චන්දිමාල්ගේ තරු හතේ උපන්දින සාදය පස්සරින් නිමා වෙයි | සිළුමිණ

චන්දිමාල්ගේ තරු හතේ උපන්දින සාදය පස්සරින් නිමා වෙයි

- කොටුව පොලිසියට අමතර කොළඹ අපරාධ කොට්ඨාසයත් විමර්ශනවලට
- සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඇමැති සරත් වීරසේකර කියයි
- අත්අඩංගුවට පත් පිරිස අතර ප්‍රසිද්ධ කලා පවුලක දියණිය සහ ඇගේ සැමියා

සුගිය ඔක්තෝබර් මාසයේ සිට නිරෝධායන නීතින් කඩකිරීම නිසා අත්අඩංගුවට ගැනුණු පිරිස පසුගිය සිකුරාදා (04) වන විට 29975ක් බව පොලිසිය සඳහන් කරති. ඒ අතරින් දිනකදී වැඩිම පිරිසක් වූ 1047 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණේ පසුගිය 31 වැනිදායි.

එදින අත්අඩංගුවට පත්වූ පිරිස අතර මෙරට සිටින ප්‍රධාන පෙළේ රූපලාවණ්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියකද වන පියුමි හංසමාලිද විය. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ මේ දිනවල බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වන ආකාරයේ නිවැසියන්ට කෑමට යමක් සෙවීමට බැහැර යාම නිසාවත් නැතිනම් මුව ආවරණයක් නොපැලඳීම නිසාවත් නොව සුඛෝපභෝගී උපන්දින සාදයක් පැවැත්වීම නිසාය. 

පසුගිය 30 වැනිදා නිරෝධායන නීතින් උල්ලංඝනය කරමින් චන්දිමාල් සිය 38 වැනි උපන් දිනය සමරමින් සාදයක් පවත්වා ඇත්තෙ කොළඹ කොටුවේ පිහිටි තරු හතේ හෝටලයක් වන ෂැංග්‍රිලා හෝටලයේයි. එම හෝටලයේ 10 වැනි මහලේ ශාලාවක් වැනි විශාල ප්‍රමාණයේ කාමරයක් චන්දිමාල් විසින් සිය උපන්දින සාදය සඳහා වෙන්කරගෙන ඇත්තෙ ඊට පසු දිනයි.

අනතුරුව 30 වැනිදා පෙරවරු 10 සිට එම සාදය මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වා ඇති බවකි. ඊට ප්‍රබල ව්‍යාපාරිකයන් සිය බිරින්දෑවරු සමඟද කලාකරුවන් ඇතුළුව බොහෝ පිරිසක් නිරෝධායන නීතින් උල්ලංඝනය කරමින් වරින්වර සහභාගි වී ඇති බවකි. එසේම චන්දිමාල් ජයසිංහ සෑම වසරකම පාහේ පවත්වන ඔහුගේ 'රෝයල්' උපන්දින සාදය මෙන් මෙකී සාදයට ද සහභාගි වූවන්ට මුදල් ත්‍යාග ඇතුළු බොහෝ තෑගි බෝගද පිරිනමා ඇති බවත් සාදයට රුපියල් ලක්ෂ ගණනක මුදලක් වැයකර ඇති බවත් සැල වේ.

කොරෝනා රකුසාට එරෙහිව රජය ගෙනයන භාරදූර කර්තව්‍යයට රටේ අතිබහුතරයක් දෙනා හරිහැටි කෑමක්බීමක්ද නොමැතිව සහාය දක්වද්දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් චන්දිමාල් පැවැත්වූ සාදය පිළිබඳව කොටුව පොලිසියේ නිලධාරියකුට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබී ඇත්තෙ එදින මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දියි.

