බ්‍රිතාන්‍ය ජාතිකයෝ මෙරටට දුම්රිය මැදිරි ආනයනය කළේ බ්‍රිතාන්‍යයෙන් වුව ද නිදහසින් පසුව ශ්‍රී ලංකාවට අවැසි පරිදි දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි ආනයනය කිරීමට අවකාශ ලැබුණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරටට නිදහස ලබාදීමට පෙර එංගලන්තයේ සිට ගෙන්වීමට සැලසුම් කළ දුම්රිය එන්ජින් 25ක් ලංකා ආණ්ඩුව විසින් 1950 වසරේ සිට 1954 දක්වා එංගලන්තයෙන්ම ආනයනය කරන ලදී. ඒ මෙරටට ආනයනය කරන ලද පළමු ඩීසල් දුම්රිය එන්ජින්ය. M 1 පන්තියට අයත් එම දුම්රිය එන්ජින් ආනයනය කළේ Mirrlees – National LTD සමාගමෙනි.
පසුව කැනඩාවෙන් 1954 වසරේ සිට M 2 පන්තියට අයත් දුම්රිය එන්ජින් ආනයනය කරන ලදී. මේ එන්ජින් ආනයනය මෙසේ සිදුවෙද්දී මෙරට දුම්රිය සේවයේ විශිෂ්ට දුම්රිය ඉංජිනේරුවරයකු වූ බී.ඩී. රම්පාල විසින් දුම්රිය එන්ජිමක් මෙරට නිෂ්පාදනයට කටයුතු කළේය. එහිදී M 3 කාණ්ඩය ලෙසින් දුම්රිය එන්ජින් දෙකක් දේශීයව නිෂ්පාදනය කරන්නට විය. එම එන්ජින් දුම්රිය මඟේ ධාවනය කරන්නටත් ඔහුට හැකි විය. එයින් දුම්රිය එන්ජින් ආනයනයට ගෙවන විශාල පිරිවැයක් අපට ඉතිරි කර ගැන්මට හැකියාව ලැබුණි.
එහෙත් ඒ කාර්යය එතැනින් නිම වූයේ එයට දිරි ගැන්වීමක් නොවූ නිසාය. එයින් පසුව දේශීය වශයෙන් දුම්රිය එන්ජින් නිපදවීමක් ගැන සඳහන් නොවිණි. එහෙත් 80 දශකයේ දෙමටගොඩ ‘මෝටර් ඇන්ඩ් ලී සිං ලංකා‘ නම් සමාගමක් දුම්රිය මැදිරි දේශීයව එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එම දුම්රිය මැදිරි මෙරට ඕනෑම පෙදෙසක ධාවනය කළ හැකි පරිදි සමාගම විසින් නිෂ්පාදනය කරන ලදී. ඒවා මෑතක් වන තුරු මහනුවර – බදුල්ල දුම්රියේ ධාවනය කෙරිණි.
එහෙත් කොමිස් කුට්ටි නිසා දේශීය නිපැයුම් පසෙකට විසිවිය. යළිත් රුමේනියාව, චීනය වැනි රටවලින් දුම්රිය මැදිරි ගෙන්වීමට පියවර ගත්තේය.
එයින් දුම්රිය මැදිරි ආනයනයට විශාල පිරිවැයක් වැය කරන්නට සිදු වූවා පමණක් නොව විවිධ රටවලින් දුම්රිය මැදිරි ආනයනය කිරීම නිසා අමතර කොටස් ආනයනය කිරීමද විශාල ගැටලුවක් වූයේ එකම උපාංගය රටවල් කිහිපයකින් ආනයනය කරන්නට සිදුවීම නිසාය.
අද වන විට මෙරට භාවිත මඟී දුම්රිය මැදිරි චීනය, කොරියාව, රුමේනියාව හා ඉන්දියාවෙන් ද භාණ්ඩ ප්‍රවාහන මැදිරි පාකිස්ථානයෙන් ද ආනයනය කර ඇති නිසා එකම උපාංගය ඒ සියලු රටවල්වලින් ආනයනය කිරීමට සිදු වේ.
