Home » කොටස් ගාණ නෙවෙයි වැදගත් අලුත් සහ විවිධත්වය එහි තියෙන්න ඕන

කොටස් ගාණ නෙවෙයි වැදගත් අලුත් සහ විවිධත්වය එහි තියෙන්න ඕන

by mahesh
September 16, 2023 12:36 am 0 comment

තරු විසිරෙන සුපිරි තරු බබළවන තරගවලට මේ දිනවල රූපවාහිනී නාලිකා අතර ඇත්තේ උන්මාදයකි. සුපිරි තරු තරග සුපිරියට ම කරන නාලිකාව බවට පත් වන්නට ඔවුනොවුන් පොර බඳිමින් සිටි. ඒ අතර දිවිතුරා සුපිරි තරු තෝරන සංගීතමය ටෙලි නාට්‍යයක් වීම විශේෂත්වයකි. නාට්‍යයේ නම නොවන්නට එය තවත් සුපර් ස්ටාර්ස් තරගයකි. ඒ තුළ ඇති හැලහැප්පීම් නිසා එය නාට්‍යයකි. එහි අධ්‍යක්ෂ චාමර ජයවීර ඒ ගැන කතා කළේ ය.

දිවිතුරා තවත් සුපර් ස්ටාර්ස් තරගයක් ද…?

ඇත්තටම සුපර් ස්ටාර්ස් තරගයක සිද්ධ වෙන බෙහෝ දේ දිවිතුරා ටෙලි නාට්‍යයේ තියෙනවා. එළියට පෙනෙන දේ වගේ ම නොපෙනෙන දේත් ඒ තුළ තියෙනවා. මේ කාලේ සුපර් ස්ටාර්ස් තරගවලට රූපවාහිනී නාලිකා බොහොමයක ලොකු තරගකාරිත්වයක් තියෙනවා. සුපර් ස්ටාර්ස් රසිකයෝ වගේම ටෙලි නාට්‍ය රසිකයෝත් දිවිතුරා සමඟ එකතු වීම නිසා ලැබෙන ප්‍රතිචාර දෙගුණ තෙගුණ වුණා. මේ වනවිට දිවිතුරා නාට්‍ය කොටස් 150ට ආසන්නයි. අපි කොටස් ගාණ වැඩි කර ගන්න උත්සාහ කිරීමක් නොවන්න‍ට මේ නාට්‍යය තුළ කුතුහලය, රසවින්දනය, හොඳ තත්ත්වයේ පිටපතක් සහිත ව, තාක්ෂණය හැම දෙයක්ම හොඳම විදිහට යොදා ගෙන තියෙනවා. ඒ නිසා වෙන්න ඇති ප්‍රතිචාර ඉහළයි.

එකම නාට්‍යයක් දිගින් දිගටම පවත්වාගෙන යාම අධ්‍යක්ෂවරයෙකුට අවාසියක් නෙවෙයිද…?

වාසි අවාසි දෙක ම තියෙනවා. කොටස් ගණන කීය වුණත් ආරම්භයේ සිට අවසානය දක්වා හොඳ තත්ත්වයේ පවත්වාගෙන යාම අධ්‍යක්ෂවරයාගේ ප්‍රධාන වගකීම යි. හැම දවසකම අධ්‍යක්ෂණය පැත්තෙන් නාට්‍යයට අලුත් බවක්, අලුත් දෙයක් එකතු කර ගන්න පුළුවන් නම් අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් වටිනාකමක් තියෙනවා. දීර්ඝ නාට්‍යයක් කරන එක හිතන තරම් ලේසි නැහැ. එකම දේ ඇතුළේ අලුත් සහ විවිධත්වයට යා යුතුයි.

රංගන ශිල්පීන්ගෙන් ලැබෙන දායකත්වයත් දිවිතුරා ජනප්‍රිය වීමට හේතුවක් වුණා ද…?

