ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ ඉතා උත්සවාකාරයෙන් සැප්තැම්බර් 08 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එහිදි 2023 වසරේ ප්‍රශස්තම නවකතාව වෙනුවෙන් පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත්තේ නෝබට් අයගමගේ ‘කුර හඬෙකි වියැකෙන’නවකතාවය. මීට ප්‍රථම ‘කාල නදී ගලා බසී’ (2014 වසරේ දී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය), රචනා කරන හෙතෙම දෙවැනි නවකතාව ලෙස ‘සුර අසුර යාමය’ (2014) රචනා කරන්නේය. ඔහුගේ තෙවැනි නවකතාව වන්නේ ‘කුර හඬෙකි වියැකෙන’ (2022)කෘතියයි. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ඔහුගේ ‘කුර හඬෙකි වියැකෙන’ නවකතාවයි. මේ ඔහුගේ නිර්මාණ කාර්ය පිළිබඳව කෙරෙන විවරණයකි.
සාහිත්‍යකරණය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නොලැබූ නෝබට් අයගමගේ සිය මව කුඩා අවදියේ කියූ දුන් කතන්දර හා කවි ගායනා අසා ලිවීමට පුරුදු වූ යේය. එනිසාම කාටත් දැනෙන ඔහුටම අනන්‍ය වූ හද බසක් උරුම කොට ගැනීමට හෙතෙම සමත් විය. කුඩා අවධියේ සිටම ලිවිමට ආශා කළ නෝබට් මිහිර පුවත්පතට කවි, කෙටිකතා හා විවිධ ලිපි ලිව්වේය. මෙනිසා ව්‍යවහාර භාෂාවට ළෙන්ගතු නම්‍යශීලී හරවත් ලේඛන ශෛලියක් ඔහුට උරුම විය. ලේක්හවුස් ආයතනයේ දිනමිණ තරුණ අරුණට ලිපි ලියූ නෝබට් එඩ්වින් ආරිදාසයන් විසින් ඇරඹි නවයුගය පුවත්පතේ ‘දුහුනන් මැවුම් සඳහා’නම් ලද නවකයන්ට වෙන්කර තිබු පිටු අතර නෝබට්ගේ රචනාවලට ද ඉඩක් වෙන් විය. පසුව ධර්මසිරි ගමගේ විසින් ආරම්භ කළ යොවුන් ජනතා පුවත්පතේ පිටුව දෙක නෝබට්ගේ කෙටිකතා වෙනුවෙන් වෙන් කර තිබුණි. මේ සමයේ දී එයට ලියූ ‘දික්තලා දික්කසාද නොවූවාය’කෙටිකතාවට විශාල පාඨක ප්‍රතිචාර ලැබෙන්නට විය. ඔහුගේ මතකය අනුව ඒ 70 දශකයේදීය. ධර්මසිරි ගමගේ විසින් ඔහු බෙහෙවින් අගේ කිරීම නිසා ලේඛන කලාව කෙරෙහි හේ වඩ වඩා ආශක්ත විය. මේ කාලයේ ගුවන් විදුලි දැන්වීම් ප්‍රචාරක ආයතනයක පිටපත් රචකයකු ලෙස කටයුතු කිරීමට නෝබට්ට අවස්ථාව හිමි වන්නේය. මෙහිදී ගුවන් විදුලි වැඩ සටහන්වලට පිටපත් ලිවීමට ද නෝබට්ට පැවරිණි. මීට අමතරව ගුවන් විදුලි විචිත්‍රාංග වැඩසටහන් චිත්‍රපට පුර්ව ප්‍රචාරක දැන්වීම්වල පිටපත් රචනයට ද නෝබට් අවශ්‍යම අයකු විය. මෙනිසා චිත්ත රූප මැවෙන ආකාරයෙන් සිය ලේඛනය ප්‍රගුණ කර ගැනීමේ භාග්‍ය ඔහුට උදා විය.
