SLT-MOBITEL වෙසක් සිරි­යෙන් හද­වත් ආලෝ­ක­මත් කරයි | සිළුමිණ

SLT-MOBITEL වෙසක් සිරි­යෙන් හද­වත් ආලෝ­ක­මත් කරයි

මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු විසින්, මැයි 25 වන දින, සංකේතීයව පළමු වෙසක් පහන දල්වන ලදි. සෞඛ්‍ය විධිවිධාන දැඩි ලෙස අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාවට SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ.

මෙම වසරේ SLT-MOBITEL වෙසක් සැමරුමෙහි තේමාව වූයේ, ගිහි ජීවිතය සම්බන්ධ බෞද්ධ දැක්ම මැනැවින් නිරූපණය කරන සිඟාලෝවාද සූත්‍රයයි. සමාජ සම්බන්ධතා තුළදී නිසි අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම මඟින් මෙලොවදීම අත්විඳිය හැකි යහපත එමඟින් අවධාරණය කෙරේ. තෙමඟුලෙහි පණිවිඩය ශ්‍රී ලාංකික හදවත් වලට වඩාත් සමීප කරවීම සඳහා, ප්‍රධාන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද භාවිතා කරමින්, සිඟාලෝවාද සූත්‍රයෙන් කෙනෙකුගේ එදිනෙදා ජීවිතයට මෙන්ම පොදුවේ මුළුමහත් සමාජයටම ගතහැකි ආදර්ශ පෙන්වා දීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

මෙම වැඩසටහනේ ආගමික පදනම සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින්,SLT සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මෙසේ පැවසී ය. වෙසක් යනු ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ පූජනීයම දිනයයි. එහෙත් මෙවර වෙසක් දිනය උදා වූයේ, මුළු රටටම තර්ජනයක් වී තිබෙන COVID-19 රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා රජය ඉමහත් ප්‍රයත්නයක් දරමින් සිටින කාලයකයි. මේ වෙසක් පහන් හා ආලෝක ප්‍රදර්ශනය, බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ආමිස පූජාවක් ලෙස සැලකීමට අප කැමතියි.

Comments