පෙර පාසල්වලට සුබ අනාගතයක් | සිළුමිණ

පෙර පාසල්වලට සුබ අනාගතයක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමේ ‘ගුරු අභිමානී’ ජාතික උත්සවය අරලියගහ මන්දිරයේදී ජූනි 17 පැවැති අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් පෙර පාසල් ගුරුවරියකට එම දීමනාව ලබාදුන් අයුරු. මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් හා පෙර පාසල් පිළිබඳ අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත යන අය ද එක්වූහ.

- පෙර පාසල් සඳහා රටටම එකම අලුත් විෂය මාලාවක්
- ගුරුවරුන් 49700 කට සිසුන් ලක්ෂ 6 කට සෙත
- සෑම ගුරුවරයකුටම රුපියල් 2500ක දීමනාවක් සමඟ අර්ථ සාධක හිමිකමක්
- පෙර පාසල් දරුවන්ට අලුත් රූපවාහිනි සේවාවක්

පෙර පාසල අප අමතක නොකළ යුතු තැනකි. පාසල වගේම පෙර පාසලත් අපේ අධ්‍යාපනයේ ජීවන කුසලතා ඔප් නැංවීමට ද ප්‍රධාන අඩිතාලම දමන සුවිශේෂි ස්ථානයකි.

දරුවාගේ මනස හා එහි ක්‍රියාකාරිත්වය මුල් කරගෙන සතුට සහ විනෝදය ලබාදීම මඟින් ළමා මනස පුබුදු කරමින් ළමා මනසේ ඇති ශක්‍යතා නංවාලීම මේ පෙර පාසල් හෙවත් මොන්ටිසෝරි ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

අප රටේ අද සෑම ගමකම වාගේ පෙර පාසල් ඇත. නමුත් මේවා සියල්ල ලියාපදිංචි වී නැත. ඒවායේ උගන්වන විෂය මාලාව ද එකිනෙකට වෙනස්ය. ඊට අමතරව ඒවායේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විවිධය. ඔවුන් කර ඇති පාඨමාලාවල ප්‍රමිතිය එකිනෙකට වෙනස්ය. මේ නිසා අද පෙර පාසල් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබේ. මේ සියලු ගැටලු විසඳා පෙර පාසල් නිදහස් අධ්‍යාපනයේ කොටසක් කිරීමටත් එහි ගුරුවරුන්ට සුබ අනාගතයක් ඇති කිරීමටත් වත්මන් රජය උත්සාහ දරමින් සිටී.

අපේ රටේ දැනට ලියාපදිංචි වූ පෙර පාසල් සංඛ්‍යාව 14211 ක් බව පෙර පාසල් කටයුතු හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. අපේ රටේ ඉහත පෙර පාසල්වල ගුරුවරු 49621 ක් සේවය කරති. මෙරට පෙර පාසල්වල දරු දැරියන් ලක්ෂ 6 කට ආසන්න පිරිසක් ඉගෙන ගනිති. මේ සියලු දෙනාගේ අනාගතයට අත්වැලක් වීම පෙර පාසල්වල කාර්ය භාරයකි.

මේ සියලු දෙනාට හොඳ සුබ අනාගතයක් ඇති කිරීමට ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව වත්මන් රජය සියලු කටයුතු සිදු කරයි. පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, හා අධ්‍යාපන සේවා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ කටයුතු මෙහෙයවමින් පෙර පාසල් රටේ ඉදිරි ගමනට දිරිදෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට උත්සහ දරමින් සිටී.

අපේ රටේ සෑම ගමකම තිබෙන මේ පෙර පාසල් හෙවත් මොන්ටිසෝරි ක්‍රමයේ නිර්මාතෘවරිය ලෙස හඳුන්වන්නේ මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටසෝරි මහත්මියයි. පසුව දෙවරක්ම නොබෙල් සාම ත්‍යාගය ලබාගත් ඇය පිළිබඳව මෙරට පෙර පාසල් දරුවන්ට අවබෝධයක් ලබාදීම ඉතා වැදගත්ය.

පොදුජන පෙරමුණට සම්බන්ධ ජාතික පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ආචාර්ය ජයලත් ඉලංගකෝන් පෙන්වා දෙන පරිදි අපේ රටේ පෙර පාසල් මුලින්ම ආරම්භ වී ඇත්තේ 1953 දි මෙරට ක්‍රියාත්මක වූ මහිලා සමිති මඟිනි. “ඊට පසුව සර්වෝදය ව්‍යාපාරය විසින් 1968 - 70 වකවානුවේදි මෙරට පෙර පාසල් දීප ව්‍යාප්තව අරඹා ක්‍රියාවට නැංවූවා.” ආචාර්ය ජයලත් ඉලංගකෝන් කීය.