80 දශකයේ මුල්භාගයේ සිළුමිණ පුවත්පතේ විශේෂාංග කතුවරයා වූ දයාසේන ගුණසිංහ එහි පළ කෙරුණු කවිමුතු පිටුව සඳහා නෝබට්ගේ කවි බොහොමයක් තෝරාගත්තේ ද මේ සමයේදීය. අනතරුව දිනමිණ පුවත්පතේ ‘එක් සත්‍යකතාවක්’ නමින් සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් කතා මාලාවක් ලිවීමට ගුණසිංහයන් විසින් තෝරා ගත්තේ ද නෝබට්වය. ඒ අතර තුර ගුවන් විදුලි නාට්‍ය රචනයද දිගටම කරගෙන ගිය නෝබට්ගේ ‘යකාගේ වංගුව’සහ ‘සිපෙට්කෝ මහත්තයා’ආදි ගුවන් විදුලි නාට්‍ය පිටපත් බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. මේ කාලයේ රූපවාහිනි වැඩසටහන්වලට ද සම්බන්ධ වූ නෝබට් ‘තුරු සෙවණ’, ‘වයිල්ඩ් ඒෂියා’ආදී වැඩසටහන් හඳුන්වා දුන්නේය.
නවසිය අනූව මුලදී දුරින් ඥාති වන යෞවනියක හා පෙමින් බැඳෙන නෝබට් 1993 දී ඇය හා විවාහ දිවියට එළඹෙන්නේය. ඇය නමින් රසිකා ය. විවාහ වී කෙටි කාලයකින් මේ කැදැල්ලට දියණියක එකතු වූවාය. බිරිය රසිකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ බැවින් 1996දී ස්වීඩනය බලා යාමට නෝබට්ට සිදු විය. ඒ යන සෑම අවස්ථාවකම පොත් කන්දරාවක් රැගෙන යාමට නෝබට් අමතක නොකළේය. ගෙදර කටයුතු සිදු කර ඉතිරි කාලයම ඔහු ගෙවා දැම්මේ මේ පොත්පත් සමඟය. වසර තුනක කාලයක් එහි රැඳී සිටි අයගම පවුල 1999දී පෙරළා ලංකාවට ආවේය. පැමිණ කෙටි කලකින් හෙතෙම වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් ආරම්භ කළේය. මේ කාලයේ රූපවාහිනී තිරපිටපත් රචනයට යොමු වූ නෝබට් ඓතිහාසික සිදුවීම් ඒ කාලවකවානුවලට අයත් සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් අධ්‍යයනය කිරීමට යොමු විය. ඔය අතරතුර නැවතත් බිරිය සමඟ විදේශ ගතවීමට ඔහුට හා දියණියන් දෙදෙනාට සිදුවිය. ඒ 2011 වසරේදීය. එවර ඔවුන් ගියේ බැංකොක්වලටය. ලොකු දුව බැංකොක් සරසවියකට යොමු කළ අතර පොඩි දුව එහි පාසලකට ඇතුළත් කළේය. බිරිය සේවයට ගිය පසු නෝබට්ට කළ හැකි එකම කටයුත්ත වූයේ පොතක් කියවීමය. එහි බොහෝදෙනා ඉංග්‍රීසි නොදැන සිටි බැවින් කිසිවකු සමඟ ළඟ ඇසුරක් පවත්වා ගැනීමද දුෂ්කර විය. නෝබට්ට ‘කාල නදී ගලා බසී’ පිළිබඳ අදහස හිතට පිවිසෙන්නේ මේ හුදකලාවත් සමඟය. කළු ගං ද්‍රෝණියේ පාරුකරුවන් විසින් සිදු කළ වෙළෙඳ කටයුතු හා ඔවුන්ගේ දිවිපෙවෙත මෙහිදී ඔහුට විෂය විය.
