Home » 38 වසරක් පුරා ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනාගත් නවලෝක රෝහල

38 වසරක් පුරා ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනාගත් නවලෝක රෝහල

by mahesh
September 16, 2023 12:30 am 0 comment

නිරෝගී බවේ වටිනාකම තේරුම් යන්නේ කුමනාකාරයේ හෝ රෝගයක් වැලඳුණු විටයි. රෝබියෙන් ගත මෙන්ම සිත ද ගිලන් වූවන්ට රෝහලකින් සැපයෙන සේවාව මහ මෙරක් වන්නේ එබැවිනි. එවැනි විටෙක මිල මුදලට වඩා නිරෝගී බව වටිනා බව දැනෙන්නට ගනී.

පෞද්ගලික රෝහල් අතර නවලෝක රෝහලට ප්‍රමුඛතාව හිමි වන්නේ ද නිතැතිනි. 1985 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වැනි දින එච්.කේ. ධර්මදාස මහතා නවලෝක රෝහල ආරම්භ කරන්නේ ජනතාවට වඩා හොඳ රෝහල් පහසුකම් හා වෛද්‍ය සේවාවන් ලබා දීමේ අරමුණෙනි. එහි 38 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ එය දිනෙන් දින වඩා දියුණු කරමින් අද පවතින තත්ත්වය දක්වා රැගෙන ආ නවලෝක රෝහල PLCහි වර්තමාන සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සමඟ අපි කතා බහ කළෙමු.

මෙතෙක් නවලෝක රෝහල පැමිණි සාර්ථක ගමන් මඟ පිළිබඳ කතා කළොත්…

ලංකාවේ දැඩි සත්කාර ඒකකයක් හිමි පළමු පෞද්ගලික රෝහල ලෙසින් ඇරැඹි නවලෝක රෝහල 1987 දී ලංකාවේ පළමු සී.ටී. ස්කෑනරය ගෙන ඒමෙන් සහ 1992 වසරේ දී පළමු මැමෝග්‍රැෆි ඒකකය පිහිටුවීමෙන් ද වැඩි විශේෂත්වයක් ළඟාකර ගැනීමට සමත් වුණා. 1993 දී ලැපරස්කොපි සැත්කම් කිරීම ආරම්භ කළා. 1994 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම හෘද කැතීටරකරණ රසායනාගාරය ස්ථාපිත කළා වගේම පළමු කිරීටක සත්කාර ඒකකය සහ කිරීටක ධමනි ස්ථාපිත කිරීමේ බයිපාස් සැත්කම් සිදු කළ පළමු පෞද්ගලික රෝහල වන්නේද නවලෝක රෝහලයි.

ලැපරොස්කොපික් සැත්කම් සහ උරස් සැත්කම් හඳුන්වා දුන් ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙසින් වගේම ශ්‍රී ලංකාවේ පළමු වරට CT Scanner සහ MRI ස්කෑනරයක් හඳුන්වා දුන් ෙපෟද්ගලික රෝහල ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා. මේ තත්ත්වයන් අනුව 1998 වසරේ දී ශ්‍රී ලංකා තත්ත්ව සහතිකය දිනාගත් එකම ෙපෟද්ගලික රෝහල වුණා වගේම 2000 වසරේ දී ISO සහතිකය ලබා ගැනීමට ද සමත් වුණා. එමෙන්ම ළදරු මිතුරු රෝහලක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් සම්මානිත වීම ද ඉතිහාසගත සිදු වීමක්.

2005 වසර වන විට ස්නායු ශල්‍යකර්ම සහ හෘද සැත්කම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ගැනීමට සමත් වුණා. එමෙන්ම ලේසර් අක්ෂි සැත්කම් හඳුන්වා දී එම තාක්ෂණයෙන් හොඳ සේවාවක් ලබා ගැනීමට රෝගීන්ට අවස්ථාව උදා කෙරුණා. ඉන්දියානු අනුබද්ධ ආයතන හා එක්ව ඉතා සාර්ථක ලෙස IVF ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුන්වා දුන්නා. මෙවැනි වටිනා සේවාවන් හඳුන්වා දී ඒවා සාර්ථකව දියත් කළ නිසාම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වුණත් රටපුරාම විසිරුණු ගනුදෙනුකරුවන් අප වටා එක් රොක් වී සිටිනවා.