ආරක්ෂක අමාත්‍යාංශයද යාබද භූමියේ පිහිටි නිතරම පාහේ බුද්ධි නිලධාරින්ද ගැවසෙන ෂැංග්‍රිලා වැනි හෝටලයක එවන් සාදයක් නිරෝධයන නීතින් උල්ලංඝනය කරමින් පැය ගණනාවක් පුරා පැවැත්වීම එක්තරා ආකාරයකට උභතෝකෝටික පැනයකි. එහෙත් පසුගිය දිනවල ඇතැම් දෙනා පවත්වන්නට යෙදුණු විවාහ මංගල උත්සව කිහිපයක්ම පොලිස් නිලධාරින් කඩා වැදී අවලංගුකොට එම පිරිස් එකී හෝටල්වලම නිරෝධායනයට ලක්කරමින් හෝටල්ද මුද්‍රා තැබුවේ පොලිසිය විසින් මාධ්‍ය සංදර්ශනද පවත්වමිනි.

කෙසේ හෝ එදින මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී ලැබුණු තොරතුරු අනුව කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර දැනුවත් කිරීමෙන් පසු කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේගේ ප්‍රමුඛ කණ්ඩායමක් ෂැංග්‍රිලා හෝටලයේ 10 වැනි මහලේ 5 වන කාමරයේ චන්දිමාල් සංවිධානය කළ සාදයට කඩා වැදුණේය. පොලිස් කණ්ඩායම සාදය වටලන බව සැලවී කාමරයේ වූ පිරිසක් පලා ගොස් තිබුණේය. එහෙත් කාමරයේ වූ දසදෙනකු පමණ අත්අඩංගුවටගෙන පොලිසිය විසින් ඇප මත මුදා හැර තිබිණි. ඒ අතරේ තවත් පිරිසක් හෝටලයේ තැන තැන සැරිසරමින් සිටින ආකාරයක් පොලිස් නිලධාරින්ට හඳුනා ගැනීමට හැකි විණි.

හෝටලයට ඇතුළුවීමේ, වෙන්කර ගැනීමේ ලිපිගොනු පරීක්ෂාවේදී සාදය 142/03, විහාර මාවත, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ ලිපිනයේ පදිංචි ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් නමැත්තෙක් සංවිධානය කළ බව තහවුරු විණි. සීසීටීවී දසුන් ඔස්සෙ වැඩිදුරටත් විමර්ශනයේදී අංක 15, නව කොලොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පියුමි හංසමාලි ඇතුළු 25ක 30ක පමණ පිරිසක් සහභාගි වී ඇති බවත් ඉන් නම්, ගම් ලිපින සහිතව පිරිසක් හඳුනා ගැනීමට පොලිසියට හැකි විණි. අනතුරුව විමර්ශන නිලධාරීන්ට තහවුරු වී තිබුණේ එම සාදය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති කොවිඩ් රෝගය වැළැක්වීමේ උපමාන උල්ලංඝනය කරමින් එකී පනතේ 4 හා 5 වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ඒ අනුව සාදය සංවිධානය කළ චන්දිමාල් වෙසෙන පිටකෝට්ටේ සහ පියුමි හංසමාලි වෙසෙන රාජගිරිය නිවෙස් සොයා විමර්ශන නිලධාරීන් ගිය ද දෙදෙනාම නිවෙස්වල නොසිටියහ.

කෙසේ හෝ 31 වැනිදා පෙරවරුවේ චන්දිමාල් සහ පියුමි කොටුව පොලිසියට පැමිණ බාර වූයේය. ඒත් සමඟ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසාවෙන් අත්අඩංගුවට පත් දෙදෙනා එදිනම කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ‘ඔන්ලයින්‘ තාක්ෂණය ඔස්සේය. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ විසින් චන්දිමාල් සහ පියුමි රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හැරිණි.

