‘රැහේ’ රූගත කළේ තෙළිඟු අය යටතේ පුහුණු වෙලා | සිළුමිණ

‘රැහේ’ රූගත කළේ තෙළිඟු අය යටතේ පුහුණු වෙලා

 

 

සියත Tv නාළිකාවේ සතියේ දිනවල රාත්‍රී 8.30 විකාශනය වන ‘රැහේ‘ටෙලි නාට්‍යය වෙනස්ම ආකෘතියක් සහිත නිර්මාණයක්. අපේ රටේ ජීවත් වන තෙලිඟු ජන ප්‍රජාවෙහි සංස්කෘතිය හදාරමින් කළ මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ අත්දැකීම් සහිත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ජී. නන්දසේන විසින්.

 

ජී. නන්දසේන ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශිල්පියෙක්. දශක තුනකට පෙර ගාමිණී ෆොන්සේකා ඔහුව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ සහාය කැමරා ශිල්පියෙක් විදිහට. එවකට ක්ෂේත්‍රයේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරු වූ ඩොනල්ඩ් කරුණාරත්න, එම්. ගෆූර්, වැනි ශිල්පධරයන් හා හැසිරෙමින් ක්ෂේත්‍ර අත්දැකීම් ලබා ගන්නා ජී. නන්දසේන විදෙස් චිත්‍රපටවලට සම්බන්ධ වීමේ අවස්ථාව හිමි කරගන්නවා.

‘පුංචි වලව්ව‘,‘සරා‘,‘දෙපත් නයි‘වැනි ටෙලි නිර්මාණ කළ ඇත්දැකීම් සහිත ජී නන්දසේන ගේ අලුත්ම නිර්මාණයවූ ‘රැහේ‘ ටෙලි නාට්‍ය මුල් කරගෙන අප කතාබහ ඇරඹුවා.

‘රැහේ‘ටෙලි නාට්‍යට පාදක වන්නේ එදා සිංහල රිදී තිරයේ අතිශයින්ම ජනාදරයට පත් ‘සත්වෙනි දවස‘සිංහල චිත්‍රපටය. එහි තිර නාටකය ලියැවෙන්නේ සෝමවීර සේනානායක සාහිත්‍යවේදියා අතින්. එතුමන් මා හඳුනන්නෙ ‘සත්වෙනි දවස‘චිත්‍රපටය වැඩ කටයුතු කරන කාලයේදිමයි. පසු ක⁣ලෙක ටෙලිනාට්‍යයේ කතාව ගොඩනඟන්න අපි අනුරාධපුරයට ගිහින් තෙළිඟු ජන කොටස සමඟ කතාබහ අත්දැකීම් ලබා ගත්තා. එතුමන් අද ජීවතුන් අතර නෑ.

ජී. නන්දසේනට අනුව රැහේ කතාව ‘හත්වෙනි දවස‘චිත්‍රපටයේ තිර කතාව ඇසුරින් නැවත ටෙලි නාට්‍යයක් සඳහා ගොඩනැඟෙන්නේ සෝමවීර සේනානායකයන්ගෙ අදහසක් විදිහට.

‘සත්වෙනි දවස‘චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හේමසිරි සෙල්ලප්පෙරුම මහත්මා. ඔහුත් මේ අවස්ථාවෙ සිහිපත් කළ යුතුයි. සෝමවීර සේනානායකයන් ජීවත්ව සිටියදී චිත්‍රපටයේ කතාව ටෙලි නාට්‍යයක් විදිහට ගොඩනඟන්න තිරපිටපත සංස්කරණය සඳහා කටයුතු කළා. මුල් කොටස් විස්සක් එතුමා අතින් රචනා වුණා. එතුමාගේ පවුලේ අවසරය ඇතිව එම තිර රචනය ප්‍රියංකා අමරතුංග ලේඛිකාව ඉදිරියට රචනා කරනවා.“ අධ්‍යක්ෂවරයා කියන්නෙ ඒ විදිහට.

තෙළිඟු ජන ප්‍රජාව අද ජීවත් වෙන්නෙ එදා ‘සත්වෙනි දවස‘ චිත්‍රපටය ගොඩනැඟුණු වකවානුවට සංකීර්ණ සමාජයක. ඒ සංකීර්ණතා සමඟ කෘතිය වෙනස් වුණු ආකාරය ගැනත් අධ්‍යක්ෂවරයා කීවා.

“ මෙහි ප්‍රධාන චරිත අතර සෙනාලි ෆොන්සේකාත් ඉන්නවා. ඇගේ චරිතය ජනප්‍රිය ගායිකාවක් බවට ගොඩනැඟෙන සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතයි. නවීන සංකීර්ණතා ඇතුළේ සුළු ජන සංස්කෘතියක විචලනය මතු කරන්න නිර්මාණයෙන් බලාපොරොත්තු වෙනවා.“