දුම්රිය එන්ජින්වල තත්ත්වයද එසේමය. අද වන විට දුම්රිය එන්ජින් කැනඩාව, ජර්මනිය, ජපානය, එංගලන්තය, ඉන්දියාව, ප්‍රංශය, චීනය හා කොරියාව වැනි රටවලින් ගෙන්වා තිබේ. ඒවායේ අමතර කොටස් ගෙන්වීමද විශාල ගැටලුවකි.
මේ ගැටලු අස්සේ අපට මුහුණ දෙන්නට සිදුවූ විශාලතම අර්බුදය වූයේ දුම්රිය මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමයි. මැදිරි ආනයනය සෑම වසරකම කළ නොහැකි වුවත් මඟී ධාරිතාවට සරිලන ඉල්ලුම සැපයුමට හා ඉවත් කරන මැදිරි වෙනුවට මැදිරි සැපයීමට අවම වශයෙන් වාර්ෂිකව මැදිරි 50ක් හෝ දුම්රිය සේවයට එකතු කළ යුතුය. රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ මසකට දුම්රිය මැදිරි 25ක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කළ නමුත් පසුව ඒ තත්ත්වය මැදිරි 2ක් දක්වා අඩුවිය.
එම නිසා දුම්රිය මැදිරි ආනයනයට විශාල පිරිවැයක් දරන්නට සිදු විය. ඉන්දියාවෙන් පමණක් වසර දෙකකට පෙර ආනයනය කළ මැදිරි සංඛ්‍යාව 16කි. එක් මැදිරියක් මිලියන 180ක් පමණ විය.
මේ නිසා අබලන් දුම්රිය මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීම මෙරටදී සිදු කිරීමට පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට යෝජනා විය. ඒ අනුව මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණයට ටෙන්ඩර් කැඳවන ලදී. ඒ 2016 වසරේ නොවැම්බර් 16 වෙනිදාය. ඒ අනුව රුමේනියාවෙන් ආනයනය කර තිබූ දුම්රිය මැදිරි 160ක් හා කොරියාවෙන් ආනයනය කරන ලද එස් 8 කාණ්ඩයේ බලවේග කට්ටල දුම්රිය මඟී මැදිරි 40ක් පූර්ණ ප්‍රතිසංස්කරණයට සමාගම් 6කින් ටෙන්ඩර්පත් ඉදිරිපත් විය.
මැදිරි 200 අලුත්වැඩියා කිරීමේ ටෙන්ඩරය හිමි වුණේ තන්ත්‍රි සමාගමටය. ඒ අනුව එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ බී.ඒ.පී. ආරියරත්න විසින් එම ටෙන්ඩරය අනුමත වූ බවට 2016. 11.16 දිනැති අංක SRS/F.7352 ලිපියෙන් දැනුවත් කර ඇත. එහෙත් එම ටෙන්ඩර් ලබාදීමට විරුද්ධව ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ කොළඹ නැව් හා සම්බන්ධ ආයතනයක් විරෝධතා ගොනු කළේය. එම විරෝධතාව සම්බන්ධව විමර්ශනය කෙරිණි. විරෝධතාව පදනමක් නොමැති බව තහවුරු විණි. ප්‍රසම්පාදන කටයුතු නිසි අයුරින් සිදුව ඇති බවත් සෙසු සියලු කාර්යයන් විනිවිද බවකින් යුක්තව නිවැරැදිව සිදුව ඇති බව තහවුරු විය. ඒ අනුව ටෙන්ඩරය තන්ත්‍රි සමාගමට හිමි විය.
එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නිහාල් සෝමවීර විසින් තන්ත්‍රි සමාගම හා අදාළ ගිවිසුම අත්සන් කරන ලදී. ඒ 2017 මැයි මස 18 වෙනිදාය.
