මළවුන් සුවසේ අවසන් නින්දට ගියද වියෝ දුක දැනෙන්නේ ජීවත් වන හදවත්වලටය. ඉකුත් 12 වැනිදා දුම්රිය වර්ජනය අතරතුර සිදු වූ අනපේක්ෂිත අනතුරෙන් රටම හඬවමින් ජීවිතය හැරගිය වෑවලගේ දොන් දිනිත් ඉඳුවර පෙරේරා (18) තරුණයාගේ වියෝව ඔහුගේ ආදරණීය මවුපියන්, සහෝදරියන් ඇතුළු ඥාතීන්ට තවමත් අදහාගත නොහැකි බියකරු සිහිනයක් බඳුය. දිනිත්ගේ සිනහවෙන් කතාවෙන් පිරී තිබූ ඔහු ජීවත් වූ ගම්පහ, මොරගොඩ අංක 89 නිවෙසේ දුක්බර නිහැඬියාව බිඳෙන්නේ පුතුගේ වියෝගය දරාගත නොහැකිව මව නඟන විලාපයෙනි.
පිරිමියෙකුට සියල්ල දරාගත හැකි යැයි කීවාට සිය දෑසින් පුතුගේ නිසල සිරුර දුටු දිනිත්ගේ පියාගේ හදවත දැන් සී සීකඩ බිඳී ගොස් අවසන්ය. ඒ හදවත යළි පිළිසකර වන, මවගේ කඳුළු සයුර සිඳෙන දිනක් ගැන කිව හැක්කේ කාටද? දිනිත්ගේ පියා ඩබ්ලිව්. ඩී. ප්‍රියා සුගත් පෙරේරා (49) ඒ කඳුළු කතාව සිහි කළේ කැමැත්තෙන් නොවන බව නම් සහතිකය. ඊට සාක්ෂි දරන්නේ යළි යළිත් අලුත් වන ඔහුගේ දෙනෙත්වල කඳුළුය.
“අපේ ජීවිතවලට මේ කඩාපාත් වුණේ මොන කුණාටුවක්ද කියල මම තාම කල්පනා කරනවා. මේ නැති වුණේ අපේ පවුලෙ හයිය ගහ. පුතා ඉගෙන ගත්තේ ගම්පහ ගජබා විද්‍යාලයේ. සාමාන්‍ය පෙළින් පස්සෙ පුතාට ඕන වුණේ කාර්මික අංශයෙන් හොඳ දැනුමක් ලබලා හොඳ රස්සාවක් කරන්න. ඒ වෙනුවෙන් පුතා මොරටුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ජලනළ කාර්මික පාඨමාලාව හදාරමින් සිටියා. තවම අවසන් වුණේ පළමු වසර විතරයි. සතියේ දවස් පහ ටෙක් එකට යන පුතා සති අන්තයේ සහ වෙනත් නිවාඩු දවස්වලට මගේ මිතුරාගේ ගරාජයේ වැඩ කළා. පුතා ගැන අපි දැකපු හැම හීනයක්ම කෝච්චියට බිලි වුණා. උදේ හවස පුතා ටෙක් ගියේ කෝච්චියෙන්. හැමදාම උදේ 6ට මම පුතා ගම්පහ ස්ටේෂන් එකට ඇරලනවා. හවස යාගොඩ ස්ටේෂන් එකට ගිහින් අරගෙන එනවා. ඒ තරම් පරෙස්සමට බලාගත්ත මගෙ පුතාව අපිට නැති කළා. මේක නිකම්ම මරණයක් නෙවෙයි, මිනීමැරුමක්, වර්ජකයො මගේ අහිංසක පුතාව මරා ගත්තා…”
දිනිත්ගේ පියාගේ ඒ ආවේගය දරු සෙනෙහස නිසාය. දිනිත්ගේ මවුපියන් සේම ඔවුන් ගැන දන්නා හඳුනන හැම දෙනාම කියන්නේ ඒ පවුලේ උදා තරුව වූයේ දිනිත් බවය. දිනිත්ගේ මව නිරෝෂා ගුණසේකර (47) ගලහිටියාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. දරුවන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා දිනිත්ය. දිනිත්ගේ නැඟණියන් දෙදෙනාගෙන් වැඩිමහල් නැඟණිය නිපුනි (17) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන අතර, බාල නැඟණිය තිසරි පූර්ණි (8) ගම්පහ ගෝතමී විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන්නීය. දිනිත්ගේ වැඩිමහල් සොහොයුරිය සෙනුරි දිනිති (21) ඒ සාමර්ථ්‍යයක් සහ බී සාමාර්ථ්‍ය දෙකක් සමඟ උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු සුපිරි වෙළෙඳ සැලක සේවය කරමින් සිටින්නීය. විද්‍යාපීඨ ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින ඇය එම උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ වන තෙක් රැකියාවෙන් ඉපැයූ මුදල් වියදම් කළේ සිය එකම මලණුවන්ගේ කාර්මික පාඨමාලාව වෙනුවෙනි.
“කෝස් එක ඉවර වෙලා රස්සාවක් කරලා මම අක්කගේ උපාධිය කරගන්න වියදම් කරනවා.”
