ලුණු ගැන බය හුඹස් බියක් | Page 2 | සිළුමිණ

ලුණු ගැන බය හුඹස් බියක්

හා‍ර රසවත් කරන්නට ආහාරයේ නිසි ලුණු ඇඹුල් පදම සරු කරන්නට ලුණු නැතිවම බැරිය‍. නමුත් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ අහිතකර රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍ර වීමත් සමඟ අපට ලුණු හිඟයක් ඇතිවේදෝයි හා ලුණුවලට වස විස මිශ්‍රවීමක් වේදෝයි යන සැකයක් මතුවී තිබේ. එසේ වුවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ මේ නැව ගිනිගැනීමේ සිදුවීම නිසා අපේ රටට කිසිම විටක ලුණු හිඟයක් ඇති නොවන බවයි.

 

අ‍ෙප් ර‍ටට වසරකට ලුණු මෙට්‍රික් ටොන් 125000 – 140000 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඉන් සියයට 50 ක් ලබාදීම සිදු කරන්නේ ලංකා ලුණු සමාගමෙනි. මේ දිනවල ලුණු මෙට්‍රික් ටොන් 40000 ක් ලංකා ලුණු සමාගම සතුව පවතී.

ඊට අමතරව හම්බන්තොට ලුණු ලේවායේ ලුණු පාත්ති සිය ගණනක ළඟදීම ලුණු කැඩීමට තිබේ‍. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසන පරිදි හම්බන්තොට ලුණු ලේවායෙන් ලැබෙන ලුණු අස්වැන්න මඟින් අපේ රටට වසර දෙකකට අවශ්‍ය ලුණු ලබාදිය හැකි ය.

ඊට අමතරව පුත්තලම ලුණු ලේවායෙන් ලුණු මෙට්‍රික් ටොන් 80000 ක් ඉදිරි දින 30 – 40 ඇතුළත වෙළෙඳ පොළට එයි. පෞද්ගලික අංශය සතු ලුණු ලේවාවලින් ඉදිරි කන්නයේ දී ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලැබේ.

මේ අනුව කරුණු දක්වන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසන්නේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලුණු රාජ්‍ය හා පෞද්ගලික නිෂ්පාදන සමාගම් සතුව පවතින බවයි.

රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදන ආයතන සතුව ලුණු තොග තිබෙනවා. ඉදිරි මාසය සඳහා අපි ලුණු මිල අඩු කරනවා. ඒ අනුව කැට ලුණු කිලෝවක් රුපියල් 43 කටත් ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 35 කටත් සතොස හරහා ලබාදීමට කටයුතු කරනවා. මෙරට ඉල්ලුමට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් අපට තිබෙනවා. ඒ සමඟම පාරිභෝජනයට සුදුසු ඉහළ ප්‍රමිතියේ ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් අප සතුව තිබෙනවා. ඒ නිසා බොරු ලුණු හිඟයක් මවා පාමින් විවිධ පාර්ශ්ව හා අවස්ථා‍වාදීව ගෙන යන මතවාදවල කිසිම සත්‍යතාවක් නැති බව ද ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ පුත්තලම ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරි සුනිමල් ආරියසේන පවසන්නේ ඉදිරියේදී කිසිම හිඟයකින් තොරව ප්‍රමිතිගත ගුණාත්මක ලුණු ජනතාවට ලබා දෙන බවයි.

“අපි ලුණු නිපදවීමට අවශ්‍ය මුහුදු ජලය පසුගිය කාලයේදී අවශ්‍ය තරම් ගබඩාකරගෙන තිබෙනවා. ඒ අනුව ඒවාට කිසිම වස විසක් මිශ්‍ර වුණේ නැහැ” පුත්තලම ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා කියයි. “අප‍ිට මේ මාස දෙක ඇතුළත ලුණු මෙට්‍රික් ටොන් 80000 ක් නිපදවන්න පුළුවන්. අපිට අමතරව පෞද්ගලික අංශයත් ටොන් ලක්ෂයක් විතර ළඟදීම වෙළෙඳ පොළට දමනවා. අපේ රටේ පෞද්ගලික අංශයත් වසරකට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිපදවනවා. ඒ අනුව රටටම ඉදිරි මාසවලදී වස විස නැති ලුණු දෙන්න අපි සූදානම් ඔහු කියයි.

