කිඹුලා දමනය කර ජීවිතයක් බේරාගත් සංඝ පීතෘවරයෙක් | සිළුමිණ

කිඹුලා දමනය කර ජීවිතයක් බේරාගත් සංඝ පීතෘවරයෙක්

පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ අනතුරට පත් විජේ­රත්න මහතා

“ක්ෂණිකව ගත යුතු තීරණයක් ඇත්නම් එය වහා ගත යුතුයි. එසේ නොකර කල්පනා කර කර හිටියා නම් මට ඒ උපාසක මහත්තයාගේ ජීවිතය බේරා ගන්නට බෑ. කිඹුලා විජේරත්න මාමාගෙන් අල්ලලා විනාඩි පහක් ඇතුළත සියල්ල අවසන් වුණේ ක්ෂණික තීරණය නිසා“ යැයි පැල්ලන්දෙනියේ පියනන්ද හිමියෝ තමා මූණදුන් අභියෝගය ගැන කියා සිටියහ.

ඉකුත් 6 වැනිදා උදේ කහටගස්දිගිලිය දියමයිලගස්වැව වැවේ දිය නාමින් සිටියදී කිඹුලකුට හසුවූ පුද්ගලයකු බේරා ගත් පියනන්ද හිමියෝ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබති. උන්වහන්සේ එදින උදෑසන පන්සල් භූමියේ මිදුල් පවිත්‍ර කිරීම් ආදි වතාවත් රැසක් ඉටුකර උෂ්ණය, වෙහෙස හා දහඩිය සමනය කර ගැනීම සඳහා වැවෙන් දිය නෑමට ගොස් තිබේ.

උන්වහන්සේ දිය නා ගොඩවන විට දියට බැස සිටි ජේ.එච්. විජේරත්න (65) නම් ගම්වැසියා වෙත කිඹුලා පැන අල්ලගෙන තිබේ. ඒ මොහොතේ මරහඬදී විජේරත්න කෑගසද්දී පියනන්ද හිමියන් ඒ සැණින්ම කිඹුලා මතට පැන තිබේ. ඒ බිහිසුණු අවස්ථාව උන්වහන්සේ විස්තර කළේ “මට ඒ වෙලාවේ දෙවරක් හිත හිතා ඉන්න බෑ. ඒ මනුස්සයාගේ ජීවිතය බේරාගන්නවා මිස, මට අනතුරක්වෙයිද, මගේ ජීවිතය විනාශවෙයිද මොකුත් හිතුණේ නෑ. ඒ වාගේම මට සැලසුම් කරන්න හිත හිතා ඉන්න දෙයක් තිබුණේ නෑ. ඒත් මගේ දැනුම තුළ තිබුණා ඕනෑම ශක්තිවන්ත කෙනෙක්ගේ ශරීරයේ දුර්වලම තැනක් තිබෙන බව. ඒ වගේම රූපවාහිනි ඩිස්කවරි නාළිකාවේ පෙන්වා තිබුණා, ජගුවරයා කිඹුලා උඩට පැනලා බය කරගන්න හැටි. ඒ පූර්ව දැනුම නිසාදෝ මට එහෙම හිතක් පහළ වුණේ කියා හිතෙනවා.

ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තිබෙනවා, මම පන්සලේ ඇති කරන බල්ලන්, පූසන් ඇතුළු සියලු සතුන්ට මෛත්‍රියෙන් කන්න බොන්න දෙනවා. මෛත්‍රිය කියන දේ මම හදවතේ පුරවාගෙන ඉන්නේ. මෙතැනදීත් මට කිඹුලා ගැන ද්වේශයක් තිබුණේ නෑ. ඒ පුද්ගලයා බේරාගන්නවා කියන අරමුණ විතරයි පහළ වුණේ.

ඒ වෙලාවේ මම කිඹුලාගේ ඇඟට පැන්නාම ඌ බය වුණා. මම ඌව බදාගෙන උගේ බෙල්ලෙන්, අත්වලින් අල්ලා ගත්තාම කිඹුලා බයවෙලා අතහැරියා.

අඩුම ගානේ මට ඒ මාමා දායකයෙක්ද නාඳුනන කෙනෙක්ද කියා දෙයක්වත් කල්පනා වුණේ නෑ.

මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීම කියන අදහස පමණයි තිබ්බේ. ඒ නිසා මම මගේ පින්තූර සමාජ මාධ්‍ය ජාලාවලවත් දාන්න එපා කීවේ.

මට සමාජයට දෙන්න තියන පණිවිඩේ තමා අපි මොකක් හෝ ධර්මතාවක්, ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ඒක සත්‍යක්‍රියාවක් ලෙස අපේ බලයක් බවට පත්වෙනවා කියන දේ. මට අද ලොකු සතුටක් තිබෙනවා. ජීවිතයක් බේරාගත් නිසා. ඒ නිසා මම තව තවත් සතුන්ට මෛත්‍රිය කරනවා.“යි හිමියෝ පැවසූහ.

තුවාල ලැබූ විජේරත්න මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

යාන්ඔය ආශ්‍රිතව කිඹුලන් ගැවසෙන අතර ඉඳහිට එම ප්‍රදේශයේ වැව් බලා එම සතුන් ගමන් කරන බව ප්‍රදේශවාසීහු කියති.

එහෙත් මෑත කාලයේ මෙවැනි අනතුරක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම කිඹුලා විජේරත්න හපා කෑමට පැන ඇත්තේ හාමුදුරුවන් වහන්සේ ගොඩවීමත් සමඟ එම පුද්ගලයා තනිවූ පසුය. එහෙයින් මිනීකන හා උපක්‍රමශීලී කිඹුලන් යාන්ඔය පරිසරයේ ඇති බව ජනතාව විශ්වාස කරති.

Comments