වැහි පොද තවමත් වරින්වර ඇද හැලේ. ශරීරය සහ මනසද ඉතා සන්සුන්ය. උණුසුම් කහට කෝප්පයක් සකස් කරගත් මම බිත්ති කණ්ඩිය උඩ වාඩි ගතිමි.
මාටින් ගුරුන්නාන්සේ අතට කහ කැබැල්ලක්ද වතුර වීදුරුවද ගෙනවිත් දුන්නේ ගෝලයාය. එහෙත් ඔහු එය බිත්ති කණ්ඩියෙන් තබා වේවැල් පුටුව ගෙන සිරිල්ගෙන් ඉල්ලා ගත් සුදු රෙදිකඩ ඊට එළන ලදි. කලින් සූදානම් කරගත් කෙසෙල් දලුවක්ද සිරිල්ගෙන්ම ඉල්ලාගෙන එය දෙකට නමා කොටසක් පුටුවට සහ කොටසක් පුටු ඇන්දට සිටින සේ සකස් කළේය. ගෝලයා අමු කහ කැබැල්ල සෝදා පෙති ගසා වතුර වීදුරුවට දමා එය මුවග තබා මොනවදෝ මුමුණා ඊට පසු ගුරුන්නාන්සේ සකස් කරමින් තිබූ පුටුවට සහ නිවසේ සියලු තැන්වලට ඉසින්නට විය.
කෙසෙල් දලු උඩින් රටාවකට බුලත් කොළ ඇතිරූ ගුරුන්නාන්සේ අතට පුවක් මල් කිනිති සපයා දුන්නේ ගෝලයා විසිනි. ගුරුන්නාන්සේ විසින් පුවක් මල් කිනිතිවලින් පුටුවේ රටාවක් සාදා තවත් පුවක් මල් කිනිති තුනක් පුටු ඇන්දේ එල්ලන ලදී. ඒ මැද තැඹිලි ගෙඩියක් දෙපස කපා තබා ඒ වට දෙහි ගැට ගොඩක් තබන ලද්දේ “දෙහි ටික හොඳයි ගැට තත්ත්වයේ තියෙනවා” යැයි කියමිනි. පුටුව දෙපසින් මැටි පහන් දෙකක් තැබූ ඔහු පුටුව පාමුලද බුලත් කීපයක් තබා තවත් මැටි පහනක් සකස් කරනවා පෙනේ.
“අර ඇට ඇටි ටික රත්කර ගත්තනම්’ ඒ එක්කම කරවල කෑල්ලක් පුච්ච ගමු… බිත්තරෙත් බැදල ගමු… ආ… ආ… රබන් හම් කෑල්ලත් අරන් එමු“ ගුරුන්නාන්සේ ඒ ටික කීයේ ගෝලයාටය. ඒ අතර සිරිල්ට කියා පොල් කටුවක් ගෙන්නා ගත් ගුරුන්නාන්සේ ඔහුගේ ඉණේ තිබුණු පිහියෙන්ම එහි කුරුට්ට සුද්ද කරන බව පෙනුණි. ඊට දුම්මල කුඩු ටිකක් දමා පොල්කටුව මුවට ළංකර මොනවදෝ මතුරන්නට විය. ඒ අතර පුලුටු ගඳ ගසන බිත්තර, ඇට ඇටි, පුච්චන ලද රබන් හම් කැබැල්ල මෙන්ම කරෝල කෑල්ලද පොඩි පිඟානක තබාගෙන ආ ගෝලයා එය සකස් කරන ලද පුටුව ආසන්නයේම බිත්තිය උඩින් තැබුවේය.