පැය කිහිපයක් ඇතුළතදීම එලෙස බරපතළ ලෙස නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රටේම මිනිසුන් පීඩාවට පත්ව සිටියදී උපන්දින සාදයක් වැන්නක් පැවැත්වූ චන්දිමාල් සහ පියුමි මුදාහැරීම පිළිබඳව සමාජයේ බොහෝ කතිකාවක් ඇති විය. ඒ පසුගිය දිනවල කුසට අහරක් සොයන්නට නිවෙස්වලින් පිටතට ගිය වැඩිහිටියන් මෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හෝ නිවෙසෙන් බැහැරට ගියවුන්ට ද පොලිසිය නීතිය අකුරටම ඉටුකළ හෙයිනි.

එහෙත් මුදල් බලයෙන් සියල්ල තීන්දු වන සමාජයක කෝටිපතියකු වන චන්දිමාල්ට අඩුම තරමේ ඇප ලබා දීම නොව නිරෝධායනයටවත් යොමු නොකිරීම පිළිබඳව බොහෝ දෙනෙකු දැක්වූයේ දැඩි විරෝධයකි. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට කීවේ, රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනාම නිරෝධායනයට යොමු කරන ලෙසත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් බී වාර්තාව හරහා ඉල්ලා සිටිය බවයි. එහෙත් එය අධිකරණයෙන් ඉටු නොවුණ බවයි. එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස පැවැසුවත් පසුව සාදයට සහභාගී වූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විටදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ කෙනකු නිරෝධායනයට යොමු කිරීමට අධිකරණයට බලයක් නැති බවයි.

චන්දිමාල්ගේ සාදයට සහභාගී වූවන් අතර නම් ගම් ලිපින සහිතව පොලිසිය එදිනම හඳුනාගෙන සිටි පිරිස චන්දිමාල් සහ පියුමිට අමතරව අට දෙනෙකි. ඒ අතර සිටි භාගේෂ්වරි මධුෂිකා ගුණසේකර සමඟි ජන බලවේගයේ දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරියකි. ඇයගේ සැමියා වන චමාල් නමැත්තාද අත්අඩංගුවට පත් පිරිස අතර සිටියේය. පොලිසිය හඳුනාගෙන සිටි පිරිසට පසුගිය 01 වැනිදා සවස 4 ට පෙර පොලිසියට බාර වන ලෙස දැන්වූවත් ඊට අවනත වූයේ සයදෙනෙකු පමණි. ඒ පිරිමි පුද්ගලයන් පස්දෙනෙකු සහ භාගේෂ්වරි මධුෂිකා ගුණසේකර නැමැත්තිය පමණි. එම පිරිස එදින අධිකරණයට රැගෙන ගියත් ඔවුහු අධිකරණයට ඉදිරිපත් නොකෙරිණි.ඩ

අනතුරුව සාදයට සහභාගි වූ පිරිසෙන් තවත් 7 දෙනෙකු කොටුව පොලිසියට බාර වූයේ දෙවැනිදායි. ඒ අනුව චන්දිමාල් සහ පියුමිට අමතරව කොටුව පොලිස් අත්අඩංගුවට පත් 13 දෙනා වූයේ බදුල්ල, සොරනාතොට දර්ශනී පුෂ්පමාලි, රාජගිරිය කලපළුවාව භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර, මිනුවන්ගොඩ වෑගොව්වෙ ලක්මාල් දේශප්‍රිය, පන්නල කටුවැල්ලේගම චමාල් සුසන්ත, කළුතර දකුණ ගාලු පාරේ කංකානම්ගේ චතුරංග, ජාඇළ වැලිගම්පිටියේ තරිඳු පැතුම්, කොළඹ 10, මාලිගාවත්ත පටුමඟේ මොහොමඩ් ෂාඩීර්, බදුල්ල කොකාවිල රුක්මාල් සේනානායක, කළුබෝවිල පරාක්‍රම පාරේ ප්‍රනීත් රම්‍ය රණවීර, කටාන කඩවල සම්පත් සඳරුවන්, කොළඹ 05 ලොන්ඩන් හිල්හි ෂයින් වික්‍රමසිංහ, දෙමටගොඩ ශ්‍රී ධර්මාරාම පාරේ මොහොමඩ් ඉර්ෂාඩ් සහ මිනුවන්ගොඩ උන්නාරුව වෙසෙන ජයාන් චන්දුකයි.

