Home » මල් විතරක් නෙවෙයි ලස්සන…මල් වැරූ කටු අත්තක වුණත් අමුතුම ලස්සනක් තියෙනවා

මල් විතරක් නෙවෙයි ලස්සන…මල් වැරූ කටු අත්තක වුණත් අමුතුම ලස්සනක් තියෙනවා

ප්‍රවීණ ලේඛක ශාන්ත කුමාර විතාන

by mahesh
September 16, 2023 12:30 am 0 comment

ශාන්ත කුමාර විතාන නාමය මුලින්ම දකින්නේ

පුවත්පත් ඇසුරේ ය. රූපය නොදුටු කාලයක ඔහුගේ රුව පාඨක හදවත්හි සිත්තම් වූයේ ප්‍රේමණීය මිනිසකුගේ

ඡායාමාත්‍රයක් ලෙසිනි. ශකුවි ලෙසින් කවියෙන් හේ කළ ප්‍රේමණීය ආමන්ත්‍රණය කවියෙන් නොනැවතී නිර්මාණ ධාරා කිහිපයක් ඔස්සේ ගලා ගියේ ය. ඔහුගේ නවතම නිර්මාණ වෑයම සිප්පි මාලය නවකතාවයි. මහනුවර ම සුන්දර කරන වැව පිටුපස ඇති දුක්බර කතන්දරයෙන් කම්පනයට පත් වෙන ඔහු සිය කම්පනය අකුරු අතර දවටා පාඨක අපට තිළිණ කරන්නේ සිප්පි මාලය ලෙසිනි. මේ සංලාපය එකී අනුවේදනීය කතන්දරයත්, ඔහු ව්‍යාවෘත නෙක නිර්මාණ වපසරි පිළිබඳවත් ය.

l ‘සිප්පි මාලය’ ලියැවෙන්නේ නුවර වැව තැනීමේ පුවත මුල්කර ගනිමින්. මේ ඉතිහාස කතාව නවකතාවක් විදිහට ලියන්න වස්තු බීජය ලැබෙන්නෙ කොහොමද?

දුරාතීතයේ දවසක පෙම්වතිය මුණගැහෙන්න මහනුවරට ගිය මම ඇය සමඟ නුවර වැව රවුමෙ ඇවිද ගියේ අප්‍රමාණ සතුටකින්. වැව වටා යන බෝට්ටුවකටත් නැඟලා රවුමක් ගියේ නුවර වැවේ සිසිලසින් ගතත් වැවේ අලංකාරයෙන් සිතත් සනහාගෙන. ඉන්පස්සෙ මම නුවර වැවටත් පෙම් කරන්න පටන් ගත්තා කිව්වොත් එය බොරුවක් නෙවෙයි.

පස්සෙ කාලෙක මාධ්‍යවේදියෙක් වුණාට පස්සෙ නුවර වැව වගේම උඩවත්ත කැලේත් ඇවිද්දෙ පාරිසරික සුන්දරත්වය හා අතීත තොරතුරු ගවේෂණය කරමින්. එහිදි මම දැනගත්තා අපට පෙනෙන සුන්දර නුවර වැවේ නොපෙනෙන අඳුරු පැත්තකුත් තිබෙන බව. මම ඒ අතීත තොරතුරු පුවත්පතට ලිව්වා. පසුකලෙක මගේ පළමුවැනි සංචාරක සටහන් පොත වූ ‘කිඳුරු කොදෙව්ව’ ලියද්දි ඒ පොතේ පරිච්ඡේදයක් ලෙසත් නුවර වැවේ කතාව ‘කිරි මුහුද’ නමින් සැකෙවින් ලිව්වා.

නමුත් මේ කතාව නවකතාවකට අපූරුයි කියලා මට හිතුණෙ පසුගිය වසරක මහනුවර පොත් දැක්මට ගිහින් දවස් කිහිපයක් එක දිගට නුවර වැව අද්දර ගෙවද්දි. ඒ වෙලාවෙ මගෙ හිතට ආ හැඟීම තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො මේ වැව හැදුවෙ අගමෙහෙසිය වූ වෙන්කත රෙංගම්මාල් දේවිය සතුටු කරන්න, නමුත් ඒ වෙලාවෙ වැව හදනවට එරෙහිව පැන නැඟුණු විරෝධතා, කුමන්ත්‍රණ ආදිය මැද්දෙ පාලකයකුත් පෙම්වතකුත් විදිහට රජු ගත කළ වසර දෙක අපූරු නවකතාවක් නේද කියන දේ. ඉතින් මම, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නුවර වැව තනවපු කතාව නවකතාවක් විදිහට ලියන්න පටන්ගත්තා.

l ඉතිහාසය නිර්මාණයකට පාදක කර ගනිද්දි ලේඛකයාට පැනවෙන සීමා මොනවාද?