“කොලුවො දාමු අඟුරු ටිකක්“ ගුරුන්නාන්සේගේ මුව අසල තිබු පොල් කටුව සකස් කරන ලද පුටුව යට තබමින් පැවසුවේය. සිරිල් සහ ගෝලයා දෙදෙනාම අඟුරු පුච්චන අතර ගුරුන්නාන්සේ මා ඇමතුවේ “කොහොමද කමල් මහත්තයා” යනුවෙනි. “හොඳින් ඉන්නවා ගුරුන්නාන්සේ” යැයි මම පිළිතුරු දුනිමි. ඉස්කෝලේ හාමිනේ වහා එතැනට පැමිණියාය.
“අපේ ඉස්කෝලේ මහත්තයාට ඔය සාත්තරේ ඉගෙන ගන්න ආසයි කියන්නේ” ඇය පැවසුවේ මා දෙසද බලමිනි.
ගුරුන්නාන්සේ නිසොල්මන්ය. “බැරි කමකුත් නැහැ ඉතින්“ ඔහු කීවේ මිනිත්තුවක් පමණ නිසොල්මනේ සිටීමෙන් අනතුරුවය. “මං කීවේ පුතේ ගුරුන්නාන්සෙගෙන් පුතාට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා” ඇගේ සුපුරුදු ළෙන්ගතු වචනම ගලා ආයේ නිරායාසයෙන්මය. “ගුරුන්නාන්සෙව බලන්න මම කවද විතර එන්නම්ද?“ මම ඇසිමි. “එන සතියේ ඉරිදා උදේ මම ඉන්නව… එදා හොඳයි” ඔහු එය කීවේ නිකම්ම නොවන බව සිතේ. අඟුරු ටික සූදානම්ය. ගුරුන්නාන්සේ ආසනයේ පහන් දැල්වීය. තුණුරුවන් වඳින හඬ ඉතා පැහැදිලිය. ඒ අතර වෙනම පොල්කටුවක තිබූ කට්ටකුමංජල් අඟුරු කබලට වැටේ. ඒ සුවඳවත් බව අමුතු හැඟීමක් ඇති කරයි.
මාටින් ගුරුන්නාන්සේගේ ගෝලයා බිත්ති කණ්ඩිය මත තිබූ පුලුටු බඳුන ගොටුවක ලා ගුරුන්නාන්සේගේ අතට දෙන ලදී. ඔහු එය මල් බුලත් පුටුවේ තබා අසුන යට තිබූ දුම්මල පොල්කටුව අතට ගත්තේය. යකුන්ගේ නම් ඇසේ. තැනින් තැන වඩා ශබ්දයෙන් ඇසේ. පෙර තිබූ සෞම්‍ය හඬ නැත. සුවඳ නැත. දුම්මල සුවඳ රෞද්‍ර හඬ සමඟ මුසුව ඇති සෙයකි. විනාඩි පහක් හයක් පමණ දුම්මල දුම සහ ඒ මන්ත්‍ර හඬ ඇසුණි. පසුව ක්‍රමයෙන් මැතුරුම වෙනස් වී එක අතක දෙහි ගෙඩි මත තබා අනෙක් අතින් නවගුණ වැල දරා මතුරමින් සිටී.
මේ සිදු වන්නේ දෙහි කැපුමක් එහෙමත් නැත්නම් දෙහි ‘හලියක්’ බව මා අසා දැනගත්තේ සුමනාවතිගේ ස්වාමිපුරුෂයා වන සිරිල්ගෙනි. සුමනාවතිගේ උණ හැමදාම දවල් 12 වන විටත් රාත්‍රී 12 වන විටත් වැඩිවන බවත් ඇඟ ගිනියම් වී විකාරයෙන් මෙන් කියවන බවත් සිරිල් කීවේ කනස්සල්ලෙන්ය.