එම 13 දෙනාම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් චන්දිමාල්ගේ සාදයට සහභාගිවූ හෙයින් කොටුව පොලිස් නිලධාරින් විසින් දෙවැනිදාම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනියගෙන් පොලිස් නිලධාරින් ඉල්ලා සිටියේ අත්අඩංගුවට පත් පිරිස බන්ධනාගාරගත කර නිරෝධායනයට යොමු කරන ලෙසයි.

එහෙත් අතිරේක මහේස්ත්‍රාත්වරයා තමන්ට ඒ සඳහා බලතල නොමැති බව සඳහන් කරමින් 13 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේ වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 27 වැනිදා කල් දමමිනි.

කෙසේ වෙතත් එම පිරිස ඍජුවම සමාජයට මුදාහැරීම කාලෝචිත නොවන හෙයින් නැවතත් පිරිස අධිකරණයෙන් කොටුව පොලිසියට රැගෙන ආහ. නිරෝධායන පනත අනුව පොලිසියට ලැබී තිබූ බලතල මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුද කැඳවා අධිකරණයෙන් ඇප හිමිවු 13 දෙනා ඇතුළුව චන්දිමාල් සහ පියුමි හංසමාලි දින 14ක නිරෝධායනයට යොමු කිරීමට කොටුව පොලිසිය කටයුතු කෙරිණි. ඒ අනුව එම පිරිස බදුල්ල පස්සර කළමනාකරණ සංවර්ධන අධ්‍යයන යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේ එකී පිරිසේ දැඩි විරෝධය මධ්‍යයේයි. එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වූ මධුෂිකා නමැත්තිය විරෝධය පෑවේ, Òඅපි දරුවෝ ඉන්න අම්මලා... මේ විදිහට අපට සලකන්න එපා... අපි මිනීමරලා නැහැ...Ó යනුවෙන් පවසමිනි.

එසේම පිරිස පොලිස් බස් රථයෙන් පස්සරට රැගෙන යද්දී පියුමි හංසමාලි ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සෙ සජීවී විඩියෝවක් නිකුත් කරමින් එක්තරා විද්‍යුත් මාධ්‍ය නාළිකාවක් දැඩි ලෙස විවේචනය කරන්නට වූවාය. තවද තම පිරිසට සාදය පැවැති හෝටලයේම නිරෝධායනයට අවසර ඉල්ලුවත් ඊට ඉඩකඩක් නොලැබුණු බවටද චෝදනා කළාය. එසේම නිරෝධායනයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් සියල්ල හෙළි කරන බවත් ඇය සඳහන් කළාය.

කෙසේ හෝ එලෙස නිරෝධායනයට රැගෙන ගිය පිරිස අතර සාදය පැවැත්වූ චන්දිමාල් නොසිටීම විශේෂත්වයකි. නිරෝධායනයට රැගෙන යාම සඳහා චන්දිමාල් කැඳවාගෙන ඒමට පොලිස් කණ්ඩායමක් ඔහුගේ කෝට්ටේ නිවෙසට ගියද චන්දිමාල් නිවෙසේ නොසිටියේය. පසුව වාර්තා වූයේ චන්දිමාල් තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලකට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළුවී ඇති බවයි. එහෙත් පසුදා එනම් තුන්වැනිදා සවස චන්දිමාල්ව පොලිසිය විසින් රෝහලින් නිදහස්කොට පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණි.

