දැවිතෙල් ගැටලුවෙන් දැවෙන සපුගස්කන්දේ මිනිස්සු | සිළුමිණ

දැවිතෙල් ගැටලුවෙන් දැවෙන සපුගස්කන්දේ මිනිස්සු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් මිශ්‍රිත ජලය පිරිසිදු කිරීමට භාවිත කරන බිම් මට්ටමේ පිහිටි පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් යටවීමත් සමඟ එහි අඩංගු දැවිතෙල් අවට පරිසරයට එකතු වූ පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ගංවතුරට එකතු වූ මෙම තෙල් මිශ්‍රිත ජලය පිටාර ගැලීම හේතුවෙන් මාබිම උතුර - දකුණ - බටහිර, වලහේන, පට්ටිවිල, හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි දුෂ්කරතා පැන නැඟිණි.

මෙම දැවිතෙල් ප්‍රදේශවාසින්ගේ ළිං ජලයට එකතු වීමෙන් ඔවුන් මුහුණ දුන් අසීරුතාව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ගංවතුරෙන් පීඩාවට පත් වී සිටින මෙම ප්‍රදේශවාසින්ගේ ළිං ජලයට දැවිතෙල් මුසුවීමෙන්, ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට මුහුණදීමට ඔවුන්ට සිදුවී තිබේ. ළිං ජලයට දැවිතෙල් මිශ්‍ර වීමෙන් ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව අසරණ වූ නිවාස ගණන 60කට වැඩිය. ගම්වාසීන් පැවසුවේ මේ සා උග්‍ර තත්ත්වයෙන් නොවුණත් මීට පෙර අවස්ථා කිහිපයකදීම තෙල් කාන්දුවීම් නිසා ඔවුන් පීඩාවන්ට මුහුණ දී ඇති බවයි.

“බිම් මට්ටමේ තිබෙන පවිත්‍රාගාර පද්ධතියේ ඇති දැවිතෙල් පිටාර යෑමට පටන් ගත්තේ ජුනි 03 වැනිදා රාත්‍රියේ. අපි 04 වැනිදා උදේම ක්‍රියාත්මක වෙලා දැවිතෙල් එකතු කරන්න පටන් ගත්තා. අපි ඉස්සෙල්ලාම කළේ තෙල් ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කිරීම.

මොකද පට්ටිවිල ප්‍රදේශයේ පිහිටි ජල පොම්පාගාරය දක්වා පැතිරුණොත් ජලාපවහන මණ්ඩලයෙන් බෙදා හරින ජල සැපයුම අත්හිටුවිමට සිදුවෙන නිසා. අපිට මේ වැඩේ තනියම කරන්න කාලය යන නිසා නාවික හමුදාවේත් වෙරළ ආරක්ෂක බළකායෙත් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේත් සහය ලබා ගත්තා. 

හැමෝම එකතු වෙලා දැවිතෙල් ව්‍යාප්තිය පාලනය කරලා දැවිතෙල් එකතු කරන්න පටන් ගත්තා. මේ වන විට 90%ක් විතර එකතු කර අවසන්. මේ සතිය අවසාන වන විට ඉතිරි ටිකත් එකතු කර අවසාන කරන්න පුළුවන් වේවි.“ යනුවෙන් පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ය.

ඊට අමතරව ළිං ජලයට දැවිතෙල් මුසුවීම නිසා පීඩාවට පත් ප්‍රදේශවාසින්ට ජල බෝතල් බෙදා හැරීමටත් වතුර ටැංකි සවි කිරීමටත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබිණි.

පට්ටිවිල පිහිටි ජල පොම්පාගාරයට තෙල් මිශ්‍ර නොවීම නිසා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අඛණ්ඩවම ජල සැපයුම ලබා දීමෙන් ප්‍රදේශවාසින්ට සහනයක් සැලසිණි. එහෙත් සිය නිවසේ පිහිටි ළිංවලට දැවිතෙල් මිශ්‍ර වීමෙන් සිදු වූ හානිය එයින් පිරිමසා ගත නොහැකිය. “ඛනිජ තෙල් සංස්ථාවෙන් වතුර, වියළි ආහාර ද්‍රව්‍ය අපිට බෙදා දුන්නා. ඒත් අපිට උයාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

ගංවතුරත් එක්ක කළුතෙල් මිශ්‍ර වෙලා ගෙවල් ඇතුළට ගලාගෙන ආපු නිසා බිත්තිවල, ගෙදර බඩු මුට්ටුවල තාර ගාලා වගේ කළුම කළු පාටයි. සාමාන්‍යයෙන් ගංවතුර ආවාම අපේ බඩුමුට්ටු ජරා වෙනවා තමයි. ඒත් ඒවා හෝදලා ආපහු ගන්නවා.

