“ෆ්ලොයිඩ්” ඝාත­නය ලොවට පෙන්වූ ඩානෙ­ල්ලාට ‘පුලි­ට්සර්’ විශේෂ සම්මා­න­ය­ක් | සිළුමිණ

“ෆ්ලොයිඩ්” ඝාත­නය ලොවට පෙන්වූ ඩානෙ­ල්ලාට ‘පුලි­ට්සර්’ විශේෂ සම්මා­න­ය­ක්

'පුලිටිසර්' විශේෂ සම්මානලාභී ඩානෙල්ලා ෆ්‍රේසියර්

 

 

පසුගිය වසරේ මැයි 25වැනිදා ඇමරිකාවේ මිනසෝටා (Minnesota) ජනපදවාසී දහඅට හැවිදිරි ඩානෙල්ලා ෆ්‍රේසියර් (Darnella Frazier) මෙනෙවිය එවැනි ඓතිහාසික වීඩියෝ සටහනක් තැබී ය. ඒ ඩ්රේක් මයිකල් ෂෝවින් (Derek Michael Chauvin) නම් සුදු ඇමරිකානු පොලිස් නිලධාරියා විසින් සිය දණහිස යට කර සිදු කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ඇමරිකානුවාගේ ඝාතනයයි. සිය කුඩා වීඩියෝ පටයෙන් කළ මහා මාධ්‍ය මෙහෙය අගයා ඇය මේ වසරේ විශේෂ පුලිට්සර් (Pulitzer) සම්මානයකින් පිදුම් ලැබී ය. මේ වීඩියෝ පටය රටවැසියෙකු ලෙස “යුක්තිය හා සාධාරණය උදෙසා ‍තමා සතු වගකීම ජනමාධ්‍ය ඉදිරියේ මොනවට විදහා පෑ අවස්ථාවක්” ලෙස සැලකේ.

 

පුලිට්සර් ත්‍යාගය යනු ජනමාධ්‍යවේදය, සාහිත්‍යය කලාව සහ සංගීතය යන ක්ෂේත්‍රයන්හි පෙන්වන ලද අනභිභවනීය කුසලතා වෙනුවෙන් පිරිනැමෙන ලෝක පූජිත සම්මානයකි. ජෝශප් පුලිට්සර් (Joseph Pulitzer, 1847-1911) නම් හංගේරියානු සම්භවයක් ඇති කෘතහස්ත ඇමරිකානු පුවත්පත් ප්‍රකාශකයාගේ නමින් පිහිටුවා ඇති එය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි කොළොම්බියා විශ්වවිද්‍යාලයය (Columbia University) මඟින් ප්‍රදානය කෙරෙයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆ්‍රේසියර් කියා සිටියේ එසේ මළ කළු මිනිහා කවුදැයි කියා ඇය නොදන්නා නමුත් ඔහුගේ ජිවිතයේ පැවති තීරණාත්මක අගය ගැන ඇයට ඒ මොහොතේ දී වහා වැටහී ගිය බවයි. ඒ දර්ශනය මෙතෙක් පැවති ඇගේ ලෝක දෘෂ්ටිය වහා වෙනස් කළ බවත් ඇමරිකාවේ කළු ජාතිකයෙකුව ඉපදීම කෙතරම් නම් භයානකදැයි ඈට ඉන් පසක් වූ බවත් ඇය පවසයි. ෆ්ලොයිඩ්ගේ ගෙල මත දණින් නැඟගෙන සිටි ෂෝවින් ඇගේ විරුද්ධතාව නොතකා “හදවතක් නැති සීතල බැල්මෙන්” ඇය දෙස බලා තිබේ.

ඇහින් දුටු මේ මිනීමරුම නිසා නිදිනැති රෑ ගණනාවකට ඇයව ගොදුරු විය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරණයෙන් ගලවාගත නොහැකිවීම ගැන ඇය ඇය ගැනම මහත් සේ දුක්විය. ෆ්ලොයිඩ් ගැන සිතෙන සෑම විටක ම තම පියා, තම සහෝදරයන් ප්‍රමුඛ සිය නෑදෑයන් ඇගේ මනසේ ඇදී යන බවත්, ඔවුන් සියලුදෙනා ම කල්ලන් බවත්, ඒ අතරින් කෙනෙක් එදා එසේ මරණයට බිලිවිය හැකි බවත් මහත් චකිතයෙන් හා කලකිරීමෙන් යුතුව ඇය මාධ්‍ය අමතා පවසා තිබේ.

