍රධාන කාර්යයයි.

මේ සඳහා වසරකට පුහුණු පාඨමාලා සියයක් පමණ ප්‍රධාන අංශ නවයක් ඔස්සේ එනම් තත්ත්ව කළමනාකරණ, ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති, ISO 17025 පරීක්ෂණාගාර තත්ත්ව පද්ධති, ඵලදායිතාව ඉහල නැංවීම, ISO 14001 පරිසර කලමනාකරණ පද්ධති, ISO 22000 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති, ISO 45001 වෘත්තිය සෞඛ්‍ය සුරක්ෂිතතා පද්ධති, ISO 50001 බලශක්ති කලමනාකරණ පද්ධති, යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) භාවිතයන් යන විෂයයන් ඔස්සේ සිදුකරණු ලබයි. ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා, එක් දින හා දෙදින පුහුණු පාඨමාලා පුහුණු කිරීම් අංශය මඟින් පවත්වනු ලබයි. මීට අමතරව විවිධ ආයතන විසින් ඉල්ලුම් කරණ පාඨමාලාද එම ආයතනවලට ගොස් පවත්වනු ලබයි. කුඩා හා මධ්‍යම ව්‍යවසායකයින් පුහුණු කිරීමද පුහුණු අංශයේ කාර්යයකි. පවත්වන පුහුණු පාඨමාලාවන් පිළිබඳ විස්තර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙබි අඩවියේ පලකර ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පුහුණුව ලත් බො‍හෝ පිරිස් දේශියව මෙන්ම විදේශීයවද විවිධ කර්මාන්ත සහ සේවා සැපයුම් ආයතන වල ඉටුකරණු ලබන සේවය නිරන්තර ඇගයීමට ලක්ව ඇති අතර විදේශීය රටවල් ගනනාවකදී එරට ආයතනයන්හි ශ්‍රමිකයන් පුහුණුව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පුහුණු අංශයේ දායකත්වය ලබාගෙන ඇත.

 

රේණුකා කුමුදුනි මිය - (සහකාර අධ්‍යක්ෂ) - ප්‍රලේඛණ හා තොරතුරු අංශය (පුස්තකාලය)

*ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පුස්තකාල සේවාව ගැන යමක් සඳහන් කළොත්?

ශ්‍රි ලංකා ප්‍රමිත ආයතනයේ පුස්තකාලය සාමප්‍රදායික පුස්තකාලයක සේවයට වඩා විශේෂවු තොරතුරු ලබා ගැනීමේ සේවාවන් රැසක් මහජනතාවට ලබා දෙන නිසා මෙය ප්‍රලේඛන හා තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර් වශයෙන් සුවිශේෂි වූ පුස්තකාලයකි. ජාතික, අන්තර්ජාතික සහ විදේශීය ප්‍රමිති පිළිබදව මහජනතාවට නොමිලයේ විමර්ශණ කටයුතු සඳහා පරිශීලනය කිරීමට හෝ මිලදී ගැනීමට ඇති ඒකම මධ්‍යස්ථානය මෙයයි.

මහජනතාවට කාලීන හා නිවැරැදි තොරතුරු අප්‍රමාදව ලබා දීම අපේ පුස්තකාලයේ ප්‍රතිපත්තියයි.

අප පුස්තකාලයේ ඇති සම්පත් - ජාතික, අන්තර්ජාතික සහ විදේශීය ප්‍රමිති මුලාශ්‍ර විශාල ඒකතුව තුල ශ්‍රි ලංකා ජාතික ප්‍රමිති (SLS), අන්තර්ජාතික ප්‍රමිති ( ISO, IEC), විදේශීය ප්‍රමිති බ්‍රිතාන්‍ය ප්‍රමිති ( BS), යුරෝපා ප්‍රමති (EN), ඉන්දිය ප්‍රමිති (IS), ඇමරිකානු (ANSI), ඕස්ට්‍රේලියා (AS), ජපන් (JIS), මැලේසියාන (MS), සිංගපුරු (SS), තායිලනත් (TIS). ජර්මන් (DIN) ආදියෙන් යුක්තයි. මෙයට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතින් එනම් FAO, WHO, SAE, විශේෂ එකතුන් විමර්ශණය සඳහා ඇත.