2007 වසරේ දී ඇන්ජියොග්‍රැෆි සඳහා අති නවීන තාක්ෂණය සහිත පළමු Flat Panel Angiography system එක හඳුන්වා දීම සිදු වුණා. විකලාංග වෛද්‍ය විද්‍යාව සඳහා අවශ්‍ය වන Digital C-Arm X-Ray පද්ධතිය පළමු වරට හඳුන්වා දුන්නා වගේම ඩිජිටල් වීඩියෝ එන්ඩොස්කොපි පද්ධතිය ද මේ වසරේ දී ම හඳුන්වා දීම නිසා බොහෝ රෝගීන්ට තමාගේ රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ පහසුකම සැලසුණා.

තවදුරටත් අනෙකුත් පෞද්ගලික රෝහල් අතර නවලෝක රෝහල විශේෂත්වයකින් යුතු රෝහලක් වීමේ සාධක මොනවද?

ලංකාවේ ඇඳන් 400ක් සහිත ප්‍රථම පෞද්ගලික රෝහල ලෙස 2009 වසරේ දී නවලෝක රෝහල ඉතිහාස ගත වුණා. ඒවගේම නවීනතම තාක්ෂණයෙන් යුත් Hemodialysis යන්ත්‍රය ස්ථාපනය කළා. අමතර උපාංග සියල්ල සමඟ 16 Slice CT Scanner යන්ත්‍රය හඳුන්වා දීමට හැකි වුණා. විකිරණවේදය සහ නාරිවේදය සඳහා නව 4D ස්කෑනරයක් හඳුන්වා දීම ද විශේෂත්වයක්. මේ සියල්ල 2010 වසරේ දී සිදු කිරීමට හැකි වුණා. මේ ආකාරයේ නව තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර වසරින් වසර අලුත් කරමින් සේවාදායකයන්ට හැකි උපරිම සාර්ථක සේවාවක් ලබා දීමට නවලෝක රෝහල සමත් වීම එහි විශේෂත්වය වැඩි කිරීමට හේතු වුණ බව කියන්න පුළුවන්.

2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු සාර්ථක අක්මා බද්ධය සිදු කරීමේ පෞද්ගලික රෝහල වන්නේ ද අපේ රෝහලයි. සේවාදායකයන් සඳහා ජීවිතකාලය පුරාම භාවිත කළ හැකි සාමාජික කාඩ්පතක් හඳුන්වාදීම ද මෙම වසරේ දී සිදු කෙරුණේ පාරිභෝගිකයන්ගේ පහසුව සඳහාමයි. 2014 වසරේ දී දකුණු ආසියාවේ පළමු සහ ලොව වේගවත්ම නිවැරැදිම වාර්තා ලබා දෙන 640 Slice CT Scanner යන්ත්‍රය හඳුන්වාදුන්නා වගේම Neuro Navigation System එකක් ද ස්ථාපනය කෙරුණා. ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය හඳුන්වා දීම, තාක්ෂණික වශයෙන් උසස් තත්ත්වයේ නව මැමොග්‍රැෆි යන්ත්‍රයක් ස්ථාපිත කිරීම, වාර්ෂිකව ලබා දෙන රන් සම්මානවල සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මානය ලබා ගැනීම ආදී විශේෂත්වයන් රැසක් 2015 වසරේදී සිදු වුණා. මේ ආකාරයට වසරින් වසර රෝහලේ නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර සුත්‍ර වැඩි කිරීම මඟින් සේවාදායකයන්ට උසස් තත්ත්වයේ වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම අපේ රෝහලේ විශේෂත්වයක්.

ඔබ දකින ආකාරයට නවලෝක රෝහල රටේ ජනතාව අතර මෙතරම් ජනප්‍රිය වීමට හේතු මොනවද?

නවීන උපකරණ, යන්ත්‍ර සූත්‍ර තිබීම වගේම අප ලබාදෙන සේවාව නිසා කොළඹින් පිට ප්‍රදේශවල ජනතාවද පෞද්ගලික රෝහලකින් ලබා ගන්නා පහසුකම් ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් අපේ රෝහලට පැමිණෙනවා. ඕනෑම ප්‍රදේශයක සිට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නවලෝක රෝහල පිහිටා තිබීමත් ජනතාවගේ ප්‍රියතම රෝහලක් ලෙස කැමැත්ත දිනා ගැනීමට හේතුවක්. මේ නිසාම වසර 38ක් සපිරෙන මේ මොහොතේ ද ජනප්‍රසාදය දිනා ගනිමින් ජනතාවට වැඩිම හා ගුණාත්මක සේවාවක් ලබා දීමට නවලෝක රෝහලට හැකි වී තිබෙනවා. එ්වගේම දිවයින පුරා විසිරී තිබෙන නවලෝක රසායනාගාර සේවාවත් ජනතාව අතර වැඩි විශ්වාසයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

රෝහලේ උන්නතිය වෙනුවෙන් මෑත කාලීනව සිදු කළ හා කිරීමට අපේක්ෂා කරන කාර්යයන් ගැනත් සඳහන් කරනවා නම්…

රෝහලේ කාර්යමණ්ඩලයේ තත්ත්වය තවත් ගුණාත්මක කිරීම සඳහා රෝහලේ ම හෙද පුහුණු පාසලක් ආරම්භ කෙරුණා. මෙම පුහුණු පාසලෙන් පුහුණුව ලත් 38කට අධික හෙදියන් පිරිසක් පසුගිය වරේදීත් තම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වුණා.

රෝහලේ අඛණ්ඩ ව්‍යාප්තිය එහි සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් සමඟ මෑතකදී රෝහලේ නව ගොඩනැගිලි පර්යන්තයක් ඉදිකෙරුණා. මෙහිදී එකවර වාහන 500ක් නැවතිය හැකි මහල් කිහිපයකින් යුතු රථ ගාලක්, සුපිරි වෙළෙඳසලක්, සමස්ථ රසායනාගාර හා රෝග විනිශ්චය සේවා, ෆාමසි, බැංකුවක්, ආපනශාලාවක් සහ විශාල විවෘත අවකාශයක් සහිත විශේෂඥ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරුණා.

පසුගිය කාලය තුළ විවිධාකාරයේ සමාජ, ආර්ථික ගැටලු රට තුළ පැන නැගුණා. සාමාන්‍ය ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් කළ මෙවැනි කාල වකවානුවක පෞද්ගලික රෝහලක් ලෙස නවලෝක රෝහල එයට මුහුණ දුන්නේ කුමනාකාරයෙන් ද?

මේ ගත කළ කාලවකවානුව තුළ රටෙහි පැවැති විවිධ වූ ව්‍යවසන වලදී ද එයට මුහුණ දෙමින් තම ව්‍යාපාරය දියුණු කරමින් හා වසරින් වසර ලෝකයේ දියුණුවන වෛද්‍ය තාක්ෂණය මෙරටට ගෙන එමින් සේවාදායකයාට උපරිම සේවාවක් ලබා දීමට කැප වූ රෝහලක් ලෙසින් ද ඉදිරියෙන් සිටීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙයට වසර කිහිපයකට පෙර පැවැති කොවිඩ් වසංගත තත්ත්වයේ දී මෙන්ම දැනට පවතින දැඩි ආර්ථික අර්බුධ මධ්‍යයේ වුවද රෝහලට පැමිණෙන රෝගීන්ට උපරිම සාධාරණ සේවාවක් ලබා දීමට නවලෝක රෝහල මෙන්ම එහි කාර්ය මණ්ඩලය සමත් වුණා.