කෙසේ වුවත් වසර 70 කට ආසන්න ඉතිහාසයක් ඇති අපේ පෙර පාසල්වල අධ්‍යාපන රටාවේ හා ඉගැන්වීම් ක්‍රමවල කිසිම විධිමත් බවක් තිබුණේ නැහැ. ඒ නිසා පෙර පාසල්වල විවිධ දේ ඉගෙන ගෙන පළමුවැනි ශ්‍රේණියට ගිය විට සමහර දරුවන් ගැටලුවලට ලක්වෙනවා. ඒ නිසා පෙර පාසල්වලට එකම විෂය මාලාවක් හා පෙර පාසල් ගුරුවරුන්ට ස්ථිර වැටුප් ක්‍රමයක් ලබාදෙන්න කියල අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එතුමා ‘සෞභාග්‍යයේ දැක්මේ‘ 20 වැනි පිටුවේ ඒ බව සඳහන් කර එය ඉටු කරමින් පවතිනවා. ආචාර්ය ජයලත් ඉලංගකෝන් පවසයි.

පෙර පාසල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීම මේ රජය ගත් ඉතා වැදගත් පියවරක්. ඒ වගේම එහි රාජ්‍ය ඇමැති ලෙස පියල් නිශාන්ත මහතා පත් කිරීමත් ඉතා සුදුසුයි. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත්, බැසිල් රාජපක්ෂයන්ගේත්, අධ්‍යාපන ඇමැතිතුමාගේත් උපදෙස් පරිදි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පෙර පාසල්වල දියුණුවට හා එහි ගුරුවරු ගුරුවරියන්ගේ ආර්ථික ප්‍රශ්නයට රුපියල් 2500 ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.

ඒ සමඟම දැනටමත් පෙර පාසල් පිළිබඳව අලුත් විෂය මාලාවක් හදනවා. ඒක ඓතිහාසික කටයුත්තක්.“ ඔහු පැවසීය.

මෙරට 49621 ක් පමණ වූ පෙර පාසල් ගුරුවර ගුරුවරියන්ට රුපියල් 2500 දීමනාව ගෙවීම ජුනි මස සිට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි. ඊට අමතරව මෙම ගුරුවරුන්ට අර්ථ සාධක හිමිකම් හා සේවක භාරකාර අරමුදල් හිමිකම ලබාදීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන කාන්තා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසන්නේ වසර 70ක් තිස්සේ විධිමත් බවක් නොතිබූ පාසල් හා අධ්‍යාපන, පරිපාලන, සුබසාධන කටයුතු සියල්ල දැන් විධිමත් කාර්යක්ෂම හා ඒකාබද්ධ රටාවකට සිදු කිරීමට කටයුතු කරන බවයි. ඒ යටතේ අපි දැනටමත් පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ‘පෙර පාසල් ගුරු අභිමානි‘ ප්‍රථම අදියර ලෙස සෑම පෙර පාසල් ගුරුවර ගුරුවරියකටම රුපියල් 2500 ක් ලබා දෙනවා. ඊට අමතරව පෙර පාසල් ක්ෂේත්‍රය සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීමට පෙර පාසල් විෂය විධිමත් කරමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, භෞතික සම්පත්වලින් සපිරි ‘සෞභාග්‍යයේ පෙර පාසල්‘ ආරම්භ කිරීම ද අපි සිදු කරනවා.

ඒ සමඟම අවම පහසුකම් සහිත පෙර පාසල් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 6ක් ලබාදීමට, සියලු පෙර පාසල් සඳහා සනීපාරක්ෂක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම පෙර පාසල් දරුවන්ට පෙර පාසලේ සිට ප්‍රාථමික අධ්‍යාපනය දක්වා අලුත් රූපවාහිනි නාළිකාවක් මගින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටත් කටයුතු කරමින් සිටිනවා. “රාජ්‍ය ඇමතිවරයා පවසයි. ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂයන් ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට පූර්ණ සහායක් ලබාදෙන බව ද රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කියයි. මේ රජයේ අලුත් වැඩපිළිවෙළ පිළිබඳ අපට කරුණු දැක්වූ නුවරඑළිය කොත්මලේ ‘නව ඩිංකි‘ පෙර පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණී විජයවර්ධන පැවසුවේ අපේ රටේ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් සියලු දෙනාට වත්මන් රජයේ වැඩපිළිවෙළ නිසා තම වෘත්තීය කටයුතු අභිමානයෙන් යුතුව ඉතා හොඳින් කරගෙන යාමට සුදුසු පිටුබලයක් ලැබුණු බවයි.

‘පෙර පාසල් ගුරු අභිමානි‘ වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් ගුරුවරුන්ට දැන් රුපියල් 2500 ක් ලැබෙනවා. අපේ දුෂ්කර පළාත්වල සමහර ගුරුවර ගුරුවරියන්ට මාසයකට රුපියල් 1000 ක්වත් ලැබෙන්නේ නෑ දරුවන්ගෙන්.