එයින් මැදිරි 200ක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීම පිණිස තන්ත්‍රි ආයතනයට ලබා දුන්නේය. එක් මැදිරියක් ආසන්න වශයෙන් රුපියල් මිලියන 12ක පමණ මුදලකට පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදු කළ යුතු විය. මෙහිදී දුම්රිය මැදිරියේ යට චැසි කොටස් සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අලුත්වැඩියා කිරීමට ටෙන්ඩරයේ සඳහන්ව තිබූ ලෙසින් ගිවිසුම අනුව සිදු කෙරිණි.
ඒ අනුව පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ දුම්රිය මැදිරි සහිතව මංගල ගමනක් කොළඹ සිට රාගම දක්වා සිදු කෙරිණි. එය ඉතා සාර්ථක විය.
එයින් පසුව තන්ත්‍රි සමාගමෙන් පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ දුම්රිය මැදිරි මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ, මඩකළපුව, බදුල්ල, මාතර, පුත්තලම ඇතුළු දිවයිනේ සියලු දුර බැහැර පෙදෙස් කරා ධාවනය කරන ලදී. ඒ දුම්රිය මැදිරි රැසක් එම දුම්රියන්ගේ තවමත් ධාවනය කෙරේ. ඒ ලෙසින් තන්ත්‍රි සමාගම දුම්රිය මැදිරි රුපියල් මිලියන 12කට පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන ලද්දේ ඒ වන විට අලුත් දුම්රිය මැදිරියක් මෙරටට ගෙන්වීමට රුපියල් මිලියන 100කට අධික මිලක් වැය වන තත්ත්වයක් යටතේය. පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ එම මැදිරි වසර 5කට අධික කාලයක් මේ දක්වා ඉතා හොඳින් ධාවනය කෙරේ. එමෙන්ම අලුත්වැඩියා කරන එම මැදිරි සඳහා වසර 2ක වගකීමක්ද ලබා දී ඇත.
පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ සියලු මැදිරි (මැදිරි 200) 2021 වසරේ මැයි 19 වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.
ඒ වන විට මැදිරි ආනයනය කළේ නම් රුපියල් මිලියන 35,000කට අධික මුදලක් රජයට වැය වන්නට ඉඩ තිබුණි.
එවන් තත්ත්වයකින් විදේශ විනිමය අතිවිශාල ලෙස ඉතිරි කර ගැනීම පිණිස තවත් දුම්රිය මැදිරි 100ක් එම මිලටම පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය හිමිව තිබුණි. ඒ පළමු මැදිරි 200 සම්පූර්ණයෙන්ම බාර දීමටත් පෙරය.
තවත් මැදිරි 100ක් පූර්ණ අලුත්වැඩියාවන්ට ලක් කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් කරමින් එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ ඩිලන්ත ප්‍රනාන්දු විසින් 2021 ජනවාරි 19 දිනෙන් යුක්තව SRS/F.7352/Vol II අංක දරන ලිපිය මඟින් තන්ත්‍රි සමාගම වෙත දන්වා තිබේ. එයින් පසුව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් එන්. බී. එම්. රණතුංග හා තන්ත්‍රි සමාගම අතර ගිවිසුමක් මැදිරි 100ක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් අත්සන් කරන්නේ 2021 වසරේ පෙබරවාරි 15 වෙනිදාය.
ඒ අනුව රුමේනියන් මැදිරි 86ක් හා එස් 8 බලවේග දුම්රිය මැදිරි 14ක් පූර්ණ අලුත්වැඩියාව පිණිස ලබා දීමට යෝජිත විය.
එම මැදිරි පූර්ණ අලුත්වැඩියාව පිණිස කටයුතු කරමින් සිටියදී රුපියල් 157ක් පමණ වූ ඩොලරය දෙගුණයකින් පමණ ඉහළ ගියේය. රුපියල් 320 සීමාව ද ඩොලරය ඉහළට ගොස් තිබූ නිසා පැරැණි මිලට මැදිරි පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදු කළ නොහැකි බව තන්ත්‍රි සමාගම විසින් දන්වා තිබුණි. ඒ කෙසේ වෙතත් පැරැණි මිලටම මැදිරි 40ක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කර ඇති අතර තවත් මැදිරි 10ක් සමාගම විසින් පූර්ණ අලුත්වැඩියාවට ලක් කර ඇත්තේ අලාභ සහිතව බව ද දන්වා තිබුණි.