මේ අනුව හම්බන්තොට ලුණු සමාගමක් පුත්තලම ලුණු සමාගමත් මෙරටට අවශ්‍ය තරම් ලුණු නිපදවීමට උපරිම ලෙස කැපවීමෙන් කටයුතු කරයි.

පසුගිය වසරවල රුපියල් කෝටි 26 ක පාඩුවක් තිබූ හම්බන්තොට ලුණු සමාගම අද වනවිට රුපියල් මිලියන 48 ක ලාභයක් ලබයි.

මෙවැනි වික්‍රමයක් කළ හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසන්නේ තවත් නැව් ගිනි ගත්තත් අපේ ලුණු නිපදවීමට කිසිම බලපෑමක් ඇති නොවන බවයි.

ලංකාවේ ලුණු නිෂ්පාදනයට පර්ල් නැව ගිනි ගැනීම නිසා කිසිම බාධාවක් ‍නැතැයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ අවධාරණය කරයි.

“ගිනිගත් නැව නිසා අපේ හම්බන්තොට ලුණු සමාගමේ ලුණු නිෂ්පාදනයට කිසිම බලපෑමක් නැහැ. මම ජනතාවට බොහොම විශ්වාසයෙන් කියනවා ලුණු පරිභෝජනයට කිසිම බියක් ඇති කරගන්න එපා කියලා. මුහුදු වතුරේ අතීතයේ ඉඳන්ම යම් යම් වස විස දියවෙනවා.

නමුත් ඒක පසුකාලීනව වැස්ස නිසා තනුක බවට පත්වෙනවා. අනෙක මේ මුහුදු ජලය කෙළින්ම අරන් ලුණු හැඳීමක් වෙන්නේත් නෑ. එහෙම කරන්නත් බෑ. ලුණු නිෂ්පාදනයට ගන්න මුහුදු ජලය ලුණු හදන පාත්ති තුළ දින 45 ක් තිස්සේ විද්‍යාත්මක විධියකට වාෂ්පීභවනය කරනවා. ඒ ක්‍රමය අනුව සෝඩියම් හා ක්ලෝරින් හැර අනික් ඒවා ඉවත් වෙනවා. ඒ අනුව පර්ල් නැව නෙමේ තව නැව් 10 ක් පෙරළුනත් ලංකාවට ලුණු පිළිබඳව කිසිදු අර්බුදයක් මතුවන්නේ නැහැ.

අපි සතුව ලුණු අතිරික්තයක් තිබෙනවා. මේ දිනවල තවත් ලුණු අස්වනු නෙළීමත් කරනවා. මේ නැව එන්න බොහොම කලකට පෙර අපේ තටාකවලට ගත්ත වතුරවලින් තමයි අපි මේ වනවිට ලුණු හදන්නේ තව මාස කිහිපයකට ලුණු සෑදීමට ඊළඟ කන්නයට සූදානම් වෙන්නත් මේ වෙනකොට අක්කර ගණනාවක පාත්තිවල වතුර සුදුසු පරිදි පුරවා අවසන්.

මේ නිසා ලුණු හිඟයක් නම් ඇතිවෙන්න ඉඩක් නැහැ. ඒ එක්කම ලුණුවලට වස විස ඇතුළු වෙන්නත් ඉඩක් නැහැ.

මුහුදු ජලයේ මොන වස විස තිබුණත් මුහුදු ජලයෙන් ලුණු හදන කොට ගන්නේ සෝඩියම් හා ක්ලෝරින් අයන පමණයි.