ඉතිහාසය කියන්නෙ කාලයෙන් වැළලී ගිය සත්‍ය සිදුවීම් සමුදායක්. හැබැයි කාලයෙන් වැළලුණාට ඒ සිදුවීම් සියල්ලම කොතැන හරි සැඟවී තියෙනවා. සමහරවිට සෙල් ලිපියක, නැත්නම් පුස්කොළ පොතක, නැත්නම් පොළොව යට, එහෙමත් නැත්නම් කාගෙ හරි මතක ගබඩාවක වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඉතිහාසය කියන දේ කිසියම් මොහොතක මතු වෙනවාමයි. ඒ නිසා ඉතිහාසය පදනම් කරගෙන නවකතාවක් ලියද්දී අපිට හිතුමතේ ඒ කතාව ලියන්න බැහැ. සත්‍ය තොරතුරු මතම ලියැවෙන්න ඕනෑ.

එහිදී ඒ ඉතිහාසය පුළුල් ලෙස හදාරන්න වෙනවා. යම් තැනක ලියැවුණු පළියටම ඒ ලියැවුණු සියල්ල නිවැරැදි නොවෙන්නත් පුළුවන්. ඒ නිසා විමර්ශනය කරලා ඇත්ත නැත්ත ගැනත් සොයා බලන්න වෙනවා. අපි නවකතාවකින් කරන්නෙ කතාවක් කීම වුණත් ඒ කතාවෙදි ඉතිහාසය විකෘති කරන්න අපිට කිසිම අයිතියක් නැහැ.

l ‘සිප්පි මාලය’ලියද්දි ඔබ පාදක කරගත් මූලාශ්‍ර මොනවද?

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය පිළිබඳ ලියැවුණු පොතපත බොහොම විමසිල්ලෙන් කියෙව්වා. නමුත් කියන්නම ඕනෑ, මහනුවර ඉතිහාසය එක එක පොත්වල සටහන් වෙන්නෙ විවිධ විදිහට බව. විශේෂයෙන් කාල වකවානු හරියට ලියැවිලා නැතිකම. ඒවගේම සමහර සිද්ධි විවිධාකාර ලෙසින් ලියැවී තිබීම. මේ නිසා බොහොමයක් කාරණා පිළිබඳව මගේ මිතුරු මහාචාර්යවරුන් සමඟ දීර්ඝ වශයෙන් කතා කරන්නත් වුණා.

මම එක නිදසුනක් විතරක් කියන්නම්. ඒ තමයි ඇරැව්වාල නිලමේගෙ මරණය. එය පිළිමතලව්වේ මහාදිකාරම විසින් රහසේ කරවන ලද්දක් කියා ඇතැම් තැනක කියවුණත් තවත් තැනකදි කියවෙන්නෙ, රජ අණක් සේ හඟවා ප්‍රසිද්ධියේ දුන් දඬුවමක් ලෙසයි. ඔහුව කන්දකින් තල්ලු කර මැරවූ බව තැනක සටහන් වෙද්දි, වධ දී බෝගම්බර වැවේ ගිල්වූ බව තව තැනක කියැවෙනවා. ඉතින් නවකතාකරුවා තම නිර්මාණයට යොදා ගන්නෙ මේ පුවත් දෙකින් කෝකද කියන ගැටලුවට මැදි වෙනවා. මෙවැනි පරස්පරතා තව බොහොමයක්ම තියෙනවා.

l ඉතිහාසය ප්‍රතිනිර්මාණකරණයට දක්වන ඔබේ කැමැත්ත ඇති වෙන්නෙ කොහොමද?

