අංක 24/A, කිතලවලාන, මීරිගම ලිපිනයේ පිහිටා ඇති, Biogreen Technology Solutions (Pvt) Ltd යනු, මෙරට කෘෂිකාර්මික උපාධිධාරීන් දෙදෙනකු ගේ දැනුම සහ අත්දැකීම් මතින් ගොඩනැඟුණු දේශීය ජෛව දියර පොහොර නිෂ්පාදන සමාගමකි. එසේම ක්ෂුද්‍ර ජීවීන් මූලික කර ගත් කාබනික යෙදවුම් නිෂ්පාදන සමාගමකි.
ඔවුන් ගේ, Green Gro – Bio Fertilizer සන්නාමය යටතේ ජෛව දියර පොහොර නිෂ්පාදනය කරනුයේ වී, එළවළු සහ පලතුරු වගාව ඉලක්ක කරගෙන ය. එසේම කරදියාන වැනි කුණු කඳුවලත්, කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ස්ථානවලත් සිදු කරන කොම්පෝස්ට් ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් ගෙන් සමන්විත දියරමය පෝෂකයක් ලෙස, Compost Enhancer නම් මිශ්‍රණය ද, ඔවුන් විසින් නිපදවන තවත් සුවිශේෂී කාබනික යෙදවුමකි.
ඔවුන් Live – Gro නම් ක්ෂුද්‍ර ජීවී යෙදවුම නිෂ්පාදනය කරනුයේ කුකුළු කොටු සහ ඌරු කොටුවල සනීපාරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙනි. එනම්, අහිතකර ක්ෂුද්‍ර ජිවීන් ගේ ක්‍රියාවලිය යටපත් කර, හිතකර ක්ෂුද්‍ර ජීවීන් මඟින් දුර්ගන්ධය පාලනය කිරීම සඳහා ය. ඒ අනුව, මෙම Live – Gro ක්ෂුද්‍ර ජීවී යෙදවුම වඩාත් උචිත වන්නේ කුකුළු සහ ඌරු ගොවිපළ මෙන්ම, ගව පට්ටි පාලනයට ය.
Nature – Gro යනු, කර්මාන්ත ශාලාවලින් පිට කරන අපජලයේ දුර්ගන්ධය පාලනය කොට, අහිතකර නොවන අයුරින් පරිසරයට බැහැර කිරීම සඳහා යොදා ගත හැකි, හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇසුරින් නිෂ්පාදනය කරන සුවිශේෂී ක්ෂුද්‍ර ජීවී යෙදවුමකි. විශේෂත්වය වන්නේ, මෙම Bio Green Technology Solutions Pvt. Ltd යටතේ නිපදවන සෑම කාබනික යෙදවුමක් ම, ක්ෂුද්රජීවීන් ආශ්රිත නිෂ්පාදන වර්ග පමණක් වීම යි.
B.Sc.(Hons) – පේරාදෙණිය, MBA – කොළඹ, PGDMB – කොළඹ, යන අධ්‍යාපනික සුදුසුකම් සහිත කෘෂිකර්ම උපාධිධාරියකු වන, මෙම සමාගමේ අධ්යක්ෂ, අසංක නයනජිත් මහතා සිය ක්ෂුද්‍ර ජීවී පොහොර ව්‍යාපාරය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
” ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නීති රෙගුලාසිවලට අනුව සහ එම ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ, අපගේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය ආරම්භ කළේ 2021 වසරේ අග භාගයේ දී යි. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට දායක වෙමින්, ඊට අප සම්බන්ධ වූයේ 2022 යල කන්නයේ දී යි. ඒ දියර පොහොර ලීටර 50,000ක් නිෂ්පාදනය කොට, ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත ලබා දෙමින්.
ඒ වගේම, 2022 මහ කන්නයේ දී ලීටර 20,000 ක් අප නැවත රජයේ පොහොර සහනාධාර වැඩසටහන සඳහා ලබා දුන්නා. 2023 යල කන්නය සඳහාත් දියර පොහොර ලීටර 25,000ක් අප සූදානම් කළා. නමුත් මෙවර රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවූ නිසා, ඉන් කොටසක් කල් ඉකුත් වී විනාශ වී ගියා.
රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන්නේ නම්, කාබනික පොහොර නිෂ්පාදකයින් වන අප දැන් අපි විකල්ප මාර්ගවලට යා යුතුයි. මොකද, අප කර්මාන්ත ශාලා ඉදිකොට, යන්ත්රසූත්ර මිල දී ගෙන විශාල ආයෝජනයන් සිදු කර තිබෙනවා. ඒ නිසා අප දුක් මහන්සියෙන් ගොඩ නැඟූ මේ දේශීය ව්‍යාපාරය අත්හැර දමන්නට පුළුවන් කමක් නැහැ.
වැලිමඩ, බදුලු, බණ්ඩාරවෙල සහ නුවරඑළියේ එළවළු සහ අර්තාපල් වගා කරන ගොවි ජාලයක් මේ වන විට අප වටා ගොඩ නැඟී සිටිනවා. ඔවුන් අපගේ පොහොර භාවිතයෙන් ම සරු අස්වනු ළඟා කර ගත් ගොවීන් පිරිසක්. ඔවුන් අත්දැකීමෙන් දන්නවා, අපගේ Biogreen කාබනික පොහොරවලින් ලැබෙන ඉහළ අස්වනු පිළිබඳව. ඉතින් ඒ ගොවි ජාලය තවමත් අප වටා සිටින නිසා අපගේ කාබනික පොහොර අලෙවියේ දී, ඔහු ඔවුන් හොඳ ගැනුම්කරුවන් පිරිසක් බවට පත්ව තිබෙනවා. එපමණක් නෙවෙයි, ගමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හරහාත්, ගොවි සමිති හරහාත් අපගේ දියර පොහොර අලෙවි කිරීමට අප කටයුතු කළා සහ කරමින් සිටිනවා.
මොකද, අප ඒ වන විට කරමින් සිටි රැකියාවලින් ඉවත් වී, දැරූ ඉහළ තනතුරු අත්හැර දමා කාබනික පොහොර නිෂ්පාදනයට අත ගැසුවේ ව්‍යවසායකත්වයට ඇති කැමැත්තෙන්. රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දීමේ දී අපට ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා. අපිත් දන්න විෂය නේ කියා, බොහොම සතුටින් මේ වැඩේට අතගැසුවා. නමුත් එය කන්න දෙක තුනකින් නතර වේ යැයි අප කිසිසේත් හිතුවේ නැහැ.
මේ වැඩේට මාත් එක්ක එකතු වූ මගේ මිත්‍රයා, රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන ධනුක විජේරත්න. ඔහු තමයි අප ආයතනයේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ. අප දෙදෙනාම ශාක විද්‍යාව, ක්ෂුද්‍ර ජීවී විද්‍යාව ඇතුළු කාබනික සහ ක්ෂුද්රජීවී යෙදවුම් පිළිබඳ දැනුම සහ අත්දැකීම් තියෙන අය. අප දෙදෙනාම පුද්ගලික ආයතනවල වසර 12ක් වැඩ කළා. අපට ඕන කළේ ව්‍යවසායකයින් වෙන්න. දේශීය කර්මාන්තයක් හදා රැකියා අවස්ථා බිහි කරන්න. පුද්ගලික අංශයේ හොඳ රැකියාවන් ඉවත දමා දෙදෙනා ම කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වුණේ ඒ අනුවයි. දැන් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට නම් අපිට මේ ව්‍යාපාරය විවිධාංගීකරණයට ලක් කරන්න වෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මෙම Live – Gro සහ Nature – Gro කියන නවෝත්පාදන හඳුන්වා දී තිබෙන්නේ.
රජයේ කාබනික පොහොර වැඩසටහනේ දී අපගේ පොහොර ලබා දීමට හැකි වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට පමණයි. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අපේ පොහොර ලබා ගැනීමට කටයුතු කරනවා. නමුත් අලුත් ගොවි ජාලයක් ගොඩනඟා ගන්නට, රට වටා ගොස් කට යුතු දැනුම්වත් කිරීමේ වැඩසටහන් වැනි දෑ සඳහා තවත් විශාල වියදමක් දරන්නට සිදු වී තිබෙනවා. ඒ වගේම එය ඉතාමත් හෙමින් ගොඩ නඟාගෙන යන තත්ත්වයක්.
