Home » ජන්ම පත්‍ර පරීක්ෂාවේදී විමසිය යුතු පාලක ග්‍රහයෝ
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 30

ජන්ම පත්‍ර පරීක්ෂාවේදී විමසිය යුතු පාලක ග්‍රහයෝ

by mahesh
September 16, 2023 12:55 am 0 comment

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එහි නිරවද්‍යතාව වැදගත් වෙයි. ඒ නිසා ජන්ම පත්‍රයක් ලැබුණ වේලාවේ පාලක ග්‍රහයන් කවුරුන්දැයි බලන්න. එම පාලක ග්‍රහයන් ජන්ම පත්‍රයේ ලග්න භාව ස්ථුටය හිමි ග්‍රහයන්ට සමාන වන්නේනම් ජන්ම වේලාව නිවැරදි යැයි නිගමනය කළ හැකිය. තවද සඳුගේ ස්ඵුටය හිමි ග්‍රහයන්ද පාලක ග්‍රහයන් සමඟ සමාන වන්නේනම් ජන්ම වේලාව නිවැරදි යැයි තවදුරටත් තහවුරු කළ හැකිය.
ජන්ම පත්‍රයේ වැදගත්ම ස්ථානය ලග්නයයි. ලග්න භාවයේ ආරම්භය වන්නේ අදාළ මෙහොතෙහි නැඟෙනහිර ක්‍ෂිතිජයේ උදාවූ භාව ස්ථුටයයි. ජන්මියා ගැන, ඔහුගේ කටයුතු සහ ඔහුගේ හැකියාවන් ගැනද, ජන්මියාගේ පෞරුෂත්වය සහ පෞද්ගලිකත්වය සමඟ ඔහුගේ හැකියාවන් සහ දුබලතාවන්ද, ශරීර ස්වභාවය සහ ඔබ ගැනද, ඔබගේ සෑම ක්‍රියාදාමයකම ආරම්භය පිළිබඳවද පෙන්වා දෙයි. ශරීර සෞඛ්‍යය සහ ආයු ප්‍රමාණයද ඔබගේ ඉදිරිපත්වීම ගැනද කියයි.


මෙහි පෙන්වන සියලුම දේවල් ඔබ ගැනය. එහෙයින් ඔබගේ නිවැරදි හැඳුනුම්පත ඔබගේ ලග්න භාවයයි. ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 1 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යයි. ඔහුගේ සියලු උත්සාහයන් සාර්ථක කර ගනියි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 2 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් බොහෝ මුදල් ලබයි. සේවයක යොමු වී මුදල් උපයයි. හැම කටයුත්තකින්ම ලාභ උපයා ගනියි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 3 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් යහපත් මානසික මට්ටමක් ඇති අයෙකි. කෙටි ගමන්වල යෙදෙන අයෙකි. සහෝදරාදීන් සමඟ එකමුතුය.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 4 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් සියලුම අධ්‍යපන කටයුතු සාර්ථක කර ගනියි. දේපළ සහ යාන වාහන සහ පාරම්පරික දේපළ ලබයි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 5 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ක්‍රීඩා කටයුතුවලට උනන්දුවක් දක්වයි. අනුමානයෙන් කරන දේවල්වලට සහ ව්‍යාපාරවලට යොමු වෙයි. දරුවන් සමඟ එකමුතුය.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 6 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් රෝගාබාධවලට ගොදුරු වෙයි. සුවය ලබා ගැනීමට කල්ගත වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රමාණවත් නැත.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 7 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් සතුරන් ඉවත්ව යයි. බිරියට හෝ සහකරුවන්ට ලැදි වෙයි. සහකරුවන් සමඟ හවුල් ඇතිකර ගනියි.


1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 8 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් අනතුරුවලට සහ සිත්තැවුල්වලට ගොදුරු වෙයි. ආයාසයකින් තොරව මුදල් ලබා ගැනීමට හැකි වෙයි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 9 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් පියාට ලැදි වෙයි. විදේශ සංචාරවල යෙදෙයි. පර්යේෂණ කටයුතු ආදියට උනන්දුය. ආගමට ලැදිව කටයුතු කර සාර්ථක ප්‍රතිඵල ලබයි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 10 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා උසස් තත්ත්වයකට පත් වෙයි. ගෞරව සහ උසස් වීම් ලබයි. ජනප්‍රිය වෙයි. දේශපාලනය සඳහා යොමු වෙයි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 11 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් විශාල ලාභ ලබයි. පරාජයන් ඇති නොවෙයි. රෝගාබාධ පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරන නිසා ඉක්මනින් සුවය ලබයි.
1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 12 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් බලාපොරොත්තු නොවූ හැම ආකාරයකම කරදර ඇති වෙයි. සියලු දෙනාගෙන්ම ඊර්ෂ්‍යාව, කරදර සහ බාධක ඇති වෙයි.
මේ ජන්ම පත්‍රය හිමි අයගේ 1 වැනි භාවය මඟින් ලබන ප්‍රතිඵල පරීක්‍ෂා කරන්න.
මෙම ජන්ම පත්‍රයේ 1 වැනි භාවයේ උපස්ථානය හිමි ශනි ග්‍රහයා 11 වැනි සහ 12 වැනි භාව අධිපතිව, 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා මේ ජන්මියා විශාල ලාභ ලබයි. පරාජයන් ඇති නොවෙයි. රෝගාබාධ පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරන නිසා ඉක්මනින් සුවය ලබයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division