මම උසස් පෙළ විභාගය කළේ ගණිත විෂය ධාරාවෙන්. මම විභාගෙන් අසමත් වෙනවා. පස්සෙ සිංහල, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය කියන පහසු විෂයයන්ට අදාළ පොත් කියවල සහ පසුගිය ප්‍රශ්න පත්තරවලට උත්තර ලියලා පුරුදු වෙලා පමණක් කලා අංශයෙන් විභාගෙට මුහුණ දෙනවා. සියලු විෂයයන්ට ‘ඒ’ සාමර්ථ්‍යය අරන් විභාගෙන් සමත් වෙලා කැලණිය සරසවියට ඇතුළත් වෙනවා. සරසවියෙදිත් ජනසන්නිවේදනය, සිංහල සමඟ මම ඉගෙන ගන්නෙ ඉතිහාසය. ඒ නිසා මම ඉතිහාසයට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රේමය තමා මේ තවමත් හදවතේ පොපියන්නෙ.

l නුවර වැව බොහෝ දෙනකුගේ හදවත සොරාගත් තැනක්. හැබැයි නුවර වැව නිර්මාණය කිරීමේ පුරාවෘත්තය නුවර වැව තරම් සුන්දර නැහැ.

සහතික ඇත්ත. මගෙ මේ නවකතාව කියවපු එක් සංවේදී පාඨකයෙක් මට කිව්වෙ ආයෙ නම් නුවර වැව දිහා බලන්නෙවත් නැහැයි කියලා. ඒ තරමටම නුවර වැව පසුබිමේ තියෙන්නෙ දුක්බර සිදුවීම් රාශියක්..

රාජසිංහ රජතුමා නුවර වැව තැනීම පිළිබඳ යෝජනාව රාජ සභාවට ඉදිරිපත් කළ හැටියෙම පිළිමතලව්වෙ මහාදිකාරම ඊට විරෝධය පළ කළා. බෝගම්බර වැව තියෙද්දි, සරු සාර කුඹුරු යායක් වනසා තවත් වැවක් හදන්නෙ මොකටද කියලා මහාදිකාරම ප්‍රශ්න කළා. ආහාර, වැටුප් නොදී රට වැසියන්ගෙන් වැඩ ගන්නවා කියලා විරෝධය පළ කළා. වැවේ වැඩ කළ සෙනග කුලප්පු කරලා වැව තැනීම නතර කෙරෙව්වා. එතකොට කෝප වුණු රජතුමා රජ අණට පිටුපෑව මිනිස්සු ගෙන්නලා වැව රවුමෙ උල තියලා මැරෙව්වා. ඒ මිනිසුන්ගෙ මිනීවලින් හැමූ දුගඳ නගරය පුරා දවස් ගණන් යනතුරු පැතිර තිබුණා. එය තනිකරම භීෂණයක්.

වැව හදන්න මුල්වුණු ඇරැව්වාල අදිකාරම, රජතුමා ඝාතනය කරන්නත් සැලසුම් කරනවා. නමුත් ඒ සැලසුම අසාර්ථක වෙනවා. අන්තිමේ පිළිමතලව්වෙටත් සිදුවෙන්නෙ මැරුම් කන්න. ඔය වගේ ඇඟ ලොමු දැහැ ගැන්වෙන සිද්ධි ගොඩක් මේ පසුපස තියෙනවා. ඒ සිදුවීම් කියවන කොට නම් මටත් හිතෙන්නෙ නුවර වැව කියන්නෙ කිසිසේත්ම සුන්දර තැනක් නෙවෙයි කියලම තමා.

l විවිධ ලෙස කතාබහට ලක්වෙන ප්‍රේම කතා ලියන්න ඔබ රුචිකත්වයක් දක්වනවා. මේ වනවිට එවැනි කතා අටක් ඔබ ලියා තිබෙනවා?.

ඔව්.. මම ප්‍රේම කතා ලියන්න රුචිකත්වයක් දක්වනවා.. කුමරි පත්තරේ කර්තෘ මණ්ඩලයට එක්වුණාම ප්‍රේමය ගැන අත දිග ඇරලා ලියන්න පුළුවන් වුණා. මොන තරම් ද කියනවා නම් සහෝදර පුවත්පත් කලාවේදියෝ මට ප්‍රේම කතා චක්‍රවර්ති කියලා නමකුත් පට බැන්දා. ඔය අතරෙ නවකතා ලියන්න පටන් ගත්තා. ඒ නවකතාවල වගේම කවි, ගී ලියන්න පටන් ගත්තම ඒවායෙ තේමාව වුණෙත් ප්‍රේමයමයි. හැබැයි ඉතින් මේ ප්‍රේමය මට නම් කවදාවත් වරදක් කළෙත් නැහැ.

