සංචරණ සීමා ගැන ත්‍රිරෝද රථ රියදුරන් කියන කතා | සිළුමිණ

සංචරණ සීමා ගැන ත්‍රිරෝද රථ රියදුරන් කියන කතා

මලිත් ජයවර්ධන(25) පෑලියගොඩ

“ මම හයර් දිව්වෙ පෑලියගොඩ. ඉස්සර දවසකට රු. 7000 විතර හෙව්වා. දැන් රුපියලක්වත් හොයාගන්න බෑ; මේ සංචරණ සීමා නිසා. දැන් හයර් තියා තනියමවත් ත්‍රිවිල් එකේ යන්න බෑනෙ. ඉස්සර දවසට රු. 3000 ගානේ ඉතුරු කළා. ඒවා තමයි දැන් වියදම් කරන්නේ. ඉස්සර මම පෑලියගොඩින් එළවළු, පලතුරු අරන් කඩවලටත් දැම්මා හයර් දුවන ගමන්; දැන් කඩත් වහලා. ගිය පාර කොරෝනා කාලේ පෝට් සිටියේ දොඹකර ක්‍රියාකරු වශයෙනුත් වැඩ කළා. ත්‍රිවිල් එක රෑට දිව්වා. දැන්නම් මාර අමාරුවක තමයි වැටිලා තියෙන්නේ. තව කොච්චර කාලයක් මෙහෙම ජීවත් වෙන්නද මන්දා.“

එම්.එම්.එම්. ඩිල්ෂාඩ් (43) මාලිගාවත්ත

“ත්‍රිවිල් එකට හයර් නැති නිසා කන්න බොන්න විදිහක් නෑ. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලයිට්, වතුර බිල්, ත්‍රිවිල් එකට ෆිනෑන්ස් ගෙවන්න ඕනෑ. මාස ගාණක සල්ලි ගෙවන්න බැරිවුණා. ජීවත්වෙන්න විදිහක් නැති නිසා ත්‍රිවිල් එකේ මාළු ගෙනත් විකුණන්න දාගත්තා. ජංගම වෙළෙඳුන්ට අත්‍යවශ්‍ය සේවා යටතේ බිස්නස් කරන්න ජනාධිපතිතුමා ඉඩ දුන්නත් ඒ සඳහා අනුමැතිය අයත් ඒ වලංගු බලපත්‍රය ත්‍රිවිල් එක ඉස්සරහා අලවලා තිබ්බත් පොලිසියෙන් පාරවලින් යන්න දෙන්නේ නෑ. “

ගාමිණී පණ්ඩිතරත්න(59) ගාල්ල

“මගේ ගම ගාල්ලේ කොරෝනාවට කලින් නම් දවසකට රු. 3000 විතර හෙව්වා. කොරෝනා ආවත් හරි අපිට වැලේ වැල් නෑ. සංචරණ සීමා තදින්ම ක්‍රියාත්මකයි. පර්මිට් නැතුව යන්න බෑ. අල්ලනවා. හයර් දුවන්න බෑ. අනික ත්‍රිවිල් එකේ දෙන්නෙකුට වැඩිය යන්නත් බෑ. පවුලක් නඩත්තු කරන්නේ ගෙදරට සල්ලි දෙන්නේ කොහොමද? දිවිනසා ගන්න තමයි වෙලා තියෙන්නේ. ඇති හැකි අය හැමදෙයක්ම කරගන්නවා. නැතිබැරි අපට තමයි හැම ගැටලුවකටම මුහුණපාන්න වෙන්නේ.“

ආර්. නිමල් (47) කොටහේන

“කොරෝනාවට කලින් නම් ත්‍රිවිල් වලට හොඳට හයර් තිබුණා. දැන් එදා වේල හම්බකර ගන්නෙත් අමාරුවෙන්. දැන් ත්‍රිවිල් එකෙන් වෙළඳාමක් කරනවා. ඒත් පැට්ට්‍රල් වියදම ගිහාම ගෙදරට රු. 1500 ගෙනියන්නෙත් අමාරුවෙන්. ෆිනෑන්ස් ගැටලුව ලොකුම ප්‍රශ්නයක්. ගෙව්වෙ නැතුවාම වැල් පොලියක් දානවා. 2020 දි මගේ වාහනය ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියා. අපි වගේ දවසේ ආදායම හොයාගන්න අයට තමයි අර්බුද රාශියකට මුහුණපාන්න වෙලා තියෙන්නේ.“

එම්.එල්. මොහිදීන්(50) වැල්ලම්පිටිය

“මම ත්‍රිවිල් දුවන්නේ කුලියට. කොරෝනාවලට කලින් නම් දවසකට හයර් දුවලා තුන්හාර දහක් හෙව්වා. මට ළමයි 6 දෙනෙක් ඉන්නවා. කීයක්වත් ඉතුරු කරන්න බෑ. 8 දෙනෙක් නඩත්තු කරන්න ඕනේ. පෙට්ට්‍රල් ගහගෙන ත්‍රිවිල් එක දුවලා අයිතිකෙනාට දවසකට රු. 500 ක් දෙනවා. දැන් ජීවත් වෙන්නේ ණය වෙලා. සහන මලු මුකුත් ලැබුණේ නෑ. ඒ මදිවට ගංවතුරත් ආවා. දෙයියන්ටම තමයි බාර දෙන්න වෙන්නේ අපේ අනාගතය.“

ආර්.ඩී. ලක්ෂ්මන්(62) මරදාන

“ මම කලින් වැඩ කළේ යුද හමුදාවේ කෝප්‍රල් රැකියාව. විශ්‍රාම ගියාට පස්සේ 2001 සිට ත්‍රිවිල් රැකියාව කළා. ඒ කාලේ දවසකට රුපියල් හත් අටසීයක් ලාභ හෙව්වා. ෆිනෑන්ස් ගෙව්වා. ගෙදරට වියදම් ලැබුණා. වෙළඳාම් කටයුතු කරන්න පර්මිට් ගන්න වද විඳින්න වෙනවා. අපි දන්න කියන හැම ත්‍රිරෝද රථ රියදුරන්ම හරිම අමාරුවක තමයි වැටිලා තියෙන්නේ. සංචරණ සීමා නිසා අපේ ගමනකටවත් අපේ ත්‍රිවිල් එකේ යන්න බැරිවෙලා. හදිසියේ රෝගියෙක්ව රෝහලකට ගෙනිච්චත් ආපසු තනියම එද්දි ප්‍රශ්නයක් වෙනවා. මේ දුෂ්කරතා කොහොම වුණත් ෆිනෑන්ස් වාරික ගෙවන්න කියලා එම ආයතනවලින් අමතනවා. වාරික ගෙවන්න සහනයක් රජයෙන් ලබාදෙනවා කීවත් ආයතන තාමත් ඒවා ක්‍රියාත්මක කරලා නෑ. ඒ නිසා අඩුගානේ වාරික ගෙවීමටවත් සහනයක් ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.“

Comments