ඒ දිනිත් දුටු සිහිනයයි. ඔහු එවැනි හිත හයිය තරුණයෙකි. දිනිත්ගේ මව රැකියාවට යන විට කලෙක සිටම නිවෙසේ සිට එකම පුතුත් දියණියන් තිදෙනාත් දෑස මෙන් රැකබලා ගත්තේ දිනිත්ගේ පියාය. බිරිය සහ දරුවන් සිවුදෙනා හැම ගමනක්ම කැටුව ගියේ පියාය. එපමණක් නොව ගෙවත්තේ වගා කරමින්, සත්ත්ව පාලනය කරමින් ඔහු පවුලට ආර්ථික සවියක් ද වූයේය. දිනිත් ද මවුපියන් ගෙනයන ජීවිත අරගලය මනාව වටහාගත් දරුවකු විය. අවුරුදු දහඅටේ ඉලන්දාරියකු වූවත් ඔහු ඒ වයසේ සෙසු තරුණයන් මෙන් තරුණකම උමතුවක් කර නොගත්තේය. ඔහුට අවැසි වූයේ පවුල ගොඩ ගන්නටය. සහෝදරියන් තිදෙනාගේ අනාගතය බබළ වන්නටය. මවුපියන්ට විසල් ශක්තිය වන්නටය.
“මගෙ රත්තරන් දරුවා ගැන මම මොනවා කියන්නද දෙයියනේ…එයා බාලම නංගිට තාත්තා කෙනෙක් වුණ අයියා කෙනෙක්. චූටි දුව ලැබිලා ප්‍රසූත නිවාඩු ඉවර වෙලා මම ආපහු රස්සාවට යනකොට චූටි දුවව බලා ගත්තෙ පුතා. මට තාම මතකයි කකුල් දෙකේ තියාගෙන පුතා චූටි දුවව නළවනවා. පහුගිය දවස්වල මහත්තයා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට පුතා එයාටත් තාත්තා කෙනෙක් වුණා. එදා මේ අනතුර වෙච්ච දවසට කලින් දවසේ පුතා ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගියා. අපි හැමෝම දාගෙන ත්‍රීවිල් එකෙන් පල්ලි යන්න පුතා ආශාවෙන් හිටියෙ. සති දෙකකින් තාත්තගෙ ඇහේ ඔපරේෂන් එක කරමු කියල පුතා කිව්වෙ, ඔපරේෂන් එකෙන් පස්සේ ටික දවසක් මහත්තයට වැඩ කරන්න බැරි නිසා ඒ වැඩ ටික පුතා කරන්න ඕන නිසයි. මගෙ රත්තරන් පුතා ඒ වගේ ප්ලෑන් එකක් ඇතිව වැඩ කරපු දරුවෙක්. එයා හරි නිශ්ශබ්දයි. වැඩි කතාබහක් නෑ. මගේ පුතා කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා කරදර කරපු දරුවෙක් නෙවෙයි. හැමදාම පාන්දර මම උයලා දෙන බත් එක අරගෙන ටෙක් ගිය දරුවා කුස්සියට එන්නෙ මාව හොයාගෙන. අම්මට වැඩිය දැන් මම උසයි කියලා මට විහිළු කරනවා. එදා උදේ හිනාවෙවී දත් මැද මැද හිටපු මගෙ මැණිකගේ මූණ විතරයි මට මතක… එහෙම හිනාවෙවී ගිහින් පෙට්ටියකින් ආව මගෙ රත්තරන් පුතා දිහා මං බැලුවෙ නෑ. මම බලන්නෙ කොහොමද දෙයියනේ…ඒ මගේ දරුවනෙ දෙයියනේ….”
දිනිත්ගේ මවගේ හද පාරවමින් ඇයගෙන් තවත් පුතු ගැන විමසිය නොහැකිය. ලයනල් පෙරේරා, දිනිත්ගේ පියාගේ දිගුකාලීන සමීප මිතුරා පමණක් නොව සති අන්තයේ දිනිත් මෝටර් කාර්මික පුහුණුව ලැබූ මොරගොඩ, මඬුගහමුල චතුරි මෝටර්ස් ගරාජයේ හිමිකරුය.
“දිනිත් කියන්නෙ මට මගේම දරුවෙක් වගේ. දිනිත් අවුරුද්දක් විතර ඉඳලා මගෙ ළඟ වැඩ පුරුදු වුණා. එයා පුදුම දක්ෂ දරුවෙක්. වෙන අය මාස හයකින් විතර ඉගෙන ගන්න දේවල් දිනිත් මාසෙන් දෙකෙන් පුරුදු වුණා. දිනිත් මගෙත් උදව්වෙන් ත්‍රිවිල් එකක් හැදුවා. දිනිත් උදේ වැඩට එනවා දැක්කම මගෙ හිතේ මලක් පිපෙනවා වගේ සතුටක් දැනෙනවා. වැඩ විතරක් නෙවෙයි ගුණයහපත්කම අතිනුත් එයා ගොඩක් ඉදිරියෙන් හිටියෙ. දිනිත්ගෙ තාත්තා මේ දරුවො වෙනුවෙන් විඳපු දුක මම එදා ඉඳලම දැක්කා. මේ මරණය අපි හැමෝටම දරාගන්න බැරි වේදනාවක්….”
දිනිත් ගැන කම්පා නොවන අයෙක් නැත. ඔහුගේ ආච්චි අම්මලා සහ සීයලා ඇතුළු ඥාතීන් හිත මිතුරන්, ගම්වාසීන් පමණක් නොව එදා ඒ සිදුවීම ඇසූ දුටූ සියලු දෙනාගේ හදවතට කම්පාවක් නොදැනුණා නම් එය අරුමයකි. ඉකුත් 14 වැනිදා ගම්පහ, මොරගොඩ කතෝලික සුසාන භූමියේදී දිනිත්ගේ අවසන් කටයුතු සිදුවන මොහොත දක්වා ඔහුට අවසන් බුහුමන් දක්වන්නට නිවෙසට ඇදී ආ ජනගඟ අතර මොරටුව කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සහෝදර සිසුන් ද වූහ. ඔවුන් පැවසුවේ මේ අහිමි වූයේ පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් ලබාගෙන විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටි ඉතා දක්ෂ තