සාඩ­ම්බර සංස්කෘ­තික නවෝ­ද­යක මතක සුවඳ | සිළුමිණ

සාඩ­ම්බර සංස්කෘ­තික නවෝ­ද­යක මතක සුවඳ

විවිධ ධාරා ඔස්සේ විකාසනය වූ නූතන ශාස්ත්‍ර පුනරුද ව්‍යාපාරයේ කුසුම සමය එකුන්විසි සියවසේ මධ්‍ය භාගයේ අධ්‍යාපන, ශාස්ත්‍රීයල සාහිත්‍ය කලා ආදි ක්ෂේත්‍ර රැසක විද්‍යමාන විය. අභිනව සාහිත්‍ය කලා නිර්මාණ බිහිවීම, ඉතිහාසය, පුරාවිද්‍යාව හා භාෂාධ්‍යයනය ආදි ක්ෂේත්‍රවල නව ගවේෂණ සහ ශාස්ත්‍රීය පර්යේෂණ සිදුවීම, ඉහළ ප්‍රමිතියෙන් යුත් ග්‍රන්ථ සහ වාර ප්‍රකාශන පළ වීම, විශ්වසම්භාව්‍ය සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ප්‍රකාශන සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය වීම ආදි විවිධ මුහුණුවරින් මේ පුනරුද ව්‍යාපාරයේ සාධනීය ප්‍රතිඵල සමාජයට ගලා ගියේය. 1845 දී යටත් විජිත නිලධරයන් හා විද්වතුන් ද දේශීය ප්‍රභූන් හා උගතුන් ද සම්බන්ධ වෙමින් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ඇරඹීමත් එහි මූලිකත්වයෙන් ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදි ආයතන ඇරඹීම හා සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීම සිදු වූ අතර ඒවාහි දීර්ඝීකරණයක් වශයෙන් සිංහල විශ්වකෝෂය ආරම්භ කිරීම, කලා මණ්ඩලය පිහිටුවීම ආදිය මේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථාන කිහිපයකි. මේ බොහෝ කටයුතු දීර්ඝ කාලයක සිට සිදු වුවද 1956 වර්ෂයේ එක් වරටම කලඑළි දුටු බවක් දුටු ඇතැම්හු දීර්ඝ අතීතයක සිට ගලා ආ සංස්කෘතික ප්‍රවාහය දේශපාලන ප්‍රාතිහාර්යයකට ඌණනය කළහ.

ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ ඇරඹෙන්නේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ පුරෝගාමිත්වයෙන් බව මේ තීරුවෙන් මීට පෙර විමර්ශිතය. 1890 වර්ෂයේ පුරාවිද්‍යා ගවේෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේතුව ස්ථාපනය කෙරිණ. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥයා වන එච්. සී. පී. බෙල් විසින් කෑගලු දිස්ත්‍රික්කයේ ඉතිහාසය පුරාවිද්‍යාව ජනශ්‍රැති යන ක්ෂේත්‍ර පාදක කොට රචිත 1892 වර්ෂයට අදාළ සැසි වාර්තාව 1894 වර්ෂයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර එය දුර්ලභ ශාස්ත්‍රීය පරිශ්‍රමයක් ලෙස වර්තමානයේ පවා සම්භාවනාවට පාත්‍ර වන්නකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේෂණ, අභිලේඛන ඇතුළු අංශ කිහිපයක් යටතේ ස්වකීය කටයුතු ආරම්භ කළ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොයා ගන්නා ලද අභිලේඛන ප්‍රකාශයට පත් කිරීම සඳහා Epigraphia Zeylanica යන නමින් අන්තර්ජාතික ප්‍රමිතියක් සහිත ශාස්ත්‍රීය ප්‍රකාශනයක් 1905 වර්ෂයේදී පළ කළේය. භාෂා පරිණාමය සහ අභිලේඛන පිළිබඳ පර්යේෂණ පවත්වන ලොව පුරා සිටින විද්වතුන්ගේ ගෞරවයට පාත්‍ර වූවකි මේ ප්‍රකාශනය එහි සංස්කාරකත්වය ඉසිලූ දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ පඬිවරයා මේ බැරෑරුම් ශාස්ත්‍රීය පරිශ්‍රමයට උර දුන්නේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විශ්වවිද්‍යාලය දෙකක ආචාර්වරයකු ලෙස සේවය කරමින් සිටින අතරේය. පසුව වික්‍රමසිංහ පඬිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස මේ ප්‍රකාශනය සංස්කරණය පැවරුණේ සෙනරත් පරණවිතානයන්ටය. 1953 වර්ෂයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ලංකා පුරාවිද්‍යා ගවේෂණයේ සවන වෙළුම වන The Shrine of Upulvan at Devundara නමැති කෘතිය 1953 වර්ෂයයේද වෙළුම් දෙකකින් සමන්විත සටසරස Sigiri Graffiti නමැති ග්‍රන්ථය 1956 වර්ෂයේද Inscriptions of Ceylon නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම 1970 වර්ෂයේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කෙරුණු අතර මේ ප්‍රකාශන ජගත් ශාස්ත්‍ර පරිමණ්ඩලවල සම්භාවනාවට පාත්‍ර වියග

රාජකීය ආසියාතික සංගමයේ පූර්වගාමිත්වයෙන් ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා පෞද්ගලික මට්ටමෙන් විශේෂ උනන්දුවක් දරා 1877 ජනවාරි මස 01 වෙනි දින ආරම්භ කළ කොළඹ කෞතුකාගාරය මඟින් ජගත් ප්‍රමිතියෙන් යුත් ශාස්ත්‍රීය ප්‍රකාශනයක් 1903 වර්ෂයේ සිට Spolia Zeylanica නමින් ආරම්භ කරන ලදී. දිවයිනේ සත්ත්ව හා ශාක විශේෂ, පාෂාණ, පොසිල, ජීවන ව්‍යවහාර, කෞතුක වස්තු ආදිය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි මාලාවකින් සමන්විත මේ ප්‍රකාශනයේ පළමු වෙළුම කෞතුකාගාර අධ්‍යක්ෂ ආතර් විලීගේ සංස්කාරකත්වයෙන් 1904 වර්ෂයේ ප්‍රකාශයට පත් කෙරිණ. එතැන් සිට දීර්ඝ කාලයක් මේ ශාස්ත්‍රීය ප්‍රකාශන සාරගර්භ පර්යේෂණ ලේඛන සංහිතාවක් ලෙස ප්‍රකාශයට පත් විය. Spolia Zeylanica ප්‍රකාශනයට අමතරව Memoirs of the

Colombo Museum, Series A, No. 4 යටතේ ඩබ්ලිව්. ආතර් ද සිල්වා විසින් Catalogue of Palm Leaf Manuscripts in the Library of the Colombo Museum පළමු වෙළුම 1938 වර්ෂයේද හියු නෙවිල්ගේ කවි එකතුව පිළිබඳ වෙළුම් තුනකින් යුත් කෘතිය Ceylon National Museum Manuscript series Vol. IV යටතේ Sinhal Verse (Kavi) යනුවෙන් 1954 වර්ෂයේද පළ කෙරුණු අතර එබඳු තවත් වැදගත් ප්‍රකාශන කිහිපයක් කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් වරින් වර ප්‍රකාශයට පත් කෙරිණ.

1903 වර්ෂයේ ලංකාවේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත්වූ ආනන්ද කුමාරස්වාමි ඛනිජ ගවේෂණය සඳහා දිවයින පුරා සංචාරය කළ අවස්ථාවලදී දුටු පෞරාණික ගෘහනිර්මාණ සහ කලා ශිල්ප පිළිබඳ බටහිර ලෝකයට හඳුන්වා දීමේ අරමුණෙන් Mediaeval Sinhalese Art නමින් ග්‍රන්ථයක් 1908 වර්ෂයේ එංගලන්තයේදී ප්‍රකාශයට පත් කළේය. ඒ වන විට අපරදිග කලා විචාරකයන්ගේ අවධානයට ලක් නොවූ ලාංකේය කලාවේ වැදගත් අංශ කිහිපයක් ප්‍රථම වරට බාහිර ලෝකයට අනාවරණය කෙරුණු මේ කෘතිය 1962දී සිංහල පාඨකයා අතට පත් කෙරුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟිනි. රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂකවරයකු ලෙස සේවය කළ ආර්. එල්. බ්‍රෝහියර් විසින් 1933 වර්ෂයේ රචිත Ancient Irrigation Works in Ceylon නමැති කෘතිය 1934 වර්ෂයේ ලක්දිව පුරාතන වාරිමාර්ග යනුවෙන් සිංහලයට පරිවර්තිතව ලංකාණ්ඩුවේ ප්‍රකාශනයක් ලෙස පළ කෙරිණ. මේ කෘතියෙන් ලංකාවේ පුරාතන වාරිමාර්ග හා සම්බන්ධ තාක්ෂණය ඉතිහාසය ජනප්‍රවාද හා පුරාණ ජන සම්ප්‍රදාය, සමාජ දේශපාලන කරුණු ආදිය විමර්ශනය කෙරේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවද සිංහල හා දෙමළ භාෂාවලින් නව දැනුම හා උසස් අධ්‍යාපනයට අවශ්‍ය පොතපත ව්‍යාප්ත කිරීමට දායක වූයේය.

