Home » දන්නා මුරලි ගැන නොදන්නා කතාව ‘800’

දන්නා මුරලි ගැන නොදන්නා කතාව ‘800’

මා වෙනුවෙන් මෙම පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම මට ආඩම්බරයක් - මුරලි

by mahesh
September 16, 2023 1:10 am 0 comment
  • ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් පසුගිය දිනවල නිෂ්පාදනය කෙරෙමින් පැවැති ‘800’ සිනමාපටයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් වී ඇති අතර එය ලබන ඔක්තෝබර් 6 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇති බව වාර්තා වෙනවා. මෙහි 800 යන්නෙන් හැඟවෙන්නේ මුරලි විසින් දවාගන්නා ලද වාර්තාගත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව යි.

මෙම සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) නිකුත් කිරීමේ උත්සවය මෙයට දින කිහිපයකට පෙර පැවැත්වුණා. මුම්බායි නුවර පැවැත්වුණු මෙම උත්සවයේ දී එම ප්‍රචාරක පටය එළිදක්වනු ලැබ තිබුණේ මුරලිගේ සමකාලීනයන් වූ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු විසින්. ඒ දෙදෙනා නම් සචින් තෙන්දුල්කාර් සහ සනත් ජයසූරිය යි. ඔවුන් දෙදෙනා මෙම අවස්ථාවට සහභාගි වීම මුරලි තුළ මහත් සතුටක් ඇති කර තිබෙනු දැකිය හැකි වුණා. ‘ඔවුන් (සචින් සහ සනත්) මා වෙනුවෙන් මෙම පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම මට ආඩම්බරයක්’ යයි මුරලි එම උත්සවයේ දී පවසා තිබුණා.

‘මෙම චිත්‍රපටයේ වැඩ පටන් අරන් අවුරුදු 5ක් විතර වෙනවා. දැන් අවසානයේ එය යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. ප්‍රේක්‍ෂකයන් එය රස විඳිනු ඇතැයි කියා මා සිතනවා’ යයි ද ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

‘800’ චිත්‍රපටය බොහෝ ගැටලුවලට සහ ආන්දෝලනයන්ට මුහුණ දුන් සිනමාපටයක් බව ද මෙහි දී සිහිපත් කළ යුතුයි. මෙවැනි සිනමාපටයක් නිෂ්පාදනය වන බව මුලින්ම මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූයේ 2020 වසරේ යි. නමුත් ඒ සමඟම එයට එරෙහිව විශාල විරෝධයක් මතුවන්නට පටන් ගත්තා. මෙම විරෝධයේ පෙරමුණේම සිටියේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ දේශපාලන කණ්ඩායම්. ඔවුන් පැවසුවේ මුරලිදරන් යනු ලංකාවේ සිවිල් යුද සමයේ දෙමළ ජනතාවට විරුද්ධ ස්ථාවරයක සිටිමින් යුද්ධයට සහාය දැක් වූ කෙනෙකු බවයි. ඒ සමඟම ඔවුන් ඔහු හැඳින්වූයේ ‘පාවා දෙන්නකු’ ද හැටියට යි. මුරලි එකල මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

මුලින් නිෂ්පාදනය කිරීමට සූදානම් වූ ‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටියේ දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය සහ දක්‍ෂ නළුවකු වන විජේ සේතුපති. නමුත් ඉහත කී කණ්ඩායම්වල විරෝධය ඔහු වෙතත් එල්ල වුණා. ඔහු පමණක් නොව ඔහුගේ දියණිය ඇතුළු පවුලේ අයත් මොවුන්ගේ ඉලක්ක බවට පත් වූ අතර ඔවුන් වෙත විවිධ තර්ජන ද එල්ල වන්නට පටන් ගත්තා. මෙම තත්ත්වය තුළ විජේ සේතුපතිට චිත්‍රපටයෙන් ඉවත් වීම හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැහැ. ඔහු ඉවත් වීමත් සමඟ චිත්‍රපටයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වූ නිසා එහි නිෂ්පාදන කටයුතු කෙටි කලකට නතර වුණා. ‘800’ අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වූයේ එයින් කලකට පසුව යි.

මෙවර මෙම සිනමාපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන්නේ මධූර් මිත්තාල්. ඔහු විජේ මෙන් දකුණු ඉන්දියාවේ නළුවෙකු නොවෙයි. මධූර් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ මෙයට වසර කිහිපයකට පෙර ප්‍රේක්‍ෂකයන් හමුවට ආ Slumdog Millionaire චිත්‍රපටයේ කළ රංගනය තුළිනු යි. එහි ප්‍රධාන චරිතය වූයේ ජමාල් මලික් නමැති චරිතය යි. ජමාල්ගේ සොහොයුරු සලීම් මලික්ගේ චරිතයයි මධූර් රඟපෑවේ. Slumdog Millionaire චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන ද දිනාගත් අතර තවත් සම්මාන කිහිපයක් ඊට හිමි වුණා. එහි මධූර් කළ රංගනය ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද පැසසුමට ලක් වුණා. මුරලි වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකුගේ චරිතය නිරූපණය කරන්නට ලැබීම ගැන ඔහු මහත් සතුටට සහ උද්දාමයට පත්ව සිටිනවා. මෙය මධූර්ගේ රංගන දිවියට විශාල ආලෝකයක් ලබා දෙන සිනමාපටයක් වනු ඇති.

මෙම සිනමාපටයේ කූටප්‍රාප්ති අවස්ථාවට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගයක් බවත් පැවසෙනවා. මුරලි ඔහුගේ 800 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේත් 2010 වසරේ ඉන්දියාව සමඟ පැවැති තරගයක දී යි.

මුරලි හැරුණුකොට තවත් සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ චරිත ද ‘800’ සිනමාපටයට ඇතුළත් බව සඳහන්. මෙහි මුරලිගේ බිරිඳ වන මදිමලර්ගේ චරිතය නිරූපණය කරන්නේ මහිමා නම්බියාර් නමැති නිළිය යි. මුරලි පන්දුව දමා ගසන බවට එකල චෝදනා එල්ල කළ ප්‍රකට ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර්ගේ චරිතයත් මෙහි දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වී තිබුණේ 2022 අප්‍රේල් මාසයේ යි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල රූපගත කිරීම් සිදු කළ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට සහ යුද්ධයට අදාළ සමහර ආන්දෝලනාත්මක කාරණා ද 800 තුළ නිරූපණය වන බව පැවසෙනවා. එමෙන්ම මුරලිගේ පෞද්ගලික ජීවිතයට අදාළ, බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු රැසක් ද මේ තුළින් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා ලු! මෙය එම්. එස්. ශ්‍රීපති නමැති සිනමාකරුවාගේ අධ්‍යක්‍ෂණයක්.

මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වූයේ 1992 වසරේ යි. එයින් පසු 2011 වසර දක්වාම ඔහු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කළා. වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් (800) සහ වැඩිම එක් දින කඩුලු සංඛ්‍යාවක් (534) ලබාගත් පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පිහිටුවා තිබෙනවා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division