සාමාන්‍ය ආදර කතා පනහක් විතර ලිව්වට පස්සෙ තමයි ජගත් පෙම් කතා පොත් පෙළ ලියන්න ගත්තෙ. භාරත පෙම් කතා, චීන පෙම් කතා, හිරු උදා රැජින, හයිද්‍රා කුමරිය, සිත්තර බිසෝ, කාම්බෝජයේ ලස්සන මල වගේ අනුවේදනීය සත්‍ය පෙම් කතා කිහිපයක්ම ඒ පොත් පෙළට පාදක වුණා. ඒ වගේ පෙම් කතා හොයාගන්න එක හරි අමාරුයි. ඒ සඳහා රට රටවල ඉතිහාසය හදාරන්න වෙනවා. ඉන්පස්සෙ ඒ සිදුවීම් පසුපස ලුහුබඳින්න වෙනවා. තොරතුරු ගවේෂණය කරන්න වෙනවා. එහිදී බොහෝ විට හොයාගන්න ලැබෙන්නෙ පිටු දෙකතුනක සටහනක්. ඒ පෙම්කතා මගේ කරගෙන පිටු දෙතුන් සීයක් ලිවීම පහසු කාර්යයක් වුණේ නෑ.

l ඔබේ නිර්මාණකරණයේදී පොදු ලක්ෂණයක් වෙන්නේ ප්‍රේමය ගැන වන අප්‍රමාණ හැඟීම්. නිර්මාණකරණයයි ප්‍රේමයයි එකක් කියලද හිතන්නෙ?

මොන දේ ලිව්වත් ඒ ලියවිල්ලට ප්‍රේමය ටිකක් මුසු වුණාම අමුතු ලස්සනක් ලැබෙනවා. හරියට කිව්වොත් මාළුවකට ලුණු ඇඹුල් ටිකක් එකතු වුණාම රසවත් වෙනවා වගේ. කතාවක් තියෙනවා ආදරය යනු ජීවිතයයි, ජීවිතය යනු ආදරයයි කියලා. ඇත්තටම ජීවිතයයි ප්‍රේමයයි එකක් වුණාම ජීවිතේ හරි සුන්දරයිනෙ. ඉතින් මම ප්‍රේමය ගැන ලියනවා. ප්‍රේමණීයව ජීවත් වෙනවා. ඒ ජීවිතේ කැපිලි කෙටිලි නැහැ. ඉරිසියාවක් නැහැ. තරගයක් නැහැ. වෛරයක් නැහැ. ඒ නිසා දුකකුත් නැහැ. පුළුවන් විදිහට හැමෝටම උදව්වකුත් කරගෙන සතුටින් ජීවත් වෙනවා. මලකින් විතරක් නෙවෙයි මල් වැරූ කටු අත්තකත් සෞන්දර්යයක් දකින්න පුළුවන්කමකුත් ලැබෙනවා. එතකොට වසන්තයයි ගිම්හානයයි කියලා වෙනසක් දැනෙන්නෙත් නැහැ.

l පුවත්පත් කලාවේදියකු වීම නිර්මාණකරණයට පහසුවක් වුණාද?

සත්තකින්ම. මම පුවත්පත් කලාවේදියෙක් නොවුණා නම් ලේඛකයෙක්වත්, නවකතාකරුවෙක්වත්, ගීත රචකයෙක්වත් වෙන්නෙ නැහැ. එහෙම නම් උපාධිධාරී ගුරු පත්වීම අරන් කොහේ හෝ පාසලක උගන්වාවි. නමුත් පුවත්පත් කලාවේදියකු වීම නිසා ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ලියන්න පුළුවන්කම ලැබුණා. ප්‍රේමය මා සොයාගෙන එන්න පටන් ගත්තා. දහසක් විශේෂාංග, කවි, ගීත, කතා ලියන්න පුළුවන්කම ලැබුණා.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division