නිලයෙන් පහකරන ලද හිටපු පොලිස් නිලධාරී හතළිස් පස් වියැති ඩ්රේක් ෂෝවින්ට විරුද්ධව ගොනු කළ නඩුවේ අධිකරණ ලියවිල්ලකට අනුව මිනෙයාපොලිස්හි හෙන්පින් (Hennepin) නම් පෙදෙසේ දිවෙන චිකාගෝ මහමාවත (Chicago Avenue) හා යාබද 38වැනි වීදියෙහි (38th Street) පිහිටි කප් ෆුඩ් (Cup Food) නම් වෙළෙඳසල ඉදිරියේ දී ඩ්රේක් ෂෝවින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමඟ ජෝර්ජ් ෆ්ලොයිඩ්ව ප්‍රශ්න කිරීම පිණිස සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

දෑත පිටුපසට කර මාංචු දමා මුනින් අතට පොළොවේ බාවා සිටි ෆ්ලොයිඩ්ගේ ගෙල මත ෂෝවින් විසින් සිය දණහිස තදින් තෙරපීම නිසා ඔහුගේ මරණය සිදුවිය. ෂෝවින් විසින් මෙසේ ෆ්ලොයිඩ්ගේ ගෙල තෙරපාගෙන සිටින ලද කාලය පිළිබඳ මතබේද රැසක් පවති. ඒ කාලය මිනිත්තු හතත් නවයත් අතර දිවෙයි. නිව් යොර්ක් ටයිම්ස් (New York times) පුවත්පත පෙන්නා දෙන පරිදි ඒ කාලය විනාඩි 9කුත් තත්පර 29ක් වේ. ඇටර්නි තැන්පත් ජෙරී බැලැක්වෙල් (Jerry Nlackwell) මහතාගේ ප්‍රකාශයක් උපුටන සීඑන්එන් (CNN) පුවත් සේවය ඉහත පුවත්පත පළකළ දත්ත තහවරු කරයි.

සුපතළ ඇමරිකානු යූ. එස්. ඒ. ටුඩේ (USA Today) පුවත්පතට අනුව ෂොවින් සමඟ සේවය කළ අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනා ම මේ වනවිටත් රැකියාවෙන් නෙරපා තිබේ.

අමානුෂික මිනිස් ඝාතනය එක්සත් ජනපදය පුරා කැරලිකාරී වාතාවරණයක් ඇතිකළ අතර මහජන ආරක්ෂක සේවාවන්හි නියතු බොහෝ හමුදා සහ පොලිස් නිලධාරීහු කුපිතවුණු ජනයා ඉදිරියේ අඩදණින් සිට සිදුවිමට ඉඩ තිබුණු තවත් බොහෝ ජීවිත හානි වළකා ගැනීමට සමත් වූහ.

මිනසෝටාහී මහජන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නමගිය නිලධාරියෙකු වන ජෝන් හැරිංග්ටන් (John Harrington) මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබ මිනීමැරුම පිළිබඳ වරදකාරයෙකු ලෙස ඇමරිකානු අධිකරණයෙන් දඬුවම් ලැබූ ඩ්රේක් ෂෝවින් අද වසර හතළිහක සිර දඬුවමකට ලක්ව සිටී. නඩුව සමාප්ත වෙන තෙක් ඔහුව තියුණු නිරීක්ෂණ යටතේ සිරබාරයේ රඳවා තිබී ඇති බව සැලයි. සෑම මිනිත්තු පහළොවක් තුළ දී ම කිසියම් සිපිරි නිලධාරියෙක් ඔහුව බැහැදැක ඇත. වැංමිනියුත් (20 Minutes) නම් ප්‍රංශ පුවත්පතට අනුව එවැනි පියවරක් ගෙන ඇත්තේ සිය දිවි නසාගැනීමේ තැතක් වෙතොත් සිරකරුවා ඉන් වළකා ගනු පිණිස යැයි කියැවේ.ඒ ප්‍රාන්තයේ ඕක් පාක් (Oak Park) නම් පෙදෙසෙහි පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සේවිත සාරා ෆිට්ස්ජෙරල්ඩ් (Sarah Fitzgerald) මහත්මියගේ ප්‍රකාශයක් උපුටන සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට අනුව ඩ්රේක් ෂෝවින් මෙසේ රඳවා තබනු ලැබ ඇත්තේ පොදු සිරමැදිරියක නොව එරට බලලත් විශේෂ පරිපාලන ඒකකය (Administrative Control Unit) යටතේ මිනෙයාපොලිස් නගරයට සැතපුම් විස්සක් පමණ ඈත පිහිටි ස්ටිල්වෝටර් (Stillwater) නම් පෙදෙසේ විශේෂ සිපිරිගෙයක බව කියැවේ.