ඩෙන්සිටි 3.5 තිබෙන මුහුදු ජලය අපේ පළමු වැනි පාත්තියට ඇවිල්ලා ඊළඟ පාත්තියේදී තව ටිකක් වැඩි වෙලා පසුව අන්තිමේදී ඩෙන්සිටි 27 ක් 28 ක් අතර ආ පසුව සෝඩියම් ක්ලෝරයිඩ් නම් අවක්ෂේපයක් පාත්තියේ තැන්පත් වීම සිදුවෙනවා. ඒ අනුව මුහුදු ජලයේ තිබිය හැකි පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි අයන මෙන් ම රසදිය ඇලුමිනියම්, ප්ලැටිනම් වැනි වස විස ලුණුවලට එක්වෙන්නේ නැහැ.

අපි ලුණු නිපදවන විට ගන්න මුහුදු වතුර සුවිශේෂී පෙරන 3 ක් හරහා යනවා. පළවැනි පාත්තියට ගන්නා මුහුදු වතුර අන්තිම පාත්තියට යනවිට සෝඩියම් හා ක්ලෝරීන් හැර අන් සියලු දේ ඉවත් වෙන විදියටයි ලුණු නිෂ්පාදන ක්‍රමය සකස් වෙලා තිබෙන්නේ.

සාගරයේ න්‍යෂ්ටික බෝම්බ පුපුරනවා, අත්හදා බැලීම් කරනවා. ඒත් මෙච්චර කල් අපි ලුණු හැදුවා වසක් විසක් නැතිව අපි ලුණු කෑවානේ මෙච්චර කල්. ඒ වගේ මේ නැව නිසා ලුණුවලට වස විස එකතු වෙන් නෑ. ලුණු හිඟයකුත් නෑ.

මේ ක්‍රියාදාමය අන්තර් ජාතික ප්‍රමිතිය අනුව සිදුවන්නේ. ISO හා SLS ප්‍රමිති අනුවයි අපි ලුණු හදන්නේ. ඒ අනුව මොන රසායනික වස විස මුහුදු ජලයට එකතු වුණත් අපේ ලුණු හැදීමේ ක්‍රියාවලියට අවසානයේදී ඉතිරි වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නම් පිරිසුදු ලුණු පමණයි‍.

අපි ගාව ලුණු අවශ්‍ය තරම් තිබෙනවා. පසුගිය අවුරුදුවලට වඩා ලුණු මේ අවුරුද්දේ අපි ළඟ තිබෙනවා. ඒ එක්කම තව මාස ගණනාවක් යනතුරු ලුණු සෑදීමට අපිට මුහුදු ජලය ගැනීමට අවශ්‍ය වන්නෙත් නැහැ. ඒ නිසා ලුණු හිඟයක් පිළිබඳවත් ලුණුවලට වස විස එක්වීම පිළිබඳවත් බොරු බියක් ඇති කරගන්න එපා.” යැයි හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි.

මේ අතර ලංකා ලුණු සමාගමේ හම්බන්තොට ලේවායේ ඇති පරීක්ෂණාගාරය මඟින් පැය 24 පුරාම ජලය පරීක්ෂා කරනු ලැබේ. යම් අවස්ථාවක අපේ ලුණු පාත්තිවලට අපවිත්‍ර ජලය ගලා ඒම වැළැක්වීම සඳහා නිවැරැදි පිළියම් හා තාක්ෂණය අපට තිබේ.

ලුණු හිඟයක් ඇති වේදෝයි සමහරු ලුණු පැකට් 10 – 15 මිලදී ගැනීමත්, තවත් සමහර සමාගම් බොරු ලුණු හිඟයක් මවා පා පරණ ලුණු ටික අලෙවි කරගැනීමට උත්සාහ දැරීමත් නිසා ලුණු හිඟයක් පිළිබඳව ව්‍යාජ තොරතුරු පතුරුවා තිබේ. එය වැරැදි බව ලුණු නිෂ්පාදකයෝත් බලධාරීනුත් අවධාරණය කරති. මේ අනුව අපිටත් කිව හැක්කේ ලුණු හිඟයකුත් නැහැ ලුණුවල වස විසකුත් නැහැ යනුවෙනි.

Comments