‘රැහේ‘ ටෙලිනාට්‍ය රූගත කරන දර්ශන තලය විදියට තෝර ගත්තේ කුරුණෑගල පිහිටි බතලගොඩ වැව ආශ්‍රිත ප්‍රදේශය.‘සත්වෙනි දවස‘චිත්‍රපටයේ මේ තෙළිඟු ජන කණ්ඩායමේ නායකයා විදිහට චරිත නිරූපණය කළේ රවීන්ද්‍ර රන්දෙණිය. ටෙලි නාට්‍ය සඳහා අපි තෝරාගත්තේ ශ්‍රියන්ත මෙන්ඩිස්. මාලනී ෆොන්සේකා රඟපෑ චරිතය සෙනාලි ෆොන්සේකාත් සනත් ගුණතිලක රඟපෑ චරිතය අමිල අබේසේකරත් විමල් කුමාර් ද කොස්තා රඟපෑ චරිතය සම්පත් ජයවීරත් රඟපානවා. “ අධ්‍යක්ෂවරයා සිය නිර්මාණය ගොඩනැඟෙන හැටි අපට විස්තර කළේ ඒ ආකාරයට.

ජනප්‍රසාදයට පත් නළු නිළි පිරිසක් ‘රැහේ‘වටා එකතු වෙනවා. සරත් චන්ද්‍රසිරි, චාමර ප්‍රසන්න, උදයන්ති කුලතුංග, අනුරාධා උදයංගනී, ඇතුළු නළු නිළි පිරිස මේ අතර ප්‍රධානයි.

ඒ වගේම මේ නිර්මාණය ගොඩනැඟෙන්නෙ විචිත්‍රවත් පසුතල ගොනුවක. ඒ පිළිබඳ ජී. නන්දසේන කියන්නෙ මෙවැනි කතාවක්.

‘රැහේ‘අධ්‍යක්ෂකවරයා මෙන්ම කැමරා අධ්‍යක්ෂ වන්නේ මා. රැහේ කියන්නෙ සංස්කරණයේදී වර්ණ සංයෝජනයක් යොදා විචිත්‍රවත් කරපු නිර්මාණයක් නෙමෙයි. දර්ශන තලය තුළ හිමිදිරි උදෑසන පැහැදිලි ආලෝකයෙන් මේ නාට්‍ය රූගත කළේ. ආලෝකය සහ අඳුර පාලනය කරමින් නිර්මාණාත්මකව රූප රාමු ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ දිවා කාලයේ. සාමාන්‍ය කැමරාවකින් රූ ගත කළ මේ නිර්මාණයට තාක්ෂණිකව ඉහළ කැමරාවක් යොදා ගත්තා දැයි මගෙන් අහන අය ඉන්නවා.“

“ඒ වගේම මේ නිර්මාණය සංගීතය පැත්තෙන් ඔසවා තබන්නේ රෝහණ වීරසිංහයන්. එතුමා සංගීත අධ්‍යක්ෂවරයා විදිහට විශාල ආලෝකයක් කෘතියට ලබා දුන්නා. ‘රැහේ‘පසුබිම් ගීතය ගායනා කරන්නේ උරේෂා රවිහාරි. ඇය ගායනා කරන තේමා ගීතය ඉතාම ජනප්‍රියයි. එය රචනා කරන්නේ අප අතරින් වියෝ වුණු සිඩ්නි චන්ද්‍රසේකර විසින්.“

ටෙලිනාට්‍ය සංස්කරණයෙන් කල්හාර ද මෙල්, කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාල්, වේශ නිරූපණයෙන් සුගත් මන්දාරම්නුවර සහාය අධ්‍යක්ෂ සුසන්ත ප්‍රේමචන්ද්‍ර, නිෂ්පාදනයෙන් තුෂාරි පෙරේරා. ඇතුළු නිෂ්පාදන කණ්ඩායමක් එකතු වෙනවා.“

‘රැහේ‘ටෙලි නාට්‍යයේ දී ලබපු වෙනස්ම අත්දැකීම ගැන අධ්‍යක්ෂවරයා අපට කීවා.

තෙළිඟු ජන ප්‍රජාව විසකුරු නාගයන් වගේම වඳුරන්, රිලවුන්, බූරුවන් වැනි සතුන් හීලෑ කර පුහුණු කර ජීවන වෘත්තිය කරගෙන යන පිරිසක්. තඹුත්තේගම ගිහින් ඔවුන්ගේ සතුන් ලබාගෙන, ඔහුන් යටතේ පුහුණුවීම් කරලා තමයි අපි මේ රූගතකිරීම් කළේ. මේ පිරිසටත් මා ස්තුතිවන්ත විය යුතුයි.

‘රැහේ‘නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ගැනත් අපි අවසන් වශයෙන් කතා කළා.

"සියත නාළිකාවේ ටෙලි නාට්‍ය අතර ‘රැහේ‘ටෙලිනාට්‍යය විශාල ජනප්‍රියත්වයක් ලබමින් ඉදිරියට විත් තිබෙනවා. අද අන්තර්ජාලයේ YouTube හරහා ටෙලිනාට්‍ය නරඹන දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් බහුතරයක් ඉන්නවා. සියත Tv Trending පැමිණි පළමු නාට්‍ය වන්නේ ‘රැහේ‘ටෙලි නාට්‍යය වීම සතුටට කරුණක්. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉදිරියට නිර්මාණයක් කරන්න ලොකු ශක්තියක්.

 

Comments