ව්‍යවසායකයන් ලෙස නවෝත්පාදන කරා යොමු වන්නට අප කැමැතියි. ඇත්තටම පාරිසරික ප්‍රශ්නවලට හොඳ විසඳුමක් ලෙස ක්ෂුද්‍ර ජීවීන් ආශ්රයෙන් අප හඳුන්වා දුන් Live – Gro සහ Nature – Gro කියන්නේ, සත්ත්ව ගොවිපළ සහ මහා පරිමාණ කොම්පෝස්ට් ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය වේගවත් කරවන සාර්ථක ප්රයත්නයක්. එහි පර්යේෂණ කටයුතුවල දී අප රජරට විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතව සහ වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව නිෂ්පාදන අංශය සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම, මා ඉගෙන ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ගේ මඟ පෙන්වීමත් මේ සඳහා නොඅඩුව ලැබුණා.
ඇත්තටම අපි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වැඩ ගන්නා ආයතනයක්. ජෛව පොහොර කියන අලුත් තාක්ෂණය ඉතා උසස් ලෙසම භාවිත කිරීම අපගේ විශේෂත්වය යි.
ඒ අනුව අපගේ නිෂ්පාදන තුළ පරිසරයේ, විශේෂයෙන් වායු ගෝලයේ තිබෙන නයිට්රජන් ගහේ මුලට ලබා දිය හැකි ක්ෂුද්‍ර ජීවීන් සිටිනවා. ඔවුන් හඳුන්වන්නේ නයිට්රජන් තර කිරීමේ බැක්ටීරියා ලෙසින්. ක්ෂුද්‍ර ජීවීන් සහිත අපගේ Biogreen කාබනික පොහොර කුඹුරට ගැසුවොත් ඒ අවට වාතයේ තිබෙන නයිට්රජන් ශාකයට උරා දෙන්නට එහි සිටින ක්ෂුද්‍ර ජීවීන්ට පුළුවන්. ඒ වගේම පොළොවේ ඇති පොස්පරස්, පොටැසියම් වැනි පෝෂක පාෂාණවල ඇති සාරය ගහට උරා ගත හැකි වන ආකාරයෙන් ද්‍රාව්‍යතාව ඉහළ නංවන්නට සමත් බැක්ටීරියා වර්ගත් අපේ දියර පොහොර තුළ අන්තර්ගතයි. ඒ විතරක් නෙවෙයි, පසේ තිබෙන කාබනික ද්‍රව්‍ය හොඳින් දිරාපත් කොට ඒවායේ තිබෙන පෝෂණය ගහේ මුලට අරන් දෙන්නට හැකියාව ඇති දිලීර වර්ගත් අපගේ කාබනික පොහොරවල අන්තර්ගතයි.
Biogreen, සොබා දහමේ ඇති හිතකර ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාවලිය වේගවත් කරන්නට සමත් සුවිශේෂී දියර පොහොරක් වන නිසා, අහිතකර ක්ෂුද්‍ර ජීවීන් පාලනය කර හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කොට මේ මහ පොළොවේත් පරිසරයේත් පෝෂණ චක්‍ර ටික යළි පණ ගන්වන්නට අපගේ Biogreen පොහොරවලට පුළුවන්.
මහා වනාන්තරවල රූස්ස ගස් හැදෙන්නේ මොන පොහොරක් වත් යොදා නෙවෙයි. මෙන්න මේ ස්වාභාවික ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය නිසයි. නොඉඳුල් වනාන්තරවලින් තෝරා බේරා වෙන් කර ගන්නා එවැනි හිතකර ක්ෂුද්‍ර ජීවීන් අපගේ නවීන රසායනාගාර තුළ වර්ධනය කොට තමයි මේ Biogreen කාබනික පොහොර අප නිෂ්පාදනය කරන්නේ.
එහි සාර්ථකත්වය පිළිබඳ එක් උදාහරණයක් කියන්නම්. 2022 යල කන්නය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් 120 දෙනකු නියැදියක් ලෙස තෝරා ගෙන රජරට විශ්වවිද්‍යාල සිසුන් 20 දෙනකු පැමිණ සමීක්ෂණයක් සිදු කළා.
එහිදී Biogreen කාබනික දියර පොහොර භාවිත කළ ගොවීන් කියා සිටියේ, අවුරුදු ගණනාවක් කුඹුරේ වෙලේ නොදැකපු තිත්ත පැටව්, දණ්ඩි පැටව් දැන් ඉන්නා බවයි. කක්කුටු පැටව් කුඹුරු දියේ බෝ වී ඇති බවයි. ගැඩවිල්ලන් ක්‍රියාත්මක බව කියනා ගැඩවිලි පස් දකින්නට ඇති බවත්, වී ගසේ මුල් පද්ධතිය ඉතා හොඳින් වැඩී ඇති බවත් ඒ ගොවීන් පැවසුවා. මේවා ඒ ගොවීන් පැවසුවේ තමන්ගේ ම අත්දැකීමෙන්. මහපොළොව සුවපත් වී ගෙන එන බව කියන්නට, ක්ෂුද්‍ර ජීවීන් තමන්ගේ රාජකාරිය ඉටු කරමින් සිටිනා බව කියන්නට ඊටත් වඩා මොන උදාහරණ ද.
