සෙරීනා නඩාල් හා ෆෙඩරර් නිහඬ කළ ප්‍රංශ ටෙනිස් මහා මංගල්‍යය | සිළුමිණ

සෙරීනා නඩාල් හා ෆෙඩරර් නිහඬ කළ ප්‍රංශ ටෙනිස් මහා මංගල්‍යය

 

තියුණු සටනකින් පසු පිරිමි කිරුළ නොවැක්ට කාන්තා කිරුළ බාබෝරාට

'ප්‍රංශය මහා සංස්කෘතියක සාඩම්බර හිමිකාරිත්වයක් දරන රාජ්‍යයකි. එරට සංවිධානය කෙරෙන ප්‍රංශ ටෙනිස් තරගාවලියට ද ඇත්තේ එවැනි ම ප්‍රෞඩ අභිමානනීය පිළිගැනීමකි. එහි සිදුවන විවිධ සංචලනයන් ලෝක ටෙනිස් පිටියට දැනෙන්නේ මහා භූමිකම්පා ලෙස ය. මේ මෙවර ප්‍රංශ ටෙනිස් පිටියේ සිදු වූ විපර්යාස කීපයක් සම්බන්ධව ය.'

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් මහා තරගය චෙකොස්ලෝවැකියාවේ බාබෝරා ක්‍රෙජකොවා සහ රුසියාවේ ඇනස්ටේෂියා පව්ලියුචෙන්කෝවා අතර පැවැතියේ ය. එහි දී තරග වට 2-1 ක් ලෙස ජය හිමි කර ගැනීමට සමත් වූයේ චෙකොස්ලෝවැකියාවේ බාබෝරා විසිනි.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගය පැවැතුණේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ග්‍රීසියේ ස්ටෙෆනොස් සිට්සිපාස් අතර ය. එහි දී 2021 ප්‍රංශ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට නොවාක් ජොකොවිච් 6-7 (6-8), 2-6, 6-3, 6-2, 6-4 ක් ලෙස සමත් විය. ඒ නොවැක් 19 වන වරට දිනාගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ද විය.

පිරිමි ටෙනිස් ක්‍රීඩාවේ නව හා වැඩිහිටි පරම්පරාවන් අතර සටනක දී, 34 හැවිරිදි ජොකොවිච් ට 22 හැවිරිදි සිට්සිපාස්ගෙන් සැබෑ තර්ජනයක් එල්ල වූ අතර එකී අවසන් තරගය පුළුල් කතාබහට ලක්විය.

කෙසේ වෙතත් ජොකොවිච් සැලකෙන්නේ මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයකු ලෙස ය. ඔහු ඒ බව සනාථ කරමින් සිටින අතර, මෙම ප්‍රංශ ශූරතාවේ ජයග්‍රහණයත් සමඟ ඔහු ලොව පැවැත්වෙන ප්‍රධාන ටෙනිස් තරගාවලි හතර අවම වශයෙන් දෙවරක්වත් ජයග්‍රහණය කළ තුන්වන පිරිමි ටෙනිස් ක්‍රීඩකයා සේ සැලකුම් ලබයි. එය මීට පෙර රොඩ් ලාවර් සහ රෝයි එමර්සන් විසින් ප්‍රකට කර තිබේ . එහි ඇති අනිත් සුවිශේෂත්වය වනුයේ ජොකොවිච්ගේ ප්‍රබල ම ප්‍රතිවාදීන් ලෙස අවිවාදිත රොජර් ෆෙඩරර් සහ රෆායෙල් නඩාල් විසින් කිසි විටෙකත් අත් කර නොගත් ජයග්‍රහණයක් වීම ය. ජොකොවිච් 2016 දී සිය පළමු ප්‍රංශ විවෘත කුසලාන ජයග්‍රහණය ලබා ගත්තේ ඇන්ඩි මරේ පරාජය කරමිනි.

අවසන් පූර්ව තරගයේ දී නොවැක්, රෆායල් නඩාල්ව තරග වට 3-2 ක් ලෙස පරාජය කළ අතර, ස්ටෙෆනෝස් සිය අවසන් පූර්ව තරගයේ දී, ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජය කළේ තරග වට 5-3 ක් වශයෙනි.

මේ අතර කාන්තා විම්බල්ඩන් තරගාවලියේ දී 25 හැවිරිදි බා‌බෝරා ක්‍රෙජකොවා අවසන් පූර්ව තරගය ජය ගත්තේ මාරියා සක්කාර් පරාජය කරමිනි. රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේෂියා අවසන් පූර්ව තරගයේ දී ටමාරා සිඩැන්සෙක් පරාජය කළ අතර එම ජයග්‍රහණය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා ය.

වසර 2011 ට පසු ප්‍රංශ විවෘත ටෙනිස් තරග බිමේ අර්ධ අවසන් වටයට එක් වූ රුසියාවේ ඇනස්ටේෂියා පවුලියුචෙන්කෝවා ලකුණු 6-7 ක්, 6-2 ක් සහ 9-7 ක් ලෙස රුසියාවෙහි ම එලීනා රයිබකීනා පරාජය කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය.

