කලාව කියන්නෙ දැනගෙන යන්න ඕන ගමනක් | සිළුමිණ

කලාව කියන්නෙ දැනගෙන යන්න ඕන ගමනක්

 

වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට රංගනයේ තම අඩිතාලම හදා ගන්න හොඳම තෝතැන්නක්. වේදිකාවෙන් කලඑළි බැහැපු බොහෝ දක්ෂයෝ පුංචි තිරයේ හා සිනමාවේ තම හැකියාව ප්‍රසාරණය කරගනිමින් සිටිනවා. චන්දිමා කරුණාදාස කියන්නෙත් වේදිකාවෙන් මුල් පියවර තබා රංගනයට එකතු වුණ එවැනි ශිල්පිනියක්. මේ වන විටත් පුංචි තිරයේද තම රංග ප්‍රතිභාව පෙන්නුම් කරමින් සිටින චන්දිමා මේ දිනවල ප්‍රේක්ෂකයන්ට හමු වෙන්නේ ‘ඩාලිං අක්කා‘ විදිහටයි.

 

චන්දිමා, මේ දවස්වල බොහෝ දෙනකුට ළෙංගතු 'ඩාලිං අක්කා' විදිහට ?

සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරන ‘පාර දිගේ‘ නාට්‍යයේ ‘ඩාලිං අක්ක‘ට මේ දවස්වල ප්‍රතිචාර හොඳයි.

 

ඔබේ රංගන ගමනටත් මේ චරිතය විවිධත්වයක් ගේන්න ඇති ?

මම මෙතෙක් කළ චරිතවලට වඩා මෙය වෙනස්ම චරිතයක්. ටෙලි නිර්මාණ ගොඩක නොහිටියත් හිටපු නිර්මාණ කිහිපයේ වුණත් මට එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබුණා. ඩාලිං අක්කා කියන්නෙත් වෙරළබඩ පරිසරයක ජීවත් වෙන කෙනෙක්. එවැනි චරිතයක් මට හුරු නැතත් ඒ පරිසරයට ආවේණික කතා විලාසය, අඳින පලඳින විදිහ , හැසිරීම වැනි කාරණා අධ්‍යයනය කරලයි මම ඒ චරිතයට එකතු වුණේ.

 

ලැබුණු සීමිත නිර්මාණවල පවා එකිනෙකට වෙනස් චරිත ලැබුණේ නිර්මාණකරුවන් ඔබේ හැකියාව තේරුම් ගත් නිසාද?

එකම චරිතවලට කොටු වෙන්න මම කැමැති නැහැ. එවැනි චරිතවලට ආරාධනා ලැබුණත් මම බාර ගත්තේ නැහැ. අධ්‍යක්ෂවරු මගේ නිර්මාණ බලලා වෙනස් චරිත කරන්න අවස්ථා ලබා දුන්නා. චරිතාංග නිළියක් ලෙස නිර්මාණවලට දායකත්වය ලබා දෙන්න මම කැමැතියි.

 

එවැනි ප්‍රතිපත්තියක් ඇතුව රංගනයේ නියැළෙන්නේ ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක් නොවෙන නිසා ද?

වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්න මම පෞද්ගලිකව කැමැති නැහැ. වෘත්තීමය රංගන ශිල්පිනියක් වුණා නම් මට තේරීමක් නොකර එන වැඩ බාර ගන්න වෙනවා ආර්ථිකය ගැන හිතලා. නමුත් මම වෙනත් වෘත්තියක නියැළෙන ගමන් රංගනයට සම්බන්ධ වෙන විට සීමිත නිර්මාණ ප්‍රමාණයක වුණත් චරිතාංග බව රැකගනිමින් වැඩ කරන්න පුළුවන්.

 

නිතර පෙනෙන නිළියක් වෙන්න

ඔබට අවශ්‍ය නැද්ද?

නිතර පෙනෙනවට වඩා ප්‍රේක්ෂක මතකයේ රැඳෙන එක නිර්මාණයක් කළත් ඇති. බාර ගන්න නිර්මාණයේ චරිතය හරියට පෝෂණය කරන්නයි මට අවශ්‍ය. මම මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්.

 

වේදිකාවෙන් ලැබූ පන්නරය ඔබේ රංගන දිවියට කොතරම් ප්‍රයෝජනවත් වුණාද ?

වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන්නේ එකිනෙකට වෙනස් මාධ්‍යය තුනක්. වේදිකාවෙන් රංගනයට එක් වූ කෙනෙක්ට අනෙක් මාධ්‍යවල හැසිරීම අපහසු නැහැ. වේදිකාවේ කියන්නේ බොහෝ වෙහෙසක් ගත යුතු තැනක්. ඒ අත්දැකීම් හා ආභාසය ඩිජිටල් මාධ්‍යයක වැඩ කරද්දි බොහෝ ප්‍රයෝජනවත්. ප්‍රේක්ෂකයන් ඉදිරියේ කරන සජීවී රංගනයයි කැමරාව ඉදිරියේ රංගනයයි වෙනස් නිසා මුල් කාලීනව සුළු ගැටලු මතු වුණත් ඒ පුහුණුව ලැබුණට පස්සේ ගැටලුවක් නැහැ.

