වරාය නගර ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රජයේ අරමුණයි | සිළුමිණ

වරාය නගර ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රජයේ අරමුණයි

කොළඹ වරාය නගරය හැඳින්විය හැක්කේ මෙරට ආර්ථිකයේ යෝධ පිම්මක් ලෙසයි. වරාය නගරය යනු මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ­්‍යයක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය පිළිබඳ නොයෙක් තර්ක මතු විය. ඒ සියලු බාධක මැද මේ වන විට වරාය නගර පනත සම්මත වී හමාරය. දැන් මේ ව්‍යාපෘතියට අලුත් ආර්ථික දැක්මක් ලැබී ඇත්තා සේ ම එය අනාගත සංවර්ධනයේ කඩඉමක් ද වෙයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගතව නීතියට අනුකූලව සම්මත වීම සිදු විය. මේ වනවිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයකු ඇතුළු සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වේ. වරාය නගරය චීන කොලනියක් බවට පත්වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. කොමිෂන් සභාව පිහිටුවන්නේ, ආයෝජකයන්ගේ පහසුව සඳහාය. ඉන් අනතුරුව ඒ අදාළ කමිටුවට පැවැරී ඇති කාර්ය වන්නේ කමිටු සමාජිකයන්‍ගේ කටයුතු ආරම්භ කිරීමයි. එය ඒ අයගේ වගකීමක් වන අතර එය ඒ ආකාරයෙන්ම ඉටු වෙතැයි අපි විශ්වාස කරමු.

මේ වනවිට ඇමරිකානු ඩොලර් දහසක් වැය කර ඇති බවට ඇස්තමේන්තු කර ඇත. අදාළ චීන සමාගමේ අපේක්ෂාව මුළුමනින්ම ඇමෙරිකානු ඩොලර් එක්දහස් හාරසියයක් පමණ වැය කිරීමයි. මුළු නගරයම යටිතල පහසුකම් ඒ අනුව සම්පාදනය කිරීම සිදු වෙයි. කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර් 233කට නොඅඩු භූමි භාගයක් මුහුදු පතුලෙන් ගොඩ කරනු ලබයි. මෙයින් හෙක්ටයාර් 170ක් සංවර්ධනය කළ හැකි ඉඩම් ප්‍රමාණයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි හෙක්ටයාර 63 පොදු පහසුකම් ලෙස ඉදිරි ජලතීරුව, මාවත් හා උද්‍යාන වෙනුවෙන් වෙන්කර ඇත. මේ සඳහා නව ආයෝජන එකතු කිරීමටත් අපේක්ෂා කෙරේ. මේ ගොඩනැගිලි ඉදිවීමේදී රටට ආයෝජන විශාල ලෙස ගලා ඒමත්; ණය නොවන පිටස්තර මුදල් රටට ගලා ඒමත් සිදු වෙයි. රටට සහ ජනතාවට ණය වශයෙන් නොව ආයෝජන වශයෙන් විදේශ මුදල් ගලා ඒමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි අරමුණයි. නව ව්‍යාපෘති හරහා නව ආයෝජකයන් මෙරටට ගෙනැවිත් නව රැකියා බිහි කිරීම එක් පියවරකි. ඒ තුළින් රටට විශාල වාසියක් අත් වෙයි. නව රැකියාවන් බිහිවීමක් සිදු වෙයි. මේමඟින් ඇස්තමේන්තු කළ ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන හතරහමාරක් එකතු වෙයි. පළමු වැනි වසර කිහිපය තුළදි ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වීමක් සිදුවෙතැයි අප ඇස්තමේන්තු කර ඇත.

රැකියා බිහිවීමත් විදෙස් විනිමය ගලා ඒමත් නිසා රටේ රැකියා අවස්ථා උදාවීමත් සමඟ එතෙර ගොස් උපයන මුදල් මෙරට තුළම උපයා ගත හැකි තත්ත්වයක් ඉදිරියේදි උදා වෙයි. කිසිදු බියක්, සැකයකින් තොරව ඕනෑම රටක ආයෝජකයකුට කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට අවස්ථාව විවර කර ඇත.