මේ අතර සුවිශේෂී ම කාරණය වූයේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට අනපේක්ෂිත පරාජයක් උරුම කර දෙමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි එලීනා පරාජය කළේ සෙරීනාගේ යුගල තරග සහය ක්‍රීඩිකාව වූ ඇනස්ටේෂියා වීම විශේෂත්වයකි.

29 හැවිරිදි ඇන්ස්ටේෂියා වසර 2007 දී පළමු වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග බිමට පිවිසීමෙන් පසු අවස්ථා 6 ක දී ම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වූ ක්‍රීඩිකාව කි.

‘පළමු වතාවට ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව වටයට එක් වීම ඉතා හැඟුම්බර අවස්ථාවක්.’ ඇය කීවා ය.

වසර 2006 දී අන්තර්ජාතික කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවන් ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පත් වූ ඇනස්ටේෂියා 2008 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සිට 2020 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය දක්වා අඛණ්ඩ ව ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි 48 ක ට ක්‍රීඩා කර තිබේ. එහෙත් එම තරගාවලියේ අවසන් පූර්ව වටයට එක් වූයේ පළමු වරට ය.

ඇය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි තුනක දී (2017, 2019, 2020), විම්බල්ඩන් තරගාවලියක දී (2016) සහ අමෙරිකානු විවෘත තරගාවලියක දී (2011) අර්ධ අවසන් පූර්ව වටයට එක් වීමට සමත්ව ඇත.

අන්තර්ජාතික ටෙනිස් පිටියේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩිකාව වන ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩිකාව මාර්ග්‍රට් කෝට්ගේ ශූරතා 24 සම කිරීමේ තවත් අවස්ථාවක් අහිමි කරමින් අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් නික්මීමද සිහිපත් කළ යුතුම ය. 39 හැවිරිදි මේ ප්‍රවීණ ක්‍රීඩිකාව ගේ බලාපොරොත්තු සුන් කරමින් ලකුණු 6-3 ක් සහ 7-5 ක් ලෙස තරගය ජය ගත් රුසියානු යොවුන් ක්‍රීඩිකා එලීනා රයිබකීනා සිය ටෙනිස් තරග දිවියේ පළමුවරට ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබුවා ය.

සෙරිනා විලියම්ස් 1999 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනිමින් ඇගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කියද් දී දෙමස් හැවිරිදි සුරතල් වියෙහි පසු වූ රයිබකීනා අවුරුදු 21 ක් සපිරෙද් දී පරිණත ක්‍රීඩිකාව හමුවේ පෙන්නුම් කළේ විස්මිත මෙන්ම සුපිරි තරග විලාසයකි.

සෙරීනා අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා ගනු ලැබුවේ 2017 වසරේ දී ය. ඒ වසරේ ජනවාරියේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමෙන් පසු මෙතෙක් කිසිදු අවස්ථාවක ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා ගැනීමට අසමත් වූ සෙරීනාට මාර්ග්‍රට් කෝට්ගේ වාර්තාව සම කිරීමට මේ මස 28 වැනි දා ආරම්භ වන විම්බල්ඩන් තරගාවලිය දක්වා බලා සිටීමට සිදු වනු ඇත.

මේ අතර රයිබකීනා මෙන්ම කෝඩුකාරියක වූ අමෙරිකාවේ යොවුන් ක්‍රීඩිකා කොකෝ ගොෆ් වසර 15 ක ට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ළාබාලත ම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූවා ය. ටියුනීසියාවේ ඔන්ස් ජෙබූර් ලකුණු 6-3 ක් සහ 6-1 ක් ලෙස පරාජයට පත් කරමින් කොකෝ මේ වාර්තාව තැබුවා ය. මිනිත්තු 53 ක ට සීමා වූ මේ තරගයෙන් ජය ලැබූ කොකෝ 17 හැවිරිදි ය. ඊට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කළ ළාබාලතම ක්‍රීඩිකාව වූයේ 2006 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ 17 හැවිරිදි නිකෝල් වයිඩිසෝවා ය. එමෙන්ම 1993 දී ජෙනිෆර් කැප්රයිටිගෙන් පසු ප්‍රංශ තරග බිමේ අවසන් අටට සුදුසුකම් ලැබූ ළාබාලතම අමෙරිකානු ක්‍රීඩිකාව සේ සැලකෙන්නේ ද කොකෝ ය.

මේ අතර ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් 15 වැනි වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ය.

මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් දිනා ගනිමින් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩකයා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමඟ ශූරතා 20 ක සම වාර්තාවට හිමිකම් කියන නඩාල්ට මෙවර එම වාර්තාව තම අයිතියට ලියා ගැනීමේ දැඩි අවස්ථාවක් පැවැතිණි. ටෙනිස් ලොවේ විශිෂ්ට ක්‍රීඩකයකු වන රොජර් ෆෙඩරර් ප්‍රංශ තරගාවලියෙන් ඉවත් වූයේ කලෙක සිට පවතින පාදයේ ආබාධය යළි උත්සන්න වීමෙනි.

 

Comments