කළු ගං ද්‍රෝණිය ඔස්සේ ගලා ගිය ජල තරඟ මත පාරුව වාරු කර ජීවන ගමන පැද ගිය මිනිසුන්ගේ අනේක විද සුඛයන්, දුක්ඛයන් පිළිබඳව හේ පවසන්නේ සිතට නැඟුණු සිතුවිලි මත පාවී යමින් නොවේ. එකල පැවති සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ගති සිරිත් කාලානුරූපව හේ ගෙත්තම් කරන්නේ ඒ කාල වකවානුවට අයත් මූලාශ්‍ර පිරික්ෂා හාරාපාදා විමසුම් ඇසින් විමර්ශනය කරමිනි. එයට 2014 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමෙන්නේ එකී විමර්ෂණශීලි අධ්‍යයනයට වටිනාකමක් එක්කරමිනි.
අනතුරුව ඔහු අතින් රචනා වන්නේ ‘සුර අසුර යාමය’යි. මේ තුළ හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාලයක් පුරා අප සමාජ ස්ථරය දැඩිසේ කම්පනයට ද, තිගැස්මට ද ලක්කළ මානව සබඳතා පිළිබඳ ඛේදවාචකය මෙම කෘතිය තුළ දිග හැරේ.
‘කුර හඬෙකි වියැකෙන’ ඉන් අනතුරුව ඔහු අතින් ලියැවෙන නවකතාවයි. එය ද ලියැවෙන්නේ විදේශගතව සිටියදීය. ඒ 2019 වසර අගදීය. කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යෑමත් සමඟ 2021 ලංකාවට එන විට පරිච්ඡේද පහළොවක් පමණ ඔහු අතින් ලියැවී තිබුණි. මේ පරිච්ඡේද පහළොව ලිවීමට පෙර හෙතෙම විශාල අභ්‍යාසයක නිරතව තිබුණි. හෙතෙම පවසන ආකාරයට මේ සඳහා අවශ්‍ය මූලාශ්‍ර තොරතුරු මෙන්ම තවලමේ ගිය පුද්ගලයන්ගේ ජීවමාන තොරතුරු ද හේ රැස් කර තිබුණි. වලපනේ ජීවත්වන සිය වැඩිමහල් සොයුරියගේ උදව්වෙන් මෙම ජීවන පුවත් රැස් කරගෙන තිබූ හෙතෙම යටත් විජිත ආණ්ඩුකරණය, ඒහරහා ගොඩනැඟෙන නව ආර්ථික පසුබිම, ගෝ දානය, ජීව දානය, උඩරට සමාජය, පැරණි සිරිත් විරිත් ආදී බොහෝ දෑ ඔහු සිය කෘතියෙහි අන්තර්ගතය පොහොසත් කිරීම සඳහා අධ්‍යයනය කර ඇත.
‘කුර හඬෙකි වියැකෙන’ නවකතාවේ අන්තර්ගතය පිළිබඳව කරුණු විමැසීමේදී ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ආරම්භක සමයෙහි සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික පසුබිම පෙන්වා දෙනුවස් හම්බන්තොට සිට ලුණු රැගෙන කන්ද උඩරට බලා තවලමේ ආ තවලම්කරුවන්ගේ ජීවන අන්දරය ආශ්‍රයෙන් එය මනාව විචිත්‍රණය කිරීමට හේ උත්සාහ ගනී. එකල උඩරටට ලුණු සැපයීමේ වෙෙළඳ ඒකාධිකාරය ප්‍රභූ පවුල් දෙකක් අත පැවතිණි. ඒහෙත් මේ වෙළෙඳාම බොහෝම සාමකාමීව සිදු වූවක් නොවේ. මෙම ප්‍රභූ පවුල් දෙක අතර ඒකිනෙකා පරයා ධනවත් වීමේ අරමුණත් ඒ වෙනුවෙන් අනෙකා විනාශයට පත් කර හෝ ඔවුන් සතු දේ කොල්ල කෑම මඟින් හෝ අනෙකා යටපත් කර නැඟී සිටීමට ගන්නා උත්සාහය ද දැකිය හැකිය. ඒ අතරට මැදිවන තවලම් කරුවන්ගේ ඉරණම කවරාකාර වීද යන්න හේ අපට පෙන්වයි. වැවිලි වගාව මඟින් අවහිර කෙරුණු පටු කැලෑ පාරවල් ඔස්සේ තවලමේ එන මිනිසුන් මුහුණදෙන අනේක විද පීඩාවන් ඔස්සේ කතුවරයා එකල පැවති සමාජ සන්දර්භය මැනවින් චිත්‍රණය කරයි. ඇත්තෙන්ම එය අතීත ඇසකින් වර්තමානය දෙස බැලීමක් වැන්න. අදත් ප්‍රභූන් විසින් සිය බලකාමය පවත්වාගෙන යාම සඳහා රාජ්‍යකරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ නිසා ජනතාව මුහුණ දෙන අනේක විද පීඩාවන් ව්‍යංගයෙන් මේ තුළින් විශද කරයි.