ෆ්ලොයිඩ්ව ඝාතනය කිරීමට වරදකරු වුණූ ඩ්රේක් ෂෝවින් සිය බිරිඳ සමඟ එක්ව බදු මුදල් පවා වංචාකර ඇති බව ඔහු පිළිබඳ පසුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ද ප්‍රංශ සේනිව්ස් (Cnews) පුවත් අඩවිය පසුගියදා වාර්තා කළේ ය. මේ සොයාගැනිම නිසා සිය සිර දඬුවමට අමතරව තව ඩොලර් 90000 ක දඩ මුදලක් ගෙවීමට ද ෂෝවියර්ට සිදුව ඇති බව දැන ගන්නට ලැබේ. වරක් මිනසෝටා ජනපද රූ රැජින ලෙස කිරුළු පළන් ඔහුගෙ බිරිය ෂෝවියර්ගෙන් හිමිවුණු වාසගම පිළිකෙව් කරමින් ඔහුගෙන් දික්කසාදවීමට යන බව ද කියැවේ.

ඔස්ට්‍රේලියාවේ බිස්නස් ඉන්සයිඩර් (Business Insider) පුවත්පත පවසන අන්දමට ඩ්රේක් ෂෝවින්ගේ වසර 19ක වීදි පොලිස් සේවා නිලකාලය තුළ ඔහුට එරෙහිව පැමිණිලි 18ක් ලැබී තිබේ. මිනෙයාපොලිස් හි දෛනික පුවත්පත වන, මෙපුවත වාර්තා කළ නිසා ම මේ වසරේ පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලද, ස්ටාර් ට්‍රිබියුන් ((Minneapolis Star Tribune) පෙන්නා දෙන පරිදි මේ පැමිණිලි අතර ඔහු මහජනයා ඉලක්කකර කළ වෙඩිතැබීම් දෙකක් ද අඩංගු වේ. ඩේලි බීස්ට් (Daily Beast) නම් පුවත් අඩවියට ලිපියක් ලියන හසළ පුවත්පත් කලාවේදිනියක වන පිලාර් මෙලන්ඩේස් (Pilar Melendez) දක්වා ඇති ආකාරයට ඩ්රේක් ෂෝවින්ගේ වෙඩි කෑ ඊරා ටොලෙස් (Ira Toles) නම් මිනිසෙක් සිය කුස පෙදෙසේ අදත් සුව නොවන විවෘත සිදුරක් ඇතිව ජීවත්වේ.

ෆ්ලොයිඩ්ගේ පවුලට මෙන් ම සාධාරණත්වය ඉල්ලා කෑ ගැසූ බොහෝ දෙනාට මේ අධිකරණ තීන්දුව නිතීය පිළිබඳ ක්ෂය වෙමින් තිබුණු විශ්වාසය යළි තහවරු කිරීමක් බඳු විය. මිනෙයාපොලිස් හි අධිකරණය ඉදිරියේ රැස්ව සිටි බොහෝ දෙනා තින්දුව අසා ජයඝෝෂා නඟා සතුටු කඳුළු වගුරමින් එකිනෙකා වැලඳ ගෙන නැටූහ. ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබමා (Barack Obama) මහතා මේ පිළිබඳ ඔහුගේ ටුවිට් පිටුවේ සඳහනක් තබමින් කියා සිටියේ ජූරිසභාව මෙවර නිවැරදි තීරණයක් ගෙන ඇතිබව සැබෑ නමුත් යුක්තිය හා සාධාරණය කරා යන දිගු ගමනේ දී මීට වඩා තව බොහෝ දෑ එය අපෙන් පතා සිටින බවයි.