වරාය නගරය තුළ ඩොලර් වලින් මෙන්ම රුපියල්වලින්ද කටයුතු කළ හැකි බැවින් ආයෝජකයන්ට මෙරටට පැමිණ පහසුවෙන් කටයුතු කළ හැක්කේ අප මෙම තත්ත්වය ඇති කළහොත් පමණි. තවද දේශීය බැංකු පෝර්ට් සිටි තුළ පිහිටුවීමට අවශ්‍ය නම් කොමිෂන් සභා අවසරය ලබා ගත යුතුයි. කොමිෂන් සභාව හරහා මෙම සියලු කටයුතු සිදු වෙයි.

අපේ රටේ උගත් දරුවන් වෙනත් රටවල්වල රැකියා සඳහා යෑම, විදෙස් රටවල ලැබෙන වැටුප් ලබා ගැනීම එ් අනුව මේ රට තුළම සිදු වෙයි. වෙන රටවල සියලු රැකියා අවස්ථා මෙරටේදී හිමිවෙන අතර වෙනත් රටවල ලබන වැටුප මෙහි සිටම ලබා ගැනිමට හැකිවෙයි. රජය සෑම රටක් සමඟම ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර එක් රටකට පමණක් සීමා නොවෙයි. ඇතැමුන් මෙයට විරුද්ධ වන්නේ චීනයට ඇති විරෝධය නිසාය. නමුත් එක් මෙහි දි විශේෂයක් නොකරයි. කිසිසේත් මෙය විදෙස් රටක් යටතේ පාලනය වීමට ඉඩක් නොලැබෙයි. මේ ව්‍යාපෘතියට මොන හේතුවක් උඩ ඇතැම් පාර්ශ­්වයන් විරුද්ධ වන්නේ දැයි අපි නොදනිමු. මෙය සමස්ත රටේම අනාගතය දියුණු වන ව්‍යාපෘතියකි. ඒ නිසා ප්‍රගතිශිලි ජනතාව මෙය දකින්නේ රටේ දියුණුවට බාධා කිරීමක් ලෙසයි.

කිසිසේත් ම මෙය වෙනත් රටක පාලනයකට යටවන හෝ වෙනත් රටක් ලෙස හැඳින්වීමට හෝ කිසිදු අවකාශයක් නැත. මෙය සම්පූර්ණයෙන් පාලනය වන්නේ මේ ශ්‍රී ලංකා රජය යටෙත්ය. මෙය ව්‍යස්ථාවට පටහැනි බව ඇතැම් අය චෝදනා කරයි. ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාවට පටහැනි ඉන් පරිබාහිර කිසිදු දෙයක් මෙහි අන්තර්ගත නොවෙයි. එසේ නම් ව්‍යවස්ථාවට පටහැනි යමක් තිබුණේ නම් කෙටුම්පතක් ලෙස පවතින අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධීකරණය විසින් මෙය ප්‍රතික්ෂේප කිරීමට අවකාශය තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශ කරන ලද ආකාරයටම පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වීම සිදුවිය. අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කිසිදු දෙයක් මෙහි අන්තර්ගත නොවෙයි. රටේ ප්‍රගතිය වෙනුවෙන් සියලු තීන්දු ගෙන ඇත. අපි ශ්‍රිලංකිකයන් ලෙස මෙවැනි ආර්ථික ක්‍රියාදාමයන්ට අකුල් හෙළන්නේ මන්ද යන්න ගැටලුවකි. මෙය රටේ ප්‍රගතිය වෙනුවෙන් සහය දිය යුතු අවස්ථාවකි.

බහුතරයක් ලැබෙන්නේ අපේ මෙවැනි රටේ ආයෝජන කලාප පිහිටු වන විට රට අභ්‍යන්තරයේ වෙනත් අංශවලටත් ආයෝජන ගලා ඒමට පටන් ගනී. සංචාරක ක්ෂේත්‍රවලටත් ලොකු ශක්තියක් මේ හරහා ඇති වෙයි. දළ දේශීය නිෂ්පාදිතයට ලොකු ගැම්මක් මෙයින් ලැබෙයි. සියයට දෙකතුනක් දළ දේශීය නිෂ්පාදිතයටද වාර්ෂිකව එකතු වෙයි.