විද්‍යා හා තාක්ෂණ විශයානු බද්ධ පොත් පත් එනම්, ආහාර තාක්ෂණය, කාෂිකාර්මික, ක්ෂුද්‍රජීව. ඉංජිනේරු . තොරතුරු තාක්ෂණය, පරිසර කලමානාකරණය, තත්ත්ව කළමනාකරණය, ඵලදායිතාව වැනි විශාල ග්‍රන්ථ එකතුවක් සහ දේශීය හා විදේශීය තාක්ෂණික රෙගුලාසි. නිතී රිති , අණපනත් ආදි එකතුන් ද විමර්ශණය සදහා තිබේ

සපයන සේවාවන් රාශියක් ද තිබේ. එයින් ප්‍රධාන වන්නේ තොරුතුරු විමසීමේ සේවාවයි. ඒ අනුව දේශීය , අන්තර්ජාති හෝ විදේශීය ප්‍රමිති ගැන මහජනතාවට ඕනෑම තොරතුරක්. දුරකතනය, විද්යුත් තැපෑල, ෆැක්ස් හෝ වට්ස්ඇප් හෝ වෙබ් අඩවිය මඟින් ලබා ගන්න පුළුවන්.

අභ්‍යන්තර සහ බාහිර පාඨකයන් සදහා සාමාජිකත්වය ලබා ගෙන පොත් බැහැර ගෙන යෑමේ පහසුකම ලබා දී තිබේ.

ඉ-බුලටින් සේවාව - ජාතික, අන්තර්ජාතික සහ විදේශීය ප්‍රමිතිකරණය සම්බන්ධ කාලීන, සහ නව තොරතුරු ඇතුලත් ඉ-බුලටින් මාසිකව අභ්‍යන්තර. බාහිර සාමාජිකයන්. පාරිභෝගිකයන් සඳහා ඉ-තැපෑල මගින් යැවිම.

WTO / TBT – ලෝක වෙළඳ සංවිදානය/ වෙළඳ බාධක එකගතා (Trade barriers) ශ්‍රි ලංකාවේ වෙළෙද කටයුතු සදහා වන තාක්ෂණික බාධක වෙනුවෙන් ඇති එකගතා ගිවිසුම් සම්බන්ධව කටයුතු කරන ජාතික විමසුම් මධ්‍යස්තානය ලෙස කටයුතු කරයි.

 

සුජීවා උදාකර මෙනවිය - (අධ්‍යක්ෂ) - මිති විද්‍යා අංශය

*මිති විද්‍යා අංශයේ කාර්ය කුමක්ද?

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිති විද්‍යා අංශය ශ්‍රී ලංකාවේ කර්මාන්ත කරුවන්ගේ සහ පරීක්ශණාගාර වල භාවිතා කරන උපකරණ වල ම්නුම් නිරවද්‍යතාව තහවුරු කිරීම සදහා ක්‍රමාංකන සේවාව සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ මිනුම් පද්ධතිය මනා ලෙස කලමණාකාරණය කිරීම සදහා ප්‍රමිති ආයතනයේ මිති විද්‍යා අංශයේ මනා නිපුණත්වයෙන් යුතු කාර්යය මන්ඩලය විසින් උපකරණ ක්‍රමාංකන සේවාව සපයනු ලබයි. තවද, ISO 17025 තත්ව පද්ධති සහතිකකරණය මෙම අංශය විසින් ලබා ගෙන ඇති නිසා සපයන සේවාව ලෝකයේ පිලිගැනීමට ලක්ව ඇත.

ඉතා නිපුණ සේවක පිරිසක් විසින් සපයනු ලබන සේවාව මගින් පුළුල් මෙහෙවරක් රටේ ඉදිකිරීම් කර්මාන්තය සදහාද ලබා දෙනු ලැබේ.

උදාහරණ ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් වන කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම, කැලණි පාලම ඉදි කිරීම, අධිවේගී මාර්ග ඉදි කිරීම ආදියෙහි පරීක්ෂණාගාරවල මිනුම් උපකරණ ක්‍රමාංකණය කිරීම අප විසින් සිදු කරනු ලැබේ.

සාකච්ඡාව - රසිකා හේමමාලි

 

Comments