 

බොහෝ දෙනාට ජනප්‍රිය මාධ්‍යයට මුහුවීමත් සමඟ වේදිකාව මඟහැරෙනවා ?

මොනම මාධ්‍යයක හිටියත් වේදිකාව එක්ක තියෙන ගනුදෙනුව නම් මම කවදාවත් අතහරින්නේ නැහැ. වේදිකාවෙන් ආපු කෙනෙක් කවදාවත් හිතාමතා එහෙම ලේසියෙන් වේදිකාව මඟහරින්නෙත් නැහැ. නමුත් වේදිකාවේදි අපට තිබෙන වගකීම් සම්බාරයත් එක්ක එදිනෙදා ජීවිතයේ අනෙකුත් වැඩකටයුතු සමබර කරගන්න වෙනවා.

 

මේ ක්ෂේත්‍රයේ වෘත්තීමය ගරුත්වය ගැන විවිධ අදහස් තිබෙනවා. ඔබ ඒ ගැන දරන්නේ කොහොම අදහසක්ද?

ඒ පිළිබඳ එකිනෙකාට තිබෙන උත්තර සාපේක්ෂ වෙන්න පුළුවන්.මම නම් හිතන්නේ තමන් මොනම ක්ෂේත්‍රයක හෝ තමන්ගේ ගරුත්වය තියා ගෙන වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලාව කියන්නෙ හරියට දැනගෙන යන්න ඕන ගමනක්.

ඔබට ඒ අවබෝධය තිබෙන බව විශ්වාස ද ?

ඕනෑම තැනකදි අපි හැසිරෙන විදිහ සහා අනෙකා සමඟ ගනුදෙනු කරන විදිහ වැදගත්. කිසිම වෙලාවක රංගන ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවා ගැනීම සුදුසු නැහැ.

 

දක්ෂතා තිබුණත් නවකයන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න මේ ක්ෂේත්‍රයේ ලැබෙන අවස්ථා අල්පයි නේද?

කලා දක්ෂතා තිබෙන බොහෝ නවක ශිල්පීන් ශිල්පිනියන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන්ට යම් යම් අවස්ථා හැදෙනවා වගේම ගැටලුකාරී අවස්ථාත් මතු වෙනවා. සමහර අධ්‍යක්ෂවරු කොහේ හිටියත් දක්ෂයන් හොයා ගනිද්දී සමහරු සුපුරුදු විදිහට දකින අයම නිර්මාණවලට එකතු කරගන්වා. එවැනි සැබෑ දක්ෂයන් මතු කරගන්න නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි.

 

මෙරට රංගන ශිල්පිනියකට විවාහයෙන් පසු පනවා ගත් හෝ පැනවුණු සීමා තිබෙනවා නේද ?

මට එවැනි සීමා නැහැ. මගේ සැමියා තරිදු ගංගනාත්. ඔහු නාට්‍ය හා රංගකලාව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි දෙකම හැදෑරූ කෙනෙක්. ඔහුට මේ පිළිබඳ තිබෙන අවබෝධය නිසාම මං ගැන විශ්වාසයක් වගේම මට අවශ්‍ය නිදහස ලබා දෙනවා. ඒ ලැබෙන සහාය මට මේ ගමන යන්න මානසික නිදහසක්.

 

සම්මාන පිළිබඳ ඔබේ දරන්නේ කොයිවගේ ආකල්පයක් ද ?

 

2018 යොවුන් සිනමා සම්මාන උලෙළේ දී හා Waves Interrupted Agenda 14 කෙටි චිත්‍රපට උලෙළේ දී හොඳම නිළියට හා හොඳ ම රංගනය වෙනුවෙන් මට සම්මානය හිමි වුණා. රාජ්‍ය නාට්‍ය උලෙළ සහ 25 වන සුමති සම්මාන උලෙළේ දී හොඳම සහාය නිළිය, වසරේ නැඟී එන නිළිය යන සම්මාන සඳහා නිර්දේශ වුණා. නමුත් මම සම්මාන පසුපස හඹායන කෙනෙක් නෙමෙයි. කරන දේ ගැන පෞද්ගලිකව මට සතුටක් තිබෙන්න ඕනේ. එවැනි සතුටක් ලබමින් කැපවීමෙන් රංගනයේ යෙදෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලබන ප්‍රතිචාර ගොඩක් වටිනවා.

 

ඡායාරූපය - එලිගන්ට් ස්ටුඩියෝ

Comments