පිටරටකට ගිහින් රැකියාවක් කරනවාට වඩා උගත් දරුවන්ට එම අවස්ථාව ලංකාවෙහිම ලැබෙන්නේ නම් එය ඉතා වැදගත් වෙයි. ඒ නිසා අපි ශ්‍රී ලංකිකයන් ලෙස ඉදිරි වැඩකටයුතුවලට ඔබින ආකාරයට ශ්‍රමිකයන් පුහුණු කළ යුතුයි .

සෙලෙන්දිවා නම් මහා භාණ්ඩාගාරය යටතේ ඇති සමාගමට පොර්ට් සිටි අවට ඇති ගොඩනැගිලි පවරා ගෙන එය විදෙස් සමාගමකට විකුණා දැමිමේ උත්සහයක රජය නිරත වන බවට රජයට චෝදනා නැඟුණත් මේ සම්බන්ධයෙන් රජය ලෙස අපි වගකීමෙන් කිවයුතු වන්නේ කිසිසේත් එවැනි දෙයක් සිදු නොවෙන බවයි. ඉතාමත් අබලන් වූ ගරාවැටුණ මට්ටමක පවතින දැනට ප්‍රයෝජනයක් නොගන්නා ගොඩනැගිලි මින් පෙරත් වැඩිදියුණු කර ඒ මඟින් විශාල ආදායමක් උපයන මට්ටමක ඇත. ඒවගේ අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉතා වැදගත් ගොඩනැගිලි රැසක් කිසිදු ප්‍රයෝජනයක් නොගන දැනටමත් කොළඹ අවට තිබෙයි.

එවැනි වැදගත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් රටට සෙතක් වෙන ආකාරයට යොදා ගන්නේ නම් එහි ඇති වරද කුමක්ද? එය වෙනත් රටකට ලබාදීමක් නොවෙයි. ඒවා බදු දීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වෙයි. එවැනි ගොඩනැගිලි නටබුන් ලෙස පැවැති ඇතැම් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරිම වරදක් ලෙස දකින්නේ ඇයි කියලා අපි තවමත් නොදන්න කාරණයකි.

මේ රටේ සම්පත් විනාශ වෙලා යනවාට වඩා ඒවා දියුණු කර රට දියුණු කිරිම ඉතා වැදගත් බව මේ රට ගැන හැඟීමක් ඇති ප්‍රගතිශිලි ජනතාව දැනුම්වත් කරුණකි. අපේ රට අලංකාර වෙනවාට අපි කැමැති විය යුතුයි.

මේ සමාගමට රජය විසින් විනාශ වී යන සම්පත් වලින් ප්‍රයෝජනය ගැනීමට පවරා දීම වරදක්ද; මේ සියල්ල සිදුවන්නේ රජය යටතේ බව ඉතා පැහැදිලි කරුණකි.

රටේ ප්‍රගතිය වෙනුවෙන් සියලු දේවල් මේ රජය විසින් සිදු කරයි. අපි ශ්‍රිලංකිකයන් ලෙස මෙවැනි දේට අකුල් හෙළනවාට වඩා රටේ ප්‍රගතිය වෙනුවෙන් සහය දිය යුතුයි. මෙහි අයිතිය භාණ්ඩාගාර ලේකම්තුමාටයි. මෙය වාණිජ ව්‍යුහයක් ලෙස දියුණු කළ ද එහි වගකීම තියන්නේ නිල වශයෙන් මහ භාණ්ඩාරගාර ලේකම්වරයාටය. මේ සියලු දේපළ අයිතිය රජයටයි, මෙහිදී රජය ක්‍රියාත්මක වෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා හරහායි. වරාය නගරය හරහා ඒ ඒ අංශවල ප්‍රගති ඇති වෙන විට ඒවාට අදාළ සියලු යටිතල පහසුකම් සලසා දීම රජයේ වගකීමකි. ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය ශ්‍රමිකයන් බඳවා ගැනීමටද සිදු වෙයි. මේ වරාය නගරය චීනයට වසර 99ක බද්දකට ලබාදී ඇත. ඉන් පසුව ඒ බද්ද අවසන් වනවිට ඒ සියලු ගොඩනැගිලිවල අයිතිය රජයට හිමි වෙයි.

