Home » මිනිසාට වාස්තු විද්‍යාව දායාද කළ විශ්වකර්ම දිව්‍ය රාජයාගේ ජයන්ති දිනය අදයි

මිනිසාට වාස්තු විද්‍යාව දායාද කළ විශ්වකර්ම දිව්‍ය රාජයාගේ ජයන්ති දිනය අදයි

by mahesh
September 16, 2023 1:05 am 0 comment

කාර්මික ක්ෂේත්‍රයේ සෑම දෙනාගේම විශිෂ්ටම දවස ලෙස විශ්වකර්ම ජයන්ති දිනය හඳුන්වන්නට පුළුවනි. සියලු ඉදිකිරීම්, නිර්මාණ, කාර්මික, යාන්ත්‍රික කටයුතුවලට බල පැවැත්වෙන දේවතාවා ලෙස විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හැඳින්විය හැකිය. වර්තමානයේ ද ඕනෑම විශ්මයජනක නිර්මාණයක් දුටු විට ඔබ-අප සැම පවසන්නේ, ‘මෙය නම් විශ්වකර්ම වැඩක්‘ ලෙසයි.

හින්දු දේව පුරාණයට අනුව මහා බ්‍රහ්මයන්ගේ පුත්‍රයා ලෙස විශ්වකර්ම දේව පුත්‍රයා හැඳින්වේ. දිව්‍ය ලෝකය සියලු ශුභ ශක්තීන් සිටින ආකාරයට නිර්මාණය කරන්නේ විශ්වකර්ම විසිනි. ශ්‍රී ක්‍රිෂ්ණා විසින් පාලනය කරන ලද ඨවර්තා නගරය විශ්වකර්ම විසින් කරන ලද ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.

දේව පුරාණයට අනුව ඉන්ද්‍ර දේවිදුගේ ආයුධය වන වජ්‍රායුධය පවා නිර්මාණය වන්නේ විශ්වකර්ම අතිනි. දෙව්ලොව බොහෝ දෙවිවරුන්ගේ අවි ආයුධ, දේව මන්දිර වාස්තු විද්‍යානුකූලව සකසාදීම විශ්වකර්මගේ ප්‍රධානම කාර්යයි.

මනුෂ්‍ය ලෝකයට වාස්තු විද්‍යාව දායක වන්නේ ද විශ්වකර්ම දේව පුත්‍රයා ඔස්සේය. ඍෂිවරුන් හරහා ඒ ලබා දුන් වාස්තු විද්‍යාව වර්තමානය වන විට ලොව පුරා විවිධ නිර්මාණ සිදු කරමින් ඉදිරියට ගමන් කරමින් තිබේ. මෙහිදී වාස්තු යනු වත්මනෙහි අප කතා කරන නිවාස හෝ ඉදිකිරීම් දෝෂ නිවැරැදි කිරීම පමණක්ම නොවේ.

එදා පුරාණයේ වාස්තු විද්‍යාඥයා යනු සම්පූර්ණ ඉංජිනේරු කාර්යභාරය හා එහි වගකීම ගත් ගණිතඥයායි. නගර නිර්මාණ ශිල්පියායි. නව නිර්මාණ ශිල්පීය ඥානය සපිරි ඉදිකිරීම්, කැණීම් කාර්යයේ මහ මොළකරුයි. ඒ නිසා සෑම නව නිර්මාණයකම අයිතිය හිමි වන්නේ විශ්වකර්ම දේව පුත්‍රයාටයි.

විශ්වකර්ම දෙවියන්ගේ ජයන්ති දිනය 2023 සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබේ. පුරාතන සම්ප්‍රදායානුකූලව එදිනට සියලු කාර්යාල, වැඩබිම්, ආයතනවල තම යන්ත්‍ර සූත්‍ර පිරිසිදු කළ යුතුය. තම වාහන සෝදා ඉතා පිරිසිදුව තබාගත යුතුය. භාවිත කරන උපකරණ, මෙවලම්වලට හෘදයාංගමව ගරු කරන දිනය ලෙස ද විශ්වකර්ම ජයන්ති දිනය හඳුන්වන්න පුළුවනි.