එම සාදය පිළිබඳව පොලිස් පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙද්දී කොටුව පොලිසියට අමතරව වැඩිදුර විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයද (සීසීඩී) විමර්ශනවලට එක් වූහ. ඒ අනුව සීසීඩීය විසින් ෂැංග්‍රිලා හෝටලයේ පරිපාලනයෙන්ද ප්‍රශ්න කරමින් විමර්ශන සිදුවෙද්දී විද්‍යාත්මක සාක්ෂි සහ තාක්ෂණික මෙන්ම පරිවේෂණීය සාක්ෂි සෙවීමද සිදු කෙරිණි. එහිදී සීසීටීවී දසුන් ඔස්සෙ සිදුකළ සීසීඩීය සිදුකළ විමර්ශනවලදී පසුගිය සිකුරාදා (04) තවත් කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් ඇතුළු සය දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

ඒ අතර ප්‍රවීණ කලාකරුවකුගේ දියණිය වන මාධවී වත්සලා සහ ඇගේ සැමියා මිලාන් නමැත්තා මෙන්ම චන්දිමාල් ජයසිංහගේ මව සහ සහෝදරියද විය. ඒ අනුව සාදයට එක්වූ 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර විමර්ශනවලදී හඳුනාගත් තවත් එක් සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය.

කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුණු එකී පිරිසද කොළඹ මධ්‍යම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා පස්සරට යොමු කරද්දී චන්දිමාල්ගේ මවට පමණක් ගෘහස්ථ නිරෝධායනයට ඉඩ ලබා දුන්නාය.

මේ අතර චන්දිමාල් සහ පියුමි හංසමාලි පසුගිය 31 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියමව අධිකරණයෙන් පිටව යද්දී චන්දිමාල්ගේ රියැදුරා වන නිමේෂ් දිල්ෂාන් බස්නායක අලුත්කඩේ අධිකරණ සංකීර්ණ ඉදිරිපිටදීම සුදු පැහැති පදික මාරුව මතින් චන්දිමාල් රැගත් සුදු පැහැති ලෑන්ඩ් කෘෘසර් රථය හරවා ගනිමින් මාර්ග නීති උල්ලංඝනය කරන ආකාරයක් දිස් විණි. එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සෙ සැරිසැරීමත් සමඟ කෙසෙල්වත්ත පොලිසියට කැඳවූ චන්දිමාල්ගේ රියැදුරු නිමේෂ් පොලිස් අත්අඩංගුවට පත් වූයේ අන්තරාදායක ලෙස රිය පැදවීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසාය. අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පසු වරද පිළිගත් හෙයින් රුපියල් 12500ක දඩයකට නියම විණි. කොරෝනා වැලඳුණු තවත් ජනප්‍රිය කලාකරුවකු වන භාතිය ජයකොඩි ෆේස්බුක්හි සටහනක් තබමින් ඔහු කොරෝනා නිසා මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම ගැන සඳහන් කරමින්, Òතවමත් මිනිස්සුන්ට ගානක් නෑ... පාටි දානවා... විනෝද වෙනවා... කිසිම පරිස්සමක් නෑ... කොවිඩ්වලට භය වෙන්න... පරිස්සම් වෙන්න...Ó ඒ කොරෝනාවෙන් බැට කෑ භාතියගේ සටහන ගැන සැවොම සිතිය යුතුමය. එම නිසා මුදලට, බලයට මෙල්ල කිරීමට නොහැකි කොරෝනා මාරයාගෙන් පරිස්සම් වීමට උඩඟු මිනිසුන් දැන්වත් අදිටන් කරගනු මැනවි. එම නිසා පාටි... සාද මෙන්ම එවැනි සාදවලට ඉඩහසර විවර කරන ෂැංග්‍රිලා වැනි ලොකු පොඩි සියලුම හෝටල්වලටද දැඩි දඬුවම් පැමිණවීම වගකිවයුත්තන්ගෙන් විය යුතුම කාර්යභාරයකි.