එම නිසා ඉතිරි මැදිරි 50 පූර්ණ අලුත්වැඩියාවන්ට ලක් කිරීමට 75%ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බව සමාගම විසින් ඉල්ලීමක් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීම පිණිස දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්ද, ව්‍යාපෘති භාර නිලධාරීන්ද ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක්ද කැලණියේ තන්ත්‍රි සමාගම වෙත ගොස් අමතර කොටස් මෙන්ම ඒ හා සම්බන්ධ සෙසු සියලු කටයුතු විශේෂ නිරීක්ෂණයකට හා විමර්ශනයකට භාජන කරන ලදී. ඒ අනුව අදාළ අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු සියලු ක්‍රමෝපායයන් පරීක්ෂා කරන ලදී. එම කමිටුමේ නිර්දේශය වූයේ ඩොලරයේ ඉහළ යෑමට සාපේක්ෂව සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති නිසා මැදිරි පූර්ණ අලුත්වැඩියාවන්ට ලක් කිරීමට ගාස්තු 60%කින් ඉහළ නැංවීම සිදු කළ යුතු බවයි.
කමිටුවේ එම නිර්දේශය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට ලබා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. 2022.12.20 දිනැති MT/112/2022 දරන එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින්ද 2023.01.14 දින යොමු කළ අංක PFD/PMD/CM/2022/TRA/03/362 ලිපියෙන්ද මුදල් අමාත්‍යවරයා ලෙස එම අනුමැතිය සම්බන්ධව දැනුවත්ව තිබේ.
කොවිඩ් – 19 වසංගතය නිසා ඩොලරය ඉහළ යාමෙන් නිෂ්පාදන පිරිවැයද ඉහළ යාම නිසා මැදිරි අලුත්වැඩියාවට ලබා දෙන මිල ඉහළ නංවන ලෙස සමාගම කළ ඉල්ලීම අනුව එක් මැදිරියක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීමට රුපියල් මිලියන 21ක් (ආසන්න වශයෙන් ) ලබා දෙන බව සමාගමට දන්වා තිබුණි. ඒ අනුව අදාළ මැදිරි පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පැවතුණි.
එවන් තත්ත්වයක් මත මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය හිමි වූ ව්‍යාපෘතියක් විෂය භාර ඇමැතිවරයා ද නොදැන මැදිරි 50න් 21ක් පමණක් අලුත්වැඩියාවට ලක් කර තිබියදී එය නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට 2023.02.23 දිනැතිව යවන ලද ලිපියකින් දන්වා තිබේ.
MT/11/01/01/05 අංක දරන එම ලිපියෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත දන්වා ඇත්තේ රජයේ පවතින මූල්‍ය අර්බුදය සලකා 2023/12/31 වන විට එම මැදිරි 23 අලුත්වැඩියා කිරීමෙන් පසු (මැදිරි 23ක් ලෙස දක්වා ඇතත් ලබා දී ඇත්තේ මැදිරි 21ක් පමණි) ව්‍යාපෘතිය අවසන් කළ යුතු බවයි.
එසේම 2024 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව මෙහෙයුම් අවශ්‍යතාව පරිදි දුම්රිය මැදිරි නඩත්තුව ප්‍රතිසංස්කරණය හා නවීකරණය රත්මලාන කර්මාන්තශාලාව මගින් ඉටු කර සුදුසු වැඩසටහන් සකසා අමාත්‍යාංශය දැනුවත් කිරීම හා 2023/12/31 වන දිනට එම ව්‍යාපෘතිය නිම කර අදාළ ගොඩනැඟිලි හා ඉඩම් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට භාර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවද එහි දක්වා ඇත.