ප්‍රකට ප්‍රංශ රූපවාහිනී නාළිකාවක් වන එල්. සි. අයි (LCI) පුවත් සේවයට අනුව ෆ්ලොයිඩ්ගේ අවසාන වැකි ඔබමා විසින් මතුකර පෙන්නා දීමට යෙදුණ මේ ගැටලුවේ පවත්නා සංකීර්ණතාවට දෙස්දෙයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් යනු ඉඩකඩ ඇහිරුණු තැන්වල දී හුස්ම හිරවෙන්නා සේ දැනෙන ආවෘති භීතිය (Claustrophobia) නම් මානසික ආපදාවෙන් පෙළුණු මිනිහෙකි. එබැවින් පොලිස් රිය තුළට පිවිසිමට ඔහු මැළි වි තිබේ. ඔහුව බලෙන් එතුළට රිංගවීමට ගත් තැතේ දී එතුළ හුස්ම හිරවී මැරෙතැයි යන බිය නිසා ඔහු ඊට එරෙහිව අරගල කර ඇත. ෂෝවින් ඔහුව බිම පෙරළා ඔහුගෙ ගෙල දණහිසින් හිර කරගෙන හුන් වේලේ කිපවතාවක්ම කියන්නට යෙදුණු “මට හුස්මගන්ඩ බැහැ” යන බැගෑපත් වැකිය සමඟ මෙවැනි තවත් වැකියක් සඳහන්ව ඇති බව ඔහුව වටකරගෙන හුන් පොලිස් නිලධාරීන්ගේ සිරුරේ පැලඳ සිටි කැමරා (Body Worn Cameras) විමසූ අපරාධ පරීක්ෂකයෝ පෙන්නා දෙති. ඒ වැකිය මෙසේ ය “අම්මෙ, මුං මාව මරන්නයි යන්නෙ. මං උඹට ආදරෙයි. මගෙ දරුවන්ට කියපං මං උන්ට ආදරේ බව“ ඒ ෆ්ලොයිඩ් මරනාසන්න මොහොතේ කියූ වදන්ය.

‍ෙගෙල දණහිසින් තෙරපා අත්අඩංගුවට ගත් පුද්ගලයාව මර්දනය කිරීමේ පොලිස් ක්‍රමවේදය (The knee-to-neck maneuver ) තුළ පවත්නා මරණීය බිහිසුණු ඩෙැනෙල්ලා ෆ්‍රේසියර්ගේ ඉහත වීඩියෝව නිසා නැවත ලොවට හෙළිදරව් වී තිබේ. “පොලිසිය විසින් බලය භාවිතා කරනු ලබන අන්දම පිළිබඳ විමසීමක්” (Evaluating Police Uses of Force ) නම් පොත ලියා ලෝපතළ නම ඇති උගතෙකු වූ දකුණු කැරොලිනා විශ්වවිද්‍යාලයයේ (University of South Carolina) නීතිය පිළිබඳ විශේෂඥ මහාචාර්ය සෙත් ස්තුග්ටන් (Seth Stoughton) මහතා පෙන්වා දෙන පරිදි මෙසේ දෑත පිටිකර බැඳ සිරුර මුනින් බිම බාවා (Prone) ගෙල සිරකිරීම නිසා නිසි සේ හුස්ම ගැනීමට තිබෙන හැකියාවට ඉන් මහත් බාධා පැමිණ පුද්ගලයාව සිහිසුන්ව ගොස් ඒ තත්වය මරණය දක්වා දුර ගොස් තිබේ.

රොයිටර් (Reuters) පුවත් සේවය නිපැදවූ “ආවරණය කර තිබේ” (Shielded) නම් ජනමාධ්‍ය ව්‍යාපෘතිය මඟින් ඇමරිකාවේ පොලිස් නිලධාරීන්ගේ නොයෙක් වෘත්තික නොපනත්කම් “නීතිගරුක” ලෙස සඟවා ඇති ආකාරය පැහැදිලි කරයි. ඇමරිකාවේ ෆ්ලොරිඩා (Florida) ජනපදයේ පැස්කෝ (Pasco) නම් පොලිස් වසමේ ෂෙරිෆ් (Sheriff) පදවියෙන් පිදුම් ලද උසස් පොලිස් නිලධාරියෙකු සිය බලය අනිසිලෙස භාවිත කරමින් කරන ලද රහසිගත නිතිවිරෝධී ඉරියව් රැසක් පිළිබඳ ලිපි ගණනාවක් ලියා පළකළ නිසා ටැම්පා බේ ටයිම්ස් (Tampa BayTimes ) පුවත්පතේ සේවිත නීල් බෙඩී (Neil Bedi), කැත්ලීන් මැක්ග්‍රෝරි (Kathleen McGrory) සහ රොමී එලන්බෝජන් (Romy Ellenbogen) යන අය මෑතදී මහත් ජාත්‍යන්තර පැසසුමට ලක්වූහ. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය අභීත ලෙස රූගත කර යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සාක්ෂියක් ලෙස එය මහජනයා ඉදිරියේ තැබූ නිසා ඩානෙල්ලා ෆ්‍රේසියර් මෙනෙවිය අද එවැනි ප්‍රවීණ මාධ්‍යවේදීන් හා සමපෙළ සිටීමට සමත්ව බව පෙනේ.

Comments