ඇත්තෙන් ම පැරණි ශිල්පීන් වාගේ ම යොවුන් ශිල්පීන්ගෙනුත් හොඳ සහායක් මේ සඳහා ලැබෙනවා. මගේ අධ්‍යක්ෂ කාර්යයට එය ලොකු පහසුවක් වෙනවා. අපි ලොකු කාලයක් එකට එක පවුලක් වගේ ඉඳගෙන මේ නිර්මාණයට දායක වෙනවා. අවසානය දක්වා ම අපි හැමෝම එකට සිටීමයි මගේ පැතුම සහ උත්සාහය වන්නේ.

දිවිතුරා නර්තන භාවිතය සංකරයි කියා විවේචන තියෙනවා නේද…?

මේ නාට්‍යයේ නර්තන අංගවලදී ඇඳුම් හා නර්තන විලාසයන් යොදා ගෙන තියෙන ආකාරය පිළිබඳ විවිධ අය විවිධ අදහස් දක්වනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් දැක්වීමේ, විවේචනය කිරීමේ අයිතියක් තියෙනවා. අපි ඒවාට ගරු කරනවා. අපට ඒ විවේචනත් අවශ්‍ය යි. කවුරු කොහොම කිව්වත් වර්තමාන සමාජයේ ජනමාධ්‍ය හරි විවෘතයි. සමාජ මාධ්‍ය මඟින් අද ඕනෑම දෙයක් දකින්න අහන්න තියෙනවා. සංස්කෘතියට හානි නොවන්න දැනට තිබෙන තත්ත්වයෙන් පියවරක් දෙකක් ඉදිරියට තැබීම මං හිතන්නේ නෑ වරදක් කියලා.

ඔබ හිරු ටීවී නාලිකාව තුළ සිරගත වෙලා ද…?

කොහෙත් ම නැහැ. මම හිරු ටීවී ආයතනයේ වැඩසටහන් අධ්‍යකෂ (නිෂ්පාදන) විදිහට වැඩ කරනවා. හිරු සභාපති රේනෝ සිල්වා මහතාගේ අදහසකට අනුව, වැඩසටහන් අධ්‍යක්ෂ විල්සන් සිල්වා, විරාජ් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ නාට්‍ය කිරීමේ වගකීම මට පැවරුණා. එතැන් සිට පූර්ණ නිදහස මේ නිර්මාණයේ අධ්‍යක්ෂණ කාර්ය උදෙසා මට ලැබී තිබෙනවා. දේශීය වශයෙන් විතරක් නෙවෙයි විදේශ රටවල් රැසක සිටින ශ්‍රී ලාංකික රසික පිරිසකගේ ප්‍රතිචාර වගේම ලොකු සහායක් මේ සඳහා අපට ලැබෙනවා.

ඔබත් මොරටුවේ නාට්‍යකරුවෙක් නේද…?

ඔව්. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින්, 1988 සිට තිස්ස ගුණවර්ධන ගුරු පියාණන්ගෙන් නාට්‍ය හදාරලා, වේදිකාවට ඇවිල්ලා, පාසල් වේදිකාවෙන් ජාතික මට්‍ටමේ වේදිකාවටත් ඇවිල්ලා, ටෙලි නාට්‍යවල රඟපාලා, 1997 ස්වර්ණවාහිහියට සම්බන්ධ වෙලා, 1998 සිරස ආරම්භයත් එක්ක සිරසට සම්බන්ධ වෙලා වසර 13ක කාලයක් සහාය අධ්‍යක්ෂවරයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, විධායක ශ්‍රේණියේ නිෂ්පාදකවරයෙක් හැටියටත් වැඩ කරලා, හිරු ටීවී ආයතනයේ ආරම්භයත් සමඟ ඊට සම්බන්ධ වෙලා දැනට වසර 12ක් පමණ වෙනවා. පාසල් වේදිකාවෙන් ලැබුණු අත්දැකීම් සහ ගුරුහරුකම් ජීවිතයේ හැමදාමත් ප්‍රයෝජනවත් වෙනවා.

අධ්‍යක්ෂවරයෙක් හැටියට ඔබේ විශේෂ බලාපොරොත්තු තියෙනවා ද…?

ඔව්. මම චිත්‍රපටයක් කරන්න සිහින දකිමින් ඉන්නවා.

තුෂාරී කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division