ඔය අතර ගෝලයාගෙන් මම ප්‍රශ්නයක් දෙකක් ඇසුවෙමි. “ඇයි අර කට්ටකුමංජල් දුමයි… දුම්මල දුමයි වෙන වෙනම වාර දෙකකදී ඇල්ලුවේ?“ ඔහු මගේ මුහුණ බැලුවේ මා අමුතු සත්ත්වයෙකු සේ දැකීමෙන් දෝ යැයි සිතුවත් ඔහු ඊට හොඳ පිළිතුරක් දුන්නේ පාණ්ඩිත්‍යක් මවාගෙන බව මට වැටහිණි. “ඔය සුවඳ දුම් අල්ලන්නේ දෙවියන්ට කන්නලව් කරන වෙලේ… එක ඉවරවෙලා තමයි යක්කුන්ට අඬගහන්නේ… යක්කුන්ට දිෂ්ටි අඬ ගහනකොට තමයි දුම්මල ගන්නේ” ඔහුගේ ගෝලයා එක දිගට කියාගෙන ගියේය.
මාටින් ගුරුන්නාන්සේ නවගුණවැල ආසනයෙහි තබා නැවතත් දුම්මල දුම් දෙමින් මොනවා හෝ මතුරයි. ඔහු එතනින් නැගිට්ටේ “වතුර බේසමක් ගේමු” කියාගෙනය. සිරිල් කලින්ම වතුර බේසමක් සූදානම් කර තිබුණේ ගෝලයාගේ කීම අනුවය. “ලෙඩා මෙහෙට එක්කරගෙන ආවනම්” “එන්න පුළුවන් නොවැ” ඒ ඔහුගේම හඬය. දෙහි ආසනය අසල බිම එළුෑ පැදුරෙහි දෙපා දිගුකර ඇයට වාඩි වන ලෙස පැවසුවේ ගෝලයාය. වතුර බඳුන පා මුලය. මල් අසුනේ තිබූ ගිරය සහ දෙහි ගෙඩියක් දෝතින් ගෙන මල් අසුනට නමස්කාර කළ ගුරුන්නාන්සේ ගිරයට සිරකර ගත් දෙහි ගැටය සුමනාවතීගේ හිස මත තබා “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” නමස්කාර පාඨය තුන් වරක්ම කීවේය.
සුමනාවතීගේ හිසට තබා දෙහි ගැට 3ක් කැපූ බව මතකය. ගුරුන්නාන්සේ ඊට පසු නළල, බෙල්ල, දෙවුර, දෑත, පපුව, උදරය, උකුල් සන්ධි, දණහිස් මත තබා දෙහි ගැට කැපුවේය. අවසානයේදී හිස සිට ක්‍රමයෙන් පා ඇඟිලි දක්වා ගෙනෙමින් දෙහි ගැට සියල්ල කපා නිම කළේ කිසිම මහන්සියක් නැති ගාණටය. ඊට පසු ඔහුගේ මල්ලෙන් ගත් බඳුනක තිබු නූල් පොටක් ගෙන සුමනාවතීගේ කර බැන්දේ බුදු ගුණ කියමිනි.
“දැන් ඉතින් ආයෙත් උණ එන්නෙ නෑ. අද විවේකෙන් ඉඳලා හෙට ඉඳන් වැඩ කොරන එකයි ඇත්තේ” ගුරුන්නාන්සේ සුමනාවතීට එසේ පැවසුවේ මිත්‍රශීලිවය. “මට දැන්ම උණ ටිකක් අඩුයි වගේ ගුරුන්නාන්සේ” ඇය පැවසුවේ හිමිහිටය.
මේ අතර සිරිල් බුලත් අතක පඬුරු තබා සුමනාවති අත තැබුවාය. ඇය බුලත් දී ගුරුන්නාන්සේට වැන්දාය. ගුරුන්නාන්සේ මා දෙසට හැරී “කමල් මහත්තයා එහෙනම් ලබන ඉරිදා ඒ පැත්තෙ එන්න” එද්දි ඉරි නැති පොතක් එහෙම අරගෙන එන්න පුළුවන් නම් හොඳයි” ඔහු මා හට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වන්නට තීරණය කර ඇතැයි මට සිතුණේ එවලේය. එහෙත් එන ඉරිදා දක්වා ඉවසිය යුතුව ඇත.