වසර පනහකට පසුව එය චීනයට අයිති වන බවට ඇතැමුන් ප්‍රචාරයක් ගෙනයයි. එය සම්පුර්ණ අසත්‍යයකි. මෙහිදී මේ මතු කරන්නේ චීන විරෝධයකි. මේ වනවිට ලෝකය පුරාම චිනය අයෝජන සිදු කරයි. මේ වන විට ඇමරිකාවේ ද විශාලතම ආයෝජකයා චිනයයි. චිනය අපේ රටටත් පැමිණ ආයෝජනය කිරීම කිසිදු ආකාරයක යටිඅරමුණු ඇති සැලසුමක් නොවෙයි. අනෙක් රටවල ආයෝජන කළද ඒ රටවල කිසිවකු කිසිම වරදක් මේ සම්බන්ධයෙන් නොදකින අතර පටු දේශපාලනික අවශ්‍යතාවලට අපේ රටේ ඇතැම්හු ක්‍රියා කරති.

මේ අයට අවශ්‍යවී ඇත්තේ මේ රට දියුණු කිරීම නොව; මේ රට නොදියුණු ආර්ථිකමය වශයෙන් බිඳවැටුණු රටක් ලෙස පෙන්වා දේශපාලන අරමුණු ඉටුකර ගැනීමටයි.ඒ හරහා රටේ ආර්ථිකයට පහරක් ගැසීමට ඒ අයගේ අවශ්‍යතාවයයි. චිනය අධෛර්ය කිරිමටත් එක් අංශයකින් ක්‍රියා කරයි. විපක්ෂයේ මෙවැනි බොරු වලට ජනතාව තවදුරටත් නොරැවටෙන බව අපි දනිමු.

පරිපාලනමය හෝ නිතිමය හෝ ව්‍යවස්ථාමය කිසිදු ගැටලුවක් මේ වරාය නගරය ඉදිකිරිම සම්බන්ධයෙන් නැත. කිසිම හරයක් නැති තර්ක ගොඩනැඟීමෙන් රටක් ලෙස අපි ආර්ථිකමය වශයෙන් පසුගාමී රටක් බවට තවදුරටත් පත්කිරීම මේ අයගේ උත්සාහය බව ඉතා පැහැදිලිය. ආයෝජකයන්ට මෙරටට පැමිණ පහසුවෙන් කටයුතු කළ හැක්කේ අප මෙම තත්වය ඇති කළහොත් පමණයි. රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම කලාපයට පිවිසෙන විදේශකයන්ට වීසා ලබා දීම, බැංකු බලපත්‍ර ලබා දීම ඇතුළු අනෙකුත් අදාළ සේවා ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නිතීයට අනුව ක්‍රියාත්මක කරනු ලබයි.

රටක මෙවැනි විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර නෛතික පදනමක් සැකසෙයි. නීතිමය රාමුවක් තුළ සියල්ල සිදු වෙයි. නිත්‍යනුකුල පදනමක් අනුව කොමිසමක් පත් කර ඇත. එයට පත් වී සිටින්නේ ශ්‍රී ලංකිකයන් මිස විදේශිකයන් නොවේ. කිසිවිටෙක රට පාලනය කර සාර්ථකත්වයකට පත් නොවූ පිරිසක් කියන දේවල් පිළිගන්නට තරම් ජනතාව අඥානයෝ නොවන අපි දනිමු. අපි උත්සහ දරන්නේ මේ වරාය නගර ව්‍යපෘතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කර මෙහි ප්‍රතිඵලයක් ලබා ගැනීමටයි. මූලික සැකසුමෙන් අනතුරුව ගොඩනැගිලි ස්ථාපනය කිරිම ආයොජකයන් කැඳවීමත් ඉදිරියේදි කඩිනමින් කිරීමට බලාපොරොත්තු වෙමු. අපි බලයට පත්වී මාස දොළහක් ගත වීමටත් පෙර නීතිය ගෙනවිත් සම්මත කර හමාරය. මේවන විටත් විශේෂ ආයෝජකයන් ලංකාවට පැමිණ මෙම වරාය ව්‍යාපෘතිය නිරීක්ෂණය කර ඇත. ඔවුන් විශේෂ උනන්දුවකින් මේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වා ඇත. ඉන් අනතුරුව මෙහි කටයුතු කඩිනම් කිරීමටය අපගේ උත්සහය. මෙහි ප්‍රතිඵල කඩිනමින් නෙළාගෙන රටේ ආර්ථිකයේ නව පියවරක් තැබීම අපේ වත්මන් රජයේ අරමුණයි.

Comments