පසුගිය, රට නොසන්සුන්ව පැවැති සමයේ දී පෞද්ගලික රෝහල්වලින් දැඩි බලපෑමක් වූ රෝහල වුණේත් නවලෝක රෝහලයි. මොකද මාර්ග අවහිර වීම නිසා රෝගීන්ට වගේම වෛද්‍යවරුන්ටත් රෝහලට පැමිණීමට අපහසු කාලයක්. වෛද්‍යවරු වගේම කාර්යමණ්ඩලයත් ඇතැම් විට පාගමනින් පවා පැමිණ තම සේවාව රෝගීන් වෙනුවෙන් ලබා දීමට කැප වුණා. එමෙන්ම රෝහලට විවිධ සේවා සපයන ආයතනත් ඒ කාල වකවානුවේදී දැඩි දුෂ්කරතා හමුවේ වුණත් තම සේවය ලබා දීමට කටයුතු කළා. ඒවගේම එවන් අසීරු කාලවලදී පවා රෝහල ගැන විශ්වාසය තබමින් දිගින් දිගටම තමාගේ සේවාවන් නවලෝක රෝහල වෙතින් ඉටුකර ගැනීමට කටයුතු කළ සියලුම සේවාදායකයන්ට මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා.

නවලෝක රෝහල විදේශිකයන් අතරත් ජනප්‍රිය රෝහලක්. මේ තත්ත්වය ගැනත් කතා කරමුද?

නවලෝක රෝහලෙහි මෙහෙවර ලෙස දක්වනුයේ දයාව සමඟ සුවපත්වීම (Heeling with Feeling) යන්නයි. මෙය අපි රෝහලට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන්නක්. අපේ රෝහලට පැමිණෙන විදේශිකයන්ට වුවත් අපි ඉතා හොඳින් සේවා සැපයීමට කටයුතු කරනවා. අපේ රෝහලේ පවතින නවීන තාක්ෂණික උපකරණ හා අනෙකුත් පහසුකම් අන්තර්ජාතික මට්ටමේ පවතින නිසා විදේශිකයන් වැඩි ප්‍රමාණයක් රෝහලට පැමිණෙනවා. ඇත්තෙන්ම එය අපිට සතුටක්. මේ නිසා විදෙස් මුදල් ආකර්ෂණය කරගැනීමේ ව්‍යාපාරයක් ලෙසත් අපේ රෝහල ක්‍රියාත්මක වෙන බව කියන්න පුළුවන්.

අපේ රටේ ජනතාවටත් ජාත්‍යන්තර මට්ටමේ රෝහලකින් ලබා ගත හැකි පහසුකම් සැපයීමට හැකි වීම ගැන ඇත්තෙන්ම මම සතුටු වෙනවා.

වසර 38ක් යනු සුළු කාලයක් නොවේ. එම කාලය පුරාවට රෝහලේ විශිෂ්ටත්වය රඳවා තබා ගැනීමට හා දියුණු කිරීමට කැපවීමෙන් කටයුතු කළ සියලුම දෙනාටත් රෝහල කෙරෙහි දැඩි විශ්වාසයෙන් දිගින් දිගටම රැඳී සිටිමින් තම සේවාවන් රෝහල වෙතින් සපුරා ගත් සියලුම ජනතාවටත් මේ මොහොතේ දී ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රී ලාංකියකු සතු විශිෂ්ට ගණයේ පෞද්ගලික රෝහලක් ලෙස හැඳින්විය හැකි නවලෝක රෝහල දෙස් විදෙස් ජනතා ආකර්ෂණය දිනා ඇති රෝහලක් බව පැවසිය යුතුයි.

අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division