2023 සැප්තැම්බර් මස 17 වනදාට විශ්වකර්ම ජයන්ති සැමරුම් නැකත් රටා දෙකක් පවතී. ඉන් පළමුවැනි කාල පරිච්ඡේදය නම් උදය 10.15 සිට දහවල් 12.26 දක්වා කාලයයි. දෙවන නැකත් කාලය වන්නේ සවස 1.58 සිට සවස 3.30 දක්වා කාලයයි.

මෙම නැකත් කාලයට පෙර තම වැඩ කරන තැන, සියලු උපකරණ, යන්ත්‍ර සූත්‍ර, ආයතන, කර්මාන්තශාලා ඉතා හොඳින් පිරිසිදු කර කහ හා පිනිදිය මිශ්‍ර පිරිසිදු ජලය ඉසිය යුතුයි. එමෙන්ම මල් මාල භාවිත කර උපකරණ ආදිය හැඩ කළ යුතුය. ඉන් අනතුරුව විශ්වකර්ම දෙවියන්ගේ පින්තූරයක් තබා නිතර වඳින පුදන පූජාසනය අබියස තබා එය මල්වලින් සරසන්න. නිතර තමා භාවිත කරන උපකරණ එම පූජාසනය ළඟ තැබිය යුතුය. අඬු, මිටි, යතුරු, පිහි ආදී ඕනෑම උපකරණයක් මෙහිදී තැබිය හැක. ඊට අමතරව පහනක්, කපුරු, හඳුන්කූරු අවශ්‍යය. පූජා ද්‍රව්‍ය ලෙස පලතුරු, රසකැවිලි, කිරිවලින් සාදන ආහාර, සීනි මිශ්‍ර ආහාර තැබිය යුතුයි. තම ආයතනයේ සියලු සේවකයන්ට බෙදා දිය හැකි ප්‍රමාණයක් තබා ගැනීම යෝග්‍යයි. පූජාවෙන් පසු තම නිවසේ අයටත්, වැඩ කරන සේවක සේවිකාදීන්ටත් පූජා ද්‍රව්‍ය බෙදා දිය යුතුයි.

ඉන් අනතුරුව පහන් දල්වා දැනුම, නව සිතිවිලි, නව නිර්මාණශීලී කුසලතා, විශ්ව දැනුම අපේක්ෂා කරන්න.

ඕම් විශ්ව කර්මනේ නම : 21 වරක්

විශ්ව කර්මාය නමෝ නමඃ

ශිල්පකාරී නමෝ නමඃ

මංගලකාරී නමෝ නමඃ

චක්‍රධාරී නමෝ නමඃ (හත්වරක්)

ඉහත මන්ත්‍ර තාලයට ගායනා කරන්න. තම සේවා ස්ථානයේ සියලු සේවකයන්ට එදින දිවා ආහාරය ආයතනයේ වියදමින් ලබා දී එම පින විශ්වකර්ම දෙවියන්ට අනුමෝදන් කිරීම ද සකල සෞභාග්‍ය හා තම නිර්මාණ කෙරෙහි සකල ලෝවැසියන්ට ආකර්ෂණය, ආශිර්වාදය ලැබීමට හේතු වනු ඇත.

විශ්වකර්ම දෙවියන් වැඳීමෙන්, පුද පූජා පැවැත්වීමෙන් තම නිර්මාණ කරන අයට තම නිර්මාණ ශක්තිය දියුණු කර ගැනීමටත්, නිවාස, ගොඩනැඟිලි ඉදිකරමින් සිටින අයට ඒවායෙහි දෝෂ දුරු කර ගැනීමට අවශ්‍ය නිවැරදි මාර්ගයත් විවර වේ.

දැනට නිවාස ඉදිකරගෙන යන අය හෝ තම නිවසේ දෝෂ ඇතැයි සිතන ඕනෑම අයෙකුට විශ්වකර්ම දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් විශ්වයේ සුබ තොරතුරු ලැබී තම දෝෂ දුරු කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදි වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division