එසේම මෙහිදී අපට මුණ ගැසෙන ප්‍රභූ පවුල් දෙක තුළින් කතුවරයා පෙන්වන්නේ ඔවුන් තුළ පවතින පුහු මාන්නය හා එය පවත්වාගැනීම වෙනුවෙන් ගන්නා නිරර්ථක උත්සාහයයි. මෙකී ව්‍යාජ පැවත්ම තුළ ප්‍රභූන් මෙන්ම නිර්ප්‍රභූන්ද එකිනෙකා පරයා අතෝරක් නැතිව විනාශය කරා ගමන් කරනු විනා ඉන් එහා පැවැත්මක් ඔවුන්ට නැත. උත්තරාරෝපිත ධනවාදයේ ගොදුරක් බවට පත්ව සිය අව්‍යාජ පැවැත්ම අහෝසි කරගත් ප්‍රභූන් මෙන්ම නිර්ප්‍රභූන්ද කතුවරයා මේ තුළ මනාව චිත්‍රණය කරයි.
ඕනෑම තරාතිරමේ අයකුට එකසේ කියවා රස විඳිය හැකි සුමට භාෂාවක් හේ මේ සඳහා වහල් කර ගනී. චරිත ගොඩනැඟීමේදි එකී අත්දැකීම් තුළ ජීවත් වෙමින් ඔවුන්ගේ මනෝභාව මනාව චිත්‍රණය කිරීමට හේ සමත් වේ. මීට එක් අතකින් ඔහු පෙර ගුවන්විදුලි පිටපත් රචනයේදී උපයාගත් දැනුම් සම්භාරය ඉවහල් වී යැයි පැවසිම සාධාරණය. මේ තුළ කතුවරයා ගොඩනඟන චරිත අවස්ථා අප මනසින් චිත්‍රණය කරනවා පමණක් නොව එකී චරිත සමඟ අනන්‍යව ඒ තුළ ජීවත් වීමට පටන් ගනී.
කතුවරයා පවසන ආකාරයට තමා තුළ කිසියම් වස්තු බීජයක් හටගත් විට ඒ තුළ නිමග්නව හිඳිමින් කරන නිරන්තර අභ්‍යාසයත් මුනිවරයකු බඳුව එකී චිත්ත චෛතසිකයන් ක්‍රමානුකූලව සාංදෘෂ්ටිකව පෙළගස්වීමෙන් සකසා ගන්නා මනෝගත වියමන රචනය සඳහා පාදක කරගනී. මින් රචකයා වාසි කිහිපයක්ම අත් කර ගනී. එනම් නැවත නැවත කප කපා සකස් කරනු වෙනුවට මනස තුළම එය සංස්කරණය කර ගැනීමට හැකි වීමයි. එනිසා නොනැවතී ගලා එන සිතුවිලි ධාරාව මනාව පිටපත් කිරීමට අවකාශ සැලසෙන බව හෙතෙම පවසයි. මෙලෙස එකී අභ්‍යාසයේ ඔහුට යෙදීමට හැකි වන්නේ ඊට ප්‍රථම ඔහු විසින් පූර්ණය කරන අධ්‍යනයන් නිසාය. මෙම අභ්‍යාසය නිසා සිද්ධි හා අවස්ථා ගොඩනැඟීමේදී ඒවා ඉතා විශ්වසනීය ආකාරයෙන් සාංදෘෂ්ටිකව ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වෙයි.