ඒ අයට මේක මේ වෙලාවේ ලොකු පිළිසරණක්. ඒ වගේම කොවිඩ් 19 එක්ක අපේ පෙර පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය්‍ය උෂ්ණත්වමාන ඇතුළු සනීපාරක්ෂක උපකරණ අපට දුන්නා. දුප්පත් පෙර පාසල්වලට රජයෙන් රුපියල් ලක්ෂ හයක් දුන්නා. ඒ වාගේම ගුරුවරුන්ගේ දුක දන්නා පියල් නිශාන්ත වැනි ගුරුවරයෙක් අපේ ඇමැතිතුමා ලෙස පත් කිරීම පිළිබඳව ජනපතිට අපි ස්තුති කරනවා. පියල් නිශාන්ත ඇමැතිතුමා අපේ අදහස්වලට ඇහුම්කන් දීලා අපේ ගැටලු විසඳනවා. රෝහිණි විජයවර්ධන පැවසුවාය.

පසුගිය යහ පාලන රජයෙන් පෙර පාසල් ගුරුවරුන් සඳහා ගෙව්වේ රුපියල් 250 ක සොච්චම් දීමනාවක් බවත් වත්මන් ජනාධිපතිතුමා පෙර පාසල් ගුරුවරුන් ගැන අවධානය යොමු කර එවැනි දස ගුණයක මුදලක් එනම් රුපියල් 2500 මාසිකව ගෙවීමට මේ මොහොතේ කටයුතු කිරීම විශිෂ්ට ක්‍රියාවක් බව මාතර තලල්ල ‘චතුර‘ පෙර පාසලේ විදුහල්පතිනි වන හේමමාලි ජයවර්ධන පවසන්නීය.

මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරුවරුන්ගේ සංගමයේ සභාපති වන ඇය තවදුරටත් පවසන්නේ අප වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් හා අපි කියන දේට ඇහුම්කන් දෙන ඇමතිවරයෙක් අපට ලැබීම අගය කරන බවයි.

ඒ සමඟම පෙර පාසල් ගුරුවරයන්ගේ වයස් සීමාවත් 60 සිට 65 දක්වා වැඩි කළා. අපේ ජාතික කැඳවුම්කරු අසංක ශ්‍රීනාත් මහතාත් අපට පූර්ණ සහාය ලබා දෙනවා. මේ වෙලාව ආණ්ඩුවට අපි සල්ලි දෙන්න ඕනැ කාලයක්. නමුත් පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපනය හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත උනන්දු වෙලා, බැසිල් රාජපක්ෂයන්ගේ පූර්ණ සහාය ඇතිව මසකට රුපියල් 2500 ක් හැම පෙර පාසල් ගුරුවරයකුටම ගුරුවරියකටම දීම මේ ආදායම් අහිමි අවස්ථාවේ අප සියලු දෙනාට ලොකු සෙතක්. ඒ පිළිබඳව අපි විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විදුහල්පතිනිය පවසන්නීය.

නුගේගොඩ දේවාල පාරේ ‘ලකී‘ පෙර පාසලේ විදුහල්පතිනි චත්‍රා හෙට්ටිගම පවසන්නේ තමා වසර 34 ක් පෙර පාසල් අධ්‍යාපනික කටයුතුවල නිරත වුණත් තමන්ට කිසිම රජයකින් කිසිම දීමනාවක් හෝ පහසුකමක් තවමත් නොලැබුණු බවයි.

“අපිට නිලධාරින් ඇවිල්ලා කියන්නේ පෙර පාසල්වල අකුරු කරන්න එපා කියලා. ඒත් දැන් ළමයින්ගේ මොළේ ඉස්සරට වඩා වර්ධනය වෙලා. ඒ අයට ආසාව තිබෙනවා නම් අකුරු ඉගෙන ගත්තාට ප්‍රශ්නයක් නැහැනේ. දැන් ජංගම දුරකථන පිළිබඳව දැනුමක් පොඩි ළමයින්ට තිබෙනවා. එහෙම නම් පෙර පාසල්වල අවශ්‍ය අයට අකුරු කළ යුතුයි.

අපි අකුරු වගේම සාරධර්ම තම තමන්ගේ වැඩ තම තමන්ම කර ගැනීම් ආදිය පිළිබඳව අපි අපේ දරුවන්ට කියලා දෙනවා. පසළොස්වක දිනට පන්සල් යාම, වැඩිහිටියන්ට සැලකීම, සාරධර්ම අනුව හැසිරීම සඳහා අපි දරුවන් උනන්දු කරනවා. ඒකයි ප්‍රධාන ලෙස පෙර පාසල් වලින් සිදුවිය යුත්තේ.“ ඇය පවසන්නීය.

Comments