රාජකීය ආසියාතික සංගමය මඟින් 1923 වර්ෂයේ ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් අරඹන ලද සිංහල ශබ්දකෝෂ ව්‍යාපෘතිය ලාංකේය ශාස්ත්‍රීය ප්‍රගමනයේ වැදගත් සන්ධිස්ථානයකි. සිංහල ශබ්දකෝෂ ව්‍යාපෘතිය පසුව 1941 වර්ෂයේදී යුනිවර්සිටි කොලීජියටද පසුව ලංකා විශ්වවිද්‍යාලයටද පැවරී 1972 වර්ෂයේ සිට සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් විය. ශබ්දකෝෂ ව්‍යාපෘතිය මෙන්ම සිංහල විශ්වකෝෂයක් ආරම්භ කිරීමද මෑත කාලයේ සිදුවූ සංස්කෘතික පුනර්ජීවනයේ වැදගත් පියවරකි. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලංකාණ්ඩුව විසින් ලංකා බෞද්ධ මණ්ඩලය ස්ථාපිත කරන ලදී. මේ මණ්ඩලය විසින් සිංහල විශ්වකෝෂ කාරක සභාව නමින් විශේෂ කාරක සභාවක් පත් කරන ලද අතර කාරක සභාවේ සභාපති ධුරයට හා විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියට මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා පත් කෙරිණි. 1955දී සිංහල විශ්වකෝෂ කාර්යාලය කොළඹ රොස්මීඩ් පෙදෙසේහි පිහිටුවුණු අතර 1956 ජනවාරියේදී විශ්වකෝෂ කාර්යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ගොඩනැගිල්ලකට ගෙන යන ලදි. සිංහල විශ්වකෝෂයෙහි පළමුවැනි කාණ්ඩයෙහි සිට සත්වැනි කාණ්ඩය තෙක් මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි විසින් සංස්කරණය කෙරිණ.

1948 වර්ෂයේ නිදහස ලැබගත් පසු ආර්ථික සංවර්ධනය මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධනයද සමාන්තරව සිදුවිය යුතු බව පිළිගැනුණු හෙයින් 1952දී පාර්ලිමේන්තු පනතක් මඟින් ලංකා කලා මණ්ඩලය ස්ථාපිත කෙරිණ. කලා මණ්ඩලයෙහි අරමුණු අතර සියුම් කලා පිළිබඳ වැඩි දැනුමක් හා පරිචයක් ඇති කිරීම. පොදු ජනතාවට වැඩියෙන් කලා කෘති ලබා ගැනීමට කටයුතු සැලසීම, ලලිත කලා නිෂ්පාදන තත්ත්වය උසස් කිරීම, ලංකාවට ආවේණික වූ කලා ශිල්ප ආරක්ෂා කිරීමට දියුණු කිරීමට සහ සංවර්ධනයට රුකුල් දීම ආදිය ප්‍රමුඛත්වයෙහි ලා සැලකි.

1956 වර්ෂයේ අප්‍රියෙල් මස 12 වැනි දින සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ස්ථාපනය කෙරුණු පසු මෙහි දැක්වුණු බොහෝ විෂයයන් එ් අමාත්‍යාංශය සහ ඒ යටතේ ස්ථාපනය කෙරුණු සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව යටතට පත් කෙරිණ. 1957 වර්ෂයේ සිට වාර්ෂික සාහිත්‍ය උත්සවය පැවැත්වීම. සාහිත්‍යය නමින් ත්‍රෛමාසික සඟරාවක් ආරම්භ කිරීම සාහිත්‍ය උත්සව තේමාවට අදාළව සාහිත්‍යය සඟරාවේ විශේෂ කලාපයක් නිකුත් කිරීම 1970 වර්ෂය වන තෙක් විධිමත් ලෙස අඛණ්ඩව කර ගෙනයනු ලැබිණ. එකල සාහිත්‍යය යනු වර්තමානයේ පළ වන දැවැන්ත කිරුම් බරකින් යුතු සඟරාවක් නො ව ප්‍රමාණයෙන් කුඩා වුවද ගුණයෙන් අතිමහත් ශාස්ත්‍ර සංග්‍රහයක් විය.

සංස්කෘතික අමාත්‍යාංශය මඟින් මුල් අවධියේ ලංකාවේ සිටි විශිෂ්ට උගතුන්ගේ සාරගර්භ කෘති ඉංග්‍රීසි සහ සිංහල භාෂා මාධ්‍ය දෙකෙන්ම පළ කිරීම විශේෂත්වයකි. ආනන්ද කුමාරස්වාමිගේ මධ්‍යකාලීන සිංහල කලාල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ Sihalese Folk Play හා සිංහල ගැමි නාටකය මහාචාර්ය හේම එල්ලාවලගේ Social History of Early Ceylon, පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, මහාචාර්ය අමරදාස ලියනගමගේගේ The Decline of

Polonnaruwa and the Rise of Dambadeniya, පරණවිතාන ගොඩකුඹුර දෙපළගේ සංස්කාරකත්වයෙන් ජානකීහරණයේ ඉංග්‍රිරිසි හා සිංහල පරිවර්තන.

ශ්‍රී චාල්ස් සිල්වාණන්ගේ තිරුක්කුරල් සිංහල පරිවර්තනය ආදි සම්භාව්‍ය කෘති මාලාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් සංස්කෘතික අමාතාංශය මඟින් ඉටු කරන ලද මෙහෙය අනුස්මරණීය ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

Comments