ආධුනික ලේඛකයන්ට මේ අධ්‍යයන අභ්‍යාසය ඉතා වැදගත්ය. කිසියම් වස්තු බිජයක් සිත තුළ හටගත් පසුව එය නිර්මාණාවේශයෙන් එළිදක්වන තුරු එය පොහොසත් නිර්මාණශීලී සාහිත්‍යමය රූපයක් බවට පෙරළන්නේ කෙසේ දැයි මින් වටහා ගත හැකිය. හෙතෙම පවසන්නේ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේදී ඒ සඳහා යොදාගන්නා භාෂාව තමන් තුළ ගොඩනැඟෙන වස්තු බීජය හා එකට ඈදුණු නිවුන් සහෝදරයෙක් බඳු බවයි. එසේ නොමැති වුව හොත් අප ගොඩනඟන කතාව පාඨකයා වෙත සමීප කිරීමට අසමත් වනවා මෙන්ම එය අසාර්ථක නිර්මාණයක් බවට පිරිහෙලයි. මේ බව පැරැණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් අවබෝධ කර ගත හැකිය. ජාතක කතා ලියූ හිමිවරුන් මෙන්ම සද්ධර්මරත්නාවලියේ කතුවරයා සිය නිර්මාණ කාර්ය සඳහා යොදාගත් භාෂාව ඒකී සමාජ විඥානයට සාපේක්ෂය. එකී භාෂා ශෛලියට අදත් අප ආශක්ත වෙමු. ඒ වගේම අප කුඩා කල පටන් අහන ඇසෙන යශෝධරාවත ගත්තත් මේ ලක්ෂණ දැකිය හැකියි. එනිසා කිසියම් වස්තු විෂයක් තෝරා ගැනීමේදී ඒ සඳහා උපයුක්ත කරගන්නා භාෂාව ඉතාම වැදගත් වේ. නිවැරදිව භාෂාවේ නිලය අල්ලා ගත් විට එය වඩාත් සුඛනම්‍යව නිර්මාණශීලීව යොදා ගැනීමට කතුවරයාට හැකි වේ. ඒ සඳහා නිරන්තර අභ්‍යාස කිරීම ඉතාම ඉතාම වැදගත් බව නෝබට් අයගමගේ අපට පෙන්වා දේ.
ලංකාවේ මේ වන විට නවකතාව සම්බන්ධයෙන් පවතින සාහිත්‍ය විචාරය ඉතාම ආදානග්‍රාහියි. මුල් අවදියේ බොහෝ සාම්ප්‍රදායික විචාරකයන් අපේ පොත් ඇගැයිීමට ලක්කළේවත් නැහැ. විවිධ ගුරුකුල, මිතුරුකුලක, සරසවි කුලක, අගනුවර කුලක, ප්‍රාදේශීය කුලක, එක එක කල්ලි කණ්ඩායම් හා එයාලාට අයිති කුකුළු කූඩුවල පැටවුනුත් එක්ක විතරයි ඔවුන් කටයුතු කරන්නේ. වෙන කිසිවෙක් ඔවුන්ගේ ඇගැයීමට පාත්‍රවන්නේ නැහැ. මේ නිසා බෝම දක්ෂ අංකුර ලේඛක ලේඛිකාවන් උපන් ගෙයිම මියැදෙනවා. නමුත් මා නම් විශ්වාස කරන්නේ කවර තරාතිරමක අයකු වුවත් ඔහු හෝ ඇයගේ කෘතිය හොඳ නම් ඊට රසික ප්‍රතිචාර හිමි වේ නම් ඒවා අගය කළ යුතු බවයි. සාහිත්‍යය විචාරය මේ විදියේ කුලකවලට ගොදුරු වුණොත් සාහිත්‍ය විචාරයට ඇති පිළිගැනීමත් අතුරුදන් වේවි.
රසික කොටුදුරගේ, ඡායාරූපය - නිශ්ශංක විජේරත්න සුදත් නිශාන්ත