ඉතිහාසය නැවත පෙළ ගැසෙමින් තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් පිට පිට දෙවැනි වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කුරුමානම් අල්ලමින් සිටී. පසුගිය වසරේ සැප්තැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ලකුණු 23කින් පරාජය කරමින් පස්වැනි වරට ආසියානු කුසලානය මව්බිමට හිමිකර දුන් ශ්‍රී ලංකා පිල මේ වසරේ සැප්තැම්බරයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 16 වැනි ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉතිහාසය නැවත අලුත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. වෙනසකට ඇත්තේ මෙවර ප්‍රතිවාදියා පාකිස්තානය නොව ඉන්දියාව වීමය.
පසුගිය වසරේ අනුශූරයන් වූ බාබර් අසාම්ගේ පාකිස්තාන පිලට මෙවර සිදු වූයේ සුපිරි හතර වටයේ තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වී හිස් අතින් ගෙදර යෑමටය. ඔවුන් හිස් අතින් ගෙදර ගියා පමණක් නොව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල සිටි අංක එකේ ආධිපත්‍යය ද අහිමි කර ගත්තේය.
ඒ අනුව 2010 වසරෙන් පසු පළමුවතාවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා සිටිති. කැපී පෙනෙන කරුණ වන්නේ දශක 4කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන තරග ඉතිහාසයේ එතෙක් මෙතෙක් කිසිදාක ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගයක් නොතිබීමය.
අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුණ ගැසුණු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති 2010 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජයගත්තේ ලකුණු 81කිනි. රන්ගිරි දඹුල්ලේ පැවැති අවසන් මහා තරගයට ක්‍රීඩා කළ දෙපිලෙන්ම මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ඉතිරි වී සිටින්නේ විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ රවීන්ද්‍ර ජඩේජා පමණි.
වසර 1984 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ ආසියාවේ ක්‍රිකට් ශූරයන් තේරීමේ තරගාවලියේ මේ දක්වා කුසලාන 7ක් දිනා ගනිමින් වැඩිම කුසලාන ගොන්නට හිමිකම් කීමට ඉන්දියාව සමත් වී සිටින අතර, ශ්‍රී ලංකාව කුසලාන 6ක් දිනා දෙවැනි තැන පසු වෙයි. මෙවර හිස් අතින් ගෙදර ගිය පාකිස්තානය 2000 දී සහ 2012දී දෙවතාවේදී කුසලානය අත්කර ගත්තේය.
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළිපත්තේ සිට මේ ලිපිය ලියැවෙන්නේ ලබන මාසයේ ඉන්දියාවේ ආරම්භ වන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දස්කම් මුවහත් කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ සටන්කාමීත්වය හා දිරියසම්පන්නභාවය ගැන කියන්නටය.
ජයග්‍රාහී මාවතට පිවිසීමෙන් පසු කවදත් ආපසු නොහැරෙන ආකාරයේ එඩිතරකාමීත්වයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාවටම ආවේණික ගති පැවැතුම්වලින් සන්නද්ධ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භයේ සිටම ප්‍රතිවාදීන් හමුවේ දැක්වූයේ දැඩි සටන්කාමී ක්‍රීඩා විලාශයකි.
ඒ ගැන කියන්නට නම් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ පළමු තරගයටම යා යුතුය. එය පැවැත්වූයේ බංග්ලාදේශයට එරෙහිවය. පල්ලෙකැලේ පැවැති මේ තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක ජයක් ලැබූ අතර, ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කරමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්තේය. අනතුරුව සුපිරි 4 වටයේ බංග්ලාදේශය සමඟ පැවැති තරගය ලකුණු 21කින් ජයගත් ශ්‍රී ලංකා පිල වේලාසනින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඉන්දියාව හමුවේ ගිලිහී ගියේ ලකුණු 41කිනි.
පාකිස්තානයේ ඉරණම විසඳූ තරගය පැවත්වූයේ ඉන්පසුවය. එය වූකලී මෙරට ක්‍රීඩාලෝලීන්ට කාලයක් ගතවනතුරු සිහිපත් කළ හැකි අන්දමේ සුපිරි ජයකි. අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට නියමිත වූ බැවින් දෙපිලේහිම ක්‍රීඩකයන් තරග වැදුණේ ‘මියෙම්වා..! රැකෙම්වා..‘ තියරියට අනුවය.