එසේම එම ගොඩනැඟිලි 2024 වසරේ සිට දෙමටගොඩ ධාවනබල අංශය යටතේ මැදිරි නඩත්තු හා පින්තාරු කටයුතු සඳහා යොදා ගත හැකි වන සේ වැඩසටහන් සැකසීම කළ යුතු බව ද එහි දැක්වේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් එම ලිපිය යොමු කර තිබේ.
එම ලිපිය ලැබීමෙන් පසුව ව්‍යාපෘති අධ්‍යක්ෂ (ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු) විසින් තන්ත්‍රි සමාගම වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ව්‍යාපෘතිය කොන්දේසි සහිතව ඉදිරියට කරගෙනයාම හා මැදිරි 23ක් අලුත්වැඩියා කිරීමෙන් පසුව 2023/12/31 දිනට ව්‍යාපෘතිය අවසන් කරන ලෙසට දැනුම් දී ඇති බවයි. එසේම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම 2023/03/01 දින හෝ එයට පෙර සිදු කළ යුතු බැවින් මේ පිළිබඳව ක්ෂණික අවධානය යොමුකර ඒ පිළිබඳව එකඟතාවය ප්‍රවාහන ලේකම්ට හා දුම්රිය සාමාන්‍යාධිකාරීට ද පිටපත් සහිතව කඩිනමින් තමා වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසද එම ලිපියේ දක්වා තිබේ.
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ඉන්දියාවෙන් 3 වන පන්තියේ දුම්රිය මැදිරියක් ආනයනය කරන්නේ නැව් ගාස්තු රේගු ගාස්තු වරාය ගාස්තු සමඟින් එක් මැදිරියක් රුපියල් මිලියන 180ක් පමණ වේ. චීනයෙන් එම මැදිරියක් ලබා ගන්නේ නම් මැදිරියක වටිනාකම රුපියල් මිලියන 233ක් පමණ වේ.
එවන් අධික විදේශ විනිමයක් අපේ රටින් ඇදී යද්දී වසර 4ක් තුළ මෙරටට රුපියල් මිලියන 42,500ක් ඉතිරි කරමින් දුම්රිය මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණට ලක් කිරීමට කටයුතු කළ ‘තන්ත්‍රි‘ සමාගමේ දුම්රිය මැදිරි පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීම එය අවසන් කරන ලෙස දැනුම් දීම නිසා ගිවිසුම්ගත තවත් දුම්රිය මැදිරි 29ක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කර රජයට රුපියල් මිලියන 5,200 ක් ඉතිරි කර දීම අහිමි වන තත්ත්වයක් උදා වී තිබේ.
මේ වන විට දුම්රිය මැදිරි ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය රැසක්ම අවලංගු කර තිබේ. ඒ අතර කොළඹ සිට තලෙයිමන්නාරම, මාතලේ, බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය රැසක් හා නගරාසන්න දුම්රිය රැසක් ද වේ.
මෙසේ අතරමඟ ව්‍යාපෘතිය අවසන් කිරීම එක් පුද්ගලයකු විසින් සිදු කළ බවක් නොපෙනේ. කුමන තත්ත්වයක් යටතේ හෝ අපට මතුවන ගැටලුව වන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ප්‍රවාහන ඇමැතිවරයාට පවා නොදන්වා එම කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත් කළ දුම්රිය මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණය අත්හිටුවීමයි. කැබිනට් අනුමැතිය හිමි වූ ව්‍යාපෘතියක් ඇත්තෙන්ම එසේ අත්හිටුවූවානම් එහි බරපතළ ගැටලුවක් තිබේ. එවැන්නක් කළ හැකිද? යන්න පළමුව මතුවන ගැටලුවයි. මේ ගැන කතා කළ යුත්තේ හා විමර්ශනය කළ යුත්තේ එම නිසාය.
තාරක වික්‍රමසේකර