උපන්දින ‘කුමරු’ චන්දිමාල් නිරෝධායනයට පෙර සිළුමිණට කී කතාව

මොකක්ද චන්දිමාල් ඇත්තටම වුණේ?

ඇත්තටම ඔය කියන විදිහට අපි පාටි එකක් දැම්මේ නම් නෑ. උපන්දිනය දවසේ හෝටලේ අපාර්ට්මන්ට් එකක් බුක් කරගෙන යාළුවෝ කිහිප දෙනෙක් එකතු වුණා. පාටියක් තියා අඩු ගාණේ කේක් එකක්වත් කැපුවේ නෑ. මාත් එක්ක තියෙන වෛරයකට තරහකටයි ඔය වැරදි කතා පතුරවන්නේ.

ඒ කියන්නේ චන්දිමාල් උපන්දින පාටියක් දැම්මේ නෑ කියලද?

පාටියක් දැම්මේ නෑ. පාටියක් දානවා නම් හෝල් එකක් බුක් කරගෙන නටලා කාලා බීලා විනෝද වන දේවල් පේන්න තියෙන්න ඕනෙනේ. මේ වගේ වෙලාවක පාටියක් දාන්න අපි මෝඩයෝ නෙමෙයිනේ. උපන් දිනයක් වෙලාවක ගෙදරක වුණත් කේක් එකක් කපන්න පුළුවන්නේ. අපි කළේ කම්මැලිකමට යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වුණ එක. මට පාටියක් දානවානම් කොරෝනා ප්‍රශ්නය ඉවර වෙලා උපන්දිනය පහුවෙලත් පාටියක් දාන්න පුළුවන්නේ. මේ එක මාධ්‍යයකින් කරන්නේ වෛරයක් පිරිමහන එක. මම ඉදිරියේදි ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. කලින් තිබ්බ උපන්දින සාදවල වීඩීයෝ ඡායාරූප දාලයි ඔය පාටි දැම්මා කියලා ප්‍රචාරය කරන්නේ.

පාටි නොදැම්මා නම් මොකටද මේ සංචරණ සීමා තියෙන කාලේ යාළුවෝ එක්ක එකතු වුණේ?

අපි හොටෙල් එකේ රූම් එකක් බුක් කරගත්තේ පැය 24කට. එහෙම රූම් එකක් ගන්න බෑ කියලා තිබ්බා නම් ඒක ගන්න බෑනේ. ඒ හෝටලයේ ඕනතරම් අය රූම් අපාර්ට්මන්ට් අරගෙන හිටියා. මම ප්‍රසිද්ධ නිසයි ඔය මාව අල්ලගෙන දඟලන්නේ. පාටියක් තිබ්බා නම් එයාලට එතන ඡායාරූප එහෙම ගන්න තිබ්බනේ. ඕනේනම් එතන කේක් එකක් තියෙන්න ඇති. රටම ප්‍රශ්නයක ඉන්න වෙලාවේ කේක් එකක් කපන ඡායාරූපයක්වත් මම සමාජ මාධ්‍යවලවත් දාන්න කැමැති වුණේ නෑ. පොලිසිය එන වෙලාවේ මමයි තව යාළුවෝ දෙන්නෙකුයි විතරයි ඉතුරු වෙලා හිටියේ. පොලිසිය ආවේ 12ට විතර.11ට අනෙක් අය ගිහින් තිබ්බේ. පොලීසිය ආපු වෙලාවේ එතන පාටියක් තිබ්බානම් එයාලා දකිනවානේ. මම වැරැද්දක් කරලා නැති නිසා පොලිසියටත් උසාවියටත් ඉදිරිපත් වුණා. නොදැන වැරැද්දක් වෙලානම් අපි නීතියට ගරු කරන්න ඕනේ. මම එහෙම වැරදි කරලා ජීවත්වන කෙනෙක් නෙමෙයි. දැන දැන අපි වැරැදි කරන්නේ නෑනේ.

ඡායාරූපය සුදත් මලවීර

Comments