වර්ෂාව නිසා දෙපිලටම ලැබුණේ ඕවර 42 බැගිනි. පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය අවසන් ඕවර 10 දී ලකුණු 102ක්ම උදුරා ගත්තේ පිටියේ හතර අතට පහර එල්ල කරමිනි. වර්ෂාවේ බලපෑම නිසා ශ්‍රී ලංකා පිලේ ඉලක්කය එක් ලකුණකින් අඩු වූ අතර, ලබාගත යුතුව තිබුණේ ද ඕවර 42කදී ලකුණු 252කි.
පාකිස්තානය වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ ඕවර 42කදී ලකුණු 252ක් හඹායෑම සුළුපටු අභියෝගයක් නොවූවද, ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් එවැනි අභියෝග සඳහා සැදී පැහැදී සිටින බව ජාත්‍යන්තර විචාරකයෝ කීහ.
ඉලක්කය සුළුපටු නොවීය. ශ්‍රී ලංකා පිලේ පිළිතුරු ඉනිමේ පළමු පන්දුවේ සිට 42 වැනි ඕවරයේ අවසන් පන්දුව දක්වා තරගකාරීත්වයෙන් පිරී තිබූ බැවින් ක්‍රීඩාලෝලීන්ට සිදු වූයේ අයාගත් මුවින් යුතුව පිටිය දෙස බලා සිටීමටය.
අනාවැකි පළ කරමින් විචාරකයන් සඳහන් කළ පරිදිම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල සතු වූයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ දහස් ගණනක ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ හද ගැස්ම මොහොතකට නතර කරමිනි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එය අවසන් මහා තරගයක උණුසුම හා අසිරිය විදහා පෑවේය.
මේ තරගාවලියේ පළමුවරට ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් සාර්ථක ආරම්භයක් ගත්තේය. ශහීඩ් අෆ්රිඩිගේ බෑනනුවන් වන ශාහින් ෂා අෆ්රිඩිට එළව එළවා ගැසුවේය. පාකිස්තාන පිලේ පන්දු යවන්නන්ට හිස එසැවීමට ඉඩ තැබීම පසු පෙළ පිතිකරුවන් පීඩනයකට ලක්වන සාධකයක් බව කුසල් මෙන්ම අනික් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද හොඳින්ම දැන සිටියේය. එබැවින් අවශ්‍ය වූයේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීම පමණක් නොව පන්දු යවන්නන් දුර්වල කිරීමය. කුසල් ජනිත් අවාසනාවන්ත දුවද්දී දැවීයෑමකට හසු වූයේ මේ දෙකම සාර්ථකව ඉටු කරමින් සිටියදීය.
අනතුරුව වගකීම කරට ගත්තේ අත්දැකීම් බහුල පිතිකරු කුසල් මෙන්ඩිස් ය. ඔහු පාකිස්තාන ඉනිම ඔසවා තැබූ මොහොමඩ් රිස්වාන්ගේ ඉනිම අබිබවා යන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ අතර, පසුපෙළ පිතිකරුවන්ට ඉලක්කය පහසු කරවීමට හැම අතින්ම උත්සාහ ගත්තේය. අනතුරුව පැමිණි සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක ශ්‍රී ලංකා පිලේ වාසිදායක තත්ත්වය රැක ගනිමින් පිත්ත හසුරුවීමට සමත් වූ අතර, ජයග්‍රහණයට අවසන් පන්දු 2 දී ලකුණු 6ක් අවශ්‍ය වූ මොහොතේ චරිත් අසංලක එල්ල කළ හතරේ පහර ක්‍රීඩාලෝලීන්ගේ උද්දාමය ඉහළ දැමීමට සමත් වූ එකකි. අනතුරුව ජයග්‍රහණය තහවුරු වූයේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට චරිත් අසංලක ලකුණු 2ක් රැස් කිරීමත් සමඟය.
එවැනි තියුණු තරගයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක බලා ගැනීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව විචාරකයන්ගේ අදහස විය.
මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන ගිය සටන්කාමී ක්‍රීඩකයෝ රැසකි. ඒ අතුරින් පිතිකරුවන්ගෙන් කැපී පෙනෙන දස්කම් පෑ කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසංලක සහ පැතුම් නිස්සංක ඉදිරියෙන්ම සිටිති. මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු අතර, ඉන්දියාවට එරෙහිව පැවැති සුපිරි 4 තරගයේදී චරිත් අසංලක කඩුලු 4ක් දවාලීමට සමත්වීම ද කැපී පෙනේ. ශ්‍රී ලංකා පිලේ අනාගත තරුව බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින් සිටින යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමට දායකත්වය ලබා දුන්නේය. ඔහු ඉන්දියාව සමඟ පැවැති සුපිරි 4 තරගයේදී පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 5ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් පාමින් නොදැවී ලකුණු 42ක්ම රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල තරගයෙන් පරාජයට පත්වූවද තරගයේ වීරයා සම්මානයට පාත්රවීමට ද සමත් විය.
අවසන් මහා තරගය ලෙහෙසි පහසු නොවන බව කවුරුත් දනී. ඉන්දියාව යනු ඉතිහාසය පුරාම ආසියාවේ දී ශ්‍රී ලංකාවේ ප්රබලතම ප්රතිවාදීයා ය. එහෙත් ශ්‍රී ලංකා පිල පහසුවෙන් පරාජය භාර ගැනීමට කැමැති කණ්ඩායමක් ද නොවන බැවින් කුසලානය අයිති කාට දැයි වේලාසනින්ම තීරණය කිරීම හෝ අනාවැකි පළ කිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ පවා ප්‍රවේශම් වි සිටිති. ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා අවසන් තරග 3දීම අර්ධ ශතක රැස් කරමින් ලකුණු අතරේ සිටී. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවකු වන විරාට් කෝලි පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් රැස් කරමින් දස්කම් අතින් ඉදිරියෙන්ම පසු වෙයි. ඉන්දීය පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කර්ගේ අනාගත බෑනනුවන් වනු ඇතැයි කවුරුත් කියන ඉන්දීය පිලේ කඩවසම් ආරම්භක පිතිකරු ෂුබ්මාන් ගිල් මෙවර තරගාවලියේදී අර්ධ ශතක දෙකක්ම රැස් කළේය. සුපිරි වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රා ද, සටන්කාමී පන්දු යවන්නා වන හර්දික් පාන්ඩ්යා ද, දඟ පන්දුවෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කරවන කුල්දීප් යාදෙව් ද සුළුකොට තැකිය නොහැකිය.
දෙපිලේහිම සියලු ආකාරයේ දස්කම් එක හා සමාන නොවූවද, සටන්කාමීත්වය හා පිටියේ වාසිය අතින් ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා පිල බව පසුගිය තරග කිහිපය පෙන්නුම් කර තිබේ. සැලසුම් සහගත බව කෙසේ වෙතත් අවශ්‍යම මොහොතේ ලකුණු රැස් කිරීමත්, හතරේ පහරක් අවශ්‍ය වෙද්දී හයේ පහරක් එල්ල කිරිමත්, පන්දු යැවීමේ හැකියාවට නොදෙවැනි පන්දු රැකීමත්, පළමුව පන්දුවට පහර දී නිදහසේ ලකුණු රැස් කිරීම වෙනුවට ලබාදෙන ඉලක්කය කෙතරම් වුව ද, හඹා ගොස් ජයගැනීමට ඇති හැකියාවත් නිසා ශ්‍රී ලංකා පිල ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන බව විචාරකයෝ කියති. එය කෙතරම් දුරට සාර්ථක වන්නේ දැයි තීරණය වන්නේ අවසන් මහා තරගය ආරම්භ වීමෙන් පසුවය. ඒ සඳහා තව පැය කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත. තරගයේ ජය පරාජය තීන්දු වන්නේ අවස්ථාවට අනුව ක්‍රීඩා කිරීමේ හැකියාව මතය. ආසියානු කුසලානයේ ශූරයන් වූවද, අනුශූරයන් වූවද මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිල දැක්වූ දස්කම් ලබන මාසයේ ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන තරගාවලියට කදිම උත්තේජනයක් බව නම් ඉඳුරාම කිව හැකිය.
ෆවුස් මොහොමඩ්, ඡායාරූප - ශාන් රූපස්සර