අල්ලට සිඟාවත් නැති රස කැවිලි කකා ක්‍රීඩාවත් කළෝ උන් සිප් රස පවස නසා | සිළුමිණ

අල්ලට සිඟාවත් නැති රස කැවිලි කකා ක්‍රීඩාවත් කළෝ උන් සිප් රස පවස නසා

 

වැඩිම දෙනෙක් ගිණුම් හපන්නු - දොස්තර ක්‍රීඩා හිත කෙනෙකුත් ඒ අතර

‘ක්‍රීඩාව යහපත් පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියන් තැනීමේ මැවුම් මන්ත්‍රය ය. ඒ සඳහා පිටුබලය සපයා ගත හැකි ආකාරය පිළිබඳ ‘ක්‍රීඩා’ පුවත්පතට වරින් වර ලැබෙන හා පළ කෙරෙන ලිපි මඟින් අවධාරණය කෙරේ. න්‍යායාත්මක කරුණුවලට වඩා බොහෝ දෙනෙක් ප්‍රායෝගික තොරතුරුවලට දක්වන්නේ දැඩි අවධානයකි. මේ ඒ සම්බන්ධයෙන් ජීවමාන සාක්ෂි කීපයක් ඇසුරෙන් සැකසෙන ලිපියකි.’

යහපත් මනා පෞරුෂයකින් හෙබි අනාගත දරු පරපුරක් බිහි කිරීමට පාසල්වල ක්‍රියාත්මක වන ක්‍රීඩාවන් 38 කින් අතිමහත් පිටුබලයක් ලැබෙන බව රහසක් නොවේ.

ක්‍රීඩාවේ දී තම පාසල් කණ්ඩායමේ ජයග්‍රහණ මෙන්ම තම පෞද්ගලික ජයග්‍රහණ වෙනුවෙන් දස්කම් දැක්වීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට මනා අඛණ්ඩ පුහුණුවක් ලැබිය යුතු වීම ක්‍රීඩා න්‍යායක් වන්නේ ය. මෙරට පාසල් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ දරුවන් තම ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට විශාල කාලයක් කැප කරමින් දරන උත්සාහයේදී ඔවුන් අධ්‍යාපනයෙන් බැහැර වීමට වැඩි ඉඩකඩක් ඇති බවක් ඇතැම් විට පෙනී යන්නේ එහෙයිනි.

එසේ වුවද පාසල් ක්‍රීඩාවේ ද සුවිශේෂී දස්කම් දක්වමින් පසුගිය වර 2020 උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වූ දරු දැරියන් අතරින් කීපදෙනකු සම්බන්ධයෙන් වන තොරතුරු කීපයකින් මෙම ලිපිය සංගෘහිත වෙයි. ඊට සිප් සයුර තරණය කළ පාසල් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නව දෙනෙක් සම්බන්ධ ව මෙහිදී අවධානයට ලක් කෙරේ.

උසස් බාලිකාවෙන් උපන් අනාගත කරාතේ දොස්තර - හිරුදිනි දසනායක

ඒ අතුරින් වඩාත් කැපී පෙනෙන චරිතය බවට පත්ව සිටිනුයේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන 3 ක් සමඟින් මහනුවර දිස්ත්‍රික්යේ 12 වැනි ස්ථානය හිමි කර ගත් හිරුදිනි දසනායකයි. එම ප්‍රතිඵල අනුව හිරුදිනි දසනායක වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබනු ඇත.

අන්තර් පාසල් මට්ටමේ දී, පළාත්, ජාතික මට්ටමේ දී සහ අන්තර්ජාතික මට්ටමේ දී ජයග්‍රහණ රාශියක් හිමි කර ගනිමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත් කර දුන් හිරුදිනි දසනායක කරාතේ ක්‍රීඩාවේ පළමු ශ්‍රේණියේ කළුපටිධාරීනියකි. 2016 දී 3 වැනි දකුණු ආසියානු කරාතේ තරගාවලියේ දී වයස අවුරුදු 15 න් පහළ රන් පදක්කම හිමි කර ගත් හිරුදිනි දසනායක 2018 දකුණු අප්‍රිකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩල කරාතේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කළා ය. 2018-2019 දී ‘ඊටන්’ නිවාස නායිකාව වූ අතර 2019-2020 විද්‍යාලයීය නායිකාව ද විය.

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන තුන බැගින් ලබාගත් ක්‍රීඩකයන් අතුරින් ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙකු සමත්වූ අතර, ඒ අතරට ක්‍රිකට් නායකයන් පස් දෙනෙකු ද ඇතුළත් වීම විශේෂයෙන් කැපී පෙනේ.

ගාල්ලෙන් උපන් ක්‍රිකට් ගහන අනාගත ගණකාධිකාරිවරයා - පී.එච්. සඳුන් තාරක

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 2019/2020 තරග වාරයේ දී ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ පී.එච්. සඳුන් තාරක මෙන්ඩිස් වාණිජ විෂය ධාරාවෙන් විශිෂ්ට සම්මාන 3 ක් ලබා ගැනීමට සමත් විය.

විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ සිට සෑම වයස් කාණ්ඩයකදීම නායකත්වය දැරූ සඳුන් මෙන්ඩිස් විද්‍යාලයට ක්‍රිකට් ශූරතාවන් රැසක් දිනා දීමට දායකත්වය දැරූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ගාල්ල දිස්ත්‍රික් සහ දකුණු පළාත් කණ්ඩායම් නියෝජනය කළ සඳුන් මෙන්ඩිස් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කරමින් ද තරග සංචාර කිහිපයකට එක්විය.

කොළඹ ගිණුම්කාර ක්‍රිකට් ක්‍රීඩකයා - ලෙෂාන් කවීෂ අමරසිංහ

2019/2020 තරගවාරයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ නායකත්වය දැරූ ලෙෂාන් කවීෂ අමරසිංහ ද වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් ලබාගත් ක්‍රීඩකයන් අතරට එක්විය. විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ කණ්ඩායම්වලද නායකත්වය දැරූ ලෙෂාන් කොළඹ දිස්ත්‍රික් සහ බස්නාහිර පළාත් 15 න් පහළ කණ්ඩායම්, වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිල මෙන්ම ශ්‍රී ලංකා අවුරුදු 16 න් පහළ ක්‍රිකට් පිල ද නියෝජනය කළේ ය.

මූල්‍ය අංශයෙන් පිබිදෙන මහනුවර ගණංකාරයා - පුබුදු බණ්ඩාර

2018/2019 තරග වාරයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාල ක්‍රිකට් පිලේ නායකත්වය දරා මෙවර උසස් පෙළ විභාගයේ දී වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන පුබුදු බණ්ඩාර මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීය.

වයස අවුරුදු 15 න් පහළ මාතලේ දිස්ත්‍රික් පිල සහ උතුරු මැද පළාත් පිල නියෝජනය කළ පුබුදු බණ්ඩාර වයස 19 න් පහළ මහනුවර දිස්ත්‍රික් සහ මධ්‍යම පළාත් ක්‍රිකට් පිල නියෝජනය කළ අතර, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සංචිතයට ද එක්විය.

ඇතුගල සෙවණේ ගිණුම් වැඩකරු - චාළුක අතපත්තු

කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රිකට් පිල 2019/2020 තරග වාරයේදී මෙහෙය වූ චාළුක අතපත්තු ද වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීය. විද්‍යාලයීය වයස අවුරුදු 15 න් පහළ පිල මෙහෙය වූ අතර, අවුරුදු 15 න් පහළ කුරුණෑගල දිස්ත්‍රික් සහ වයඹ පළාත් කණ්ඩායමේ ද නායකත්වය දැරීය. වයස අවුරුදු 19 න් පහළ කුරුණෑගල දිස්ත්‍රික් සහ වයඹ පළාත් කණ්ඩායම් නියෝජනය කළේ ය.

චමිඳු රන්විනු වීරක්කොඩි ත් වාණිජ්‍යයේ හපනෙක්

2019/2020 තරග වාරයේ දී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාල ක්‍රිකට් පිල මෙහෙය වූ චමිඳු රන්විනු වීරක්කොඩි වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක ට හිමිකම් කී ය.

චමිඳු රන්විනු විද්‍යාලයීය වයස අවුරුදු 13 න් පහළ සිට සෑම වයස් කාණ්ඩයකම නායකත්වය දැරූ දකුණත් පිතිකරුවකු සහ කඩුලු රකින්නා ලෙසින් තම කණ්ඩායමට දායකත්වය දැක්වී ය.

සොහොයුරා පසුපස යන ගණකාධිකාරි නිවුන්නා - සෙනෙත් වින්විනු

එකම පාසල් ක්‍රිකට් කණ්ඩායමක නායක සහ උපනායක ලෙසින් කටයුතු කරමින් වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගත් නිවුන් සොයුරන් ලෙසින් පාසල් ක්‍රිකට් පිටියේ නව අද්විතීය වාර්තාවක් පිහිටුවමින් සෙනෙත් වින්විනු වීරක්කොඩි ද වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට සමත් විය. සෙනෙත් වින්විනු විද්‍යාලයීය වයස අවුරුදු 13 න් පහළ සිට සෑම වයස් කාණ්ඩයකම ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තම කණ්ඩායමට දායකත්වය දැක්වී ය.

අමාන් තාහා ද ගිණුමේ හරඹකරුවෙක්

2020/2021 තරග වාරයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලය නියෝජනය කළ අමාන් තාහා ද වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් ලබා ගත් ක්‍රීඩකයන් අතරට එක්විය. අමාන් තාහා තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ සිට 19 න් පහළ දක්වා සෑම කණ්ඩායමක්ම නියෝජනය කළේ ය.

වාණිජ්‍යයේ තවත් සටන්කරුවෙක් - ජී.ඩී. සහන්

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් විද්‍යාලයේ සෑම වයස් කාණ්ඩයකම ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ සහන් ගයන්ත 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම්හි උපනායකත්වය දැරීය. අවසන් වරට 2018/19 තරග වාරයේදී විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් පිල නියෝජනය කළ අතර, වාණිජ අංශයෙන් විශිෂ්ට සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගත්තේ ය.

ඉෂානි යද්දෙහි

 

 

Comments