මේ කාබනික පොහොර වැඩපිළිවෙළ, හරියට කරපු මිනිස්සු එක්ක තව කන්න දෙකක් වත් ඉදිරියට ගියා නම් හොඳ ප්‍රතිඵල රටටම ගන්නට තිබුණා. ඒ විතරක් නෙවෙයි, මේ වටා ගොඩ නැඟී තිබුණු රැකියා අවස්ථා සියල්ල දැන් ගිළිහී ගොස් තිබෙනවා. අපේ කර්මාන්ත ශාලාව තුළ වුණත් වැඩ කළ බහුතරය ග්‍රාමීය කාන්තාවන්. ඔවුන් බොහෝ විට, කුඩා දරුවන් දමා රැකියාවකට ටවුමට හෝ යා නොහැකි අම්මලා. නමුත් ඒ අය කණ්ඩායමක් විදියට අපේ කර්මාන්තය තුළ බොහොම කැමැත්තෙන් වැඩ කළා. සමහරු වැඩට ආවේ අතදරුවන් ද අරගෙනමයි. දරුවන් ද රැකගෙන ඒ අම්මලා ගෙදර ආර්ථිකය ගෙනියන්න කීයක් හරි හොයා ගත්තා. ඇත්තටම ගමක ආර්ථික චක්‍රය කැරකෙන හැටි අපි දෑහින් දැක්කා. ඒ තුළ හරි ආඩම්බරයක් දැනුණා. ඔවුන් මේක කළේ රස්සාවක් කරන ආකාරයට නෙවෙයි. නිදහසින්. සතුටින්. ඒ විදියේ විස්සක් විසිපහක් වැඩ කළ තැන දැන් ඉන්නේ දෙතුන් දෙනයි. ඒ විදියට වැඩ කළ සෘජු පිරිසට විතරක් නෙවෙයි, අමුද්‍රව්‍ය සැපයීමෙන්, බඩු භාණ්ඩ පටවපු බාපු අයට පවා ආදායම් අහිමි වී ගොස් තිබෙනවා. ඔවුන් අපිව පාරේ දුටුවත් මේ පාර පොහොර හදන්න ලැබුණේ නැද්ද කියා විමසනවා. අපිටත් දුකයි. ඒ නිසා තමයි, අපි නවෝත්පාදනවලින් හරි මේ කාබනික යෙදවුම් නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යන්නට විශාල වෑයමක් දරන්නේ.
ඒ වගේම, අපගේ මේ ජෛව කාබනික යෙදවුම් තව තවත් ගොවීන් සහ නිෂ්පාදකයින් අතරට යා යුතුයි. මොකද, හැබෑවටම මහ පොළොව සුවපත් කරන සද්කාර්යයට දායක වෙන්නට එයින් අපිටත් හැකියාව ලැබෙන අතර ම, ඒ ගොඩනැඟීම තුළ ගමේ අයට යළි ආර්ථිකයක් හදන්නට අවස්ථාවකුත් ලැබෙන නිසා.
ඇත්තටම අපි රජයෙන් කිසිවක් ඉල්ලුවේ නැහැ. අපි අපගේ දැනුම සහ අත්දැකීම් භාවිත කර සිස්ටම් එකක් හැදුවා. නමුත් ඒ සිස්ටම් එක දැන් නතර වෙලා. ඒ සිස්ටම් එක හරියට ක්‍රියාත්මක වුණා නම් පිට රටින් ගේන රසායනික පොහොරවලට යන විදේශ විනිමය අඩු වෙනවා. ඒ වගේම, මෙතෙක් කලක් මහ පොළොව විනාශ වී, ගොවීන් සහ ජනතාවත් ලෙඩුන් බවට පත් කළ ඛේදවාචකය ටිකෙන් ටික හරි නතර වෙනවා.
ඇත්තටම මේවා, රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා අය යළි යළිත් සිතිය යුතු බරපතළ කාරණා..”
ඉනෝකා පෙරේරා බණ්ඩාර