ඒත් දැන් නම් බඩු හෝදලා ගන්න බැරි තරම්. අපේ ළිඳේ වතුර නහයට කිට්ටු කරන්න බැරි තරම් ගඳයි. අපේ ගෙවල් පල්ලෙහා වෙල් යායම කළු පාටයි. පාරවල් කළුම කළුයි. කළු තෙල් නිසා මේ පැත්තේ කුඹුරු, එළවළු කොරටු සේරම විනාශ වෙලා.“ යනුවෙන් මාබිම හෙයියන්තුඩුවේ පදිංචි ප්‍රභාත් මංජුල පැවසීය. “පසුගිය සතියේ ඇද හැළුණු අධික වර්ෂාව සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් මිශ්‍රිත පොම්පාගාරයක් වැසි ජලයෙන් යට වී පිටාර ගැලීමෙන් සිදු වූ ආපදාව නිසා ජනතාව කියනවා ඔවුන්ට ජලය ලබා ගන්න බැහැ කියලා. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් සපයන ජලයට කිසිම හානියක් වී නැති බව ඔවුන් පවසනවා. ඒත් ජනතාව බියෙන් ඉන්නේ. වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ මානසිකත්වයයි. ඒනිසා අපි ජලය සැපයීමට පියවර ගත්තා.

මෙතනදී පියවර 2ක් ගැනීමට අපිට සිදු වෙනවා. පළමුවැනි පියවර වෙන්නේ මෙය යළි ඇති නොවීමට වග බලා ගැනීම. දෙවැනි පියවර වන්නේ අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලබා දීම. ඒ සඳහා මේ වන විට කමිටු 2ක් පත් කර තිබෙනවා.“ යනුවෙන් අදහස් පළ කළේ බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල ය.

මේ පිළිබඳව සොයා බැලීමට පසුගිය 06 වැනිදා බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.

ඉන් අනතුරුව පසුගිය 08 වැනි දින තෙල් සංස්ථාවේ සභාපති, ප්‍රාදේශීය සභාවේ සභාපති, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ කාර්යාංශයේ සභාපතිනිය ඇතුළු නිලධාරින් කැඳවා අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය යළි ඇති නොවීමට ගත යුතු පියවර ගැන සාකච්ඡා කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර, මෙවැනි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අමාත්‍යවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලැබීය. මෙම කමිටුවේ සභාපතිත්වය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් උපුල් විජේසේකරට හිමි විය. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) නයනා ඊ. සේනාරත්න, සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි, නීතිඥ භූපති කහතුඩුව යන අයයි.

මීට අමතරව මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සඳහා කඩිනමින් වන්දි ලබාදීම සඳහා ද වන්දි කමිටුවක් පත් කර තිබේ. වන්දි කමිටුවේ සභාපතිත්වය දරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වයි.එ්.බී.එස්. ප්‍රියංකර වන අතර සපුගස්කන්ද පිරිපහදුවේ කළමනාකරු (සිවිල්) පී.එෆ්.ඩබ්ලිව්. දයානාත් සහ වරලත් තක්සේරුකරු තාරක වේරගොඩ සෙසු සාමාජිකයෝ වෙති. අදාළ කමිටු දෙක විසින් මේ සම්බන්ධයෙන් සකස් කරනු ලබන වාර්තා දින 14ක් ඇතුළත අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුය. එහෙත් දැවිතෙල් ජනතාවගේ ළිං ජලයට එකතු වීමට අමතරව ගංවතුර සමඟ නිවෙස් සහ බිම් ප්‍රදේශ කරා ව්‍යාප්තියෙන් ඇති වූ හානිය වන්දියකින් මිල කළ හැකිදැයි දෙවරක් සිතන්නට සිදු වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක පළ කළ අදහස් සමඟිනි.

“දැවිතෙල් කියන්නේ පාවිච්චි කරපු තෙල්. ඒවා පැට්‍රල්, ඩීසල් වගේ නෙමෙයි, ඝනත්වය වැඩියි. ඝනත්වය වැඩි වන විට පොළවේ, ගෙවල්වල බිත්ති මත, ළිඳේ බිත්ති මත ඇලිලා බැඳිලා තියෙනවා.

පොළවෙ තියෙන තෙල් සහ ජලයේ තියෙන තෙල් නම් ඒවායේ සිටින බැක්ටීරියා මඟින් වියෝජනය කෙරෙන නිසා ටික කාලයකින් නැති වෙනවා. ඒත් බිත්තිවල තදින් බැඳුණු තෙල් යන්නේ නැහැ.

අනික රූපවාහිනියෙන් පෙන්වන විට මම දැක්කා ඒ ප්‍රදේශවාසින් බෝතල්වලට එකතු කර ගත් ජලය තද කළු පාටයි. තද කළුපාට තෙල් කියන්නේ පාවිච්චි කරපු තෙල්. ඒවායේ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබෙනවා.

ඒවා පයට පෑගීමෙන් අසාත්මිකතා වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. වගා කරන අයට වුණත් ටික කාලයක් ගත වන තුරු වගා කරන්න බැරි වේවි. ළිඳේ වතුර හුඟ කාලයකට බොන්න බැරිවේවි.“ යනුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක විස්තර කළේ දීර්ඝ වශයෙනි. කෙසේ වුවද වන්දි ගෙවීමේ මූලික කටයුතු 09 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේය.

හෙයියන්තුඩුවේ පදිංචි ප්‍රභාත් මංජුල පැවසුවේ වන්දි ගෙවීමේ කටයුතු සඳහා නිලධාරීන් 9 වැනි බදාදා ගම් ප්‍රදේශයට පැමිණියත් නිවාස සැලසුම් අනුමත කර සිටීම, වෙල අද්දර නිවාස ඉදිකිරීම ගැන දහසකුත් ප්‍රශ්න විමසන බැවින් වන්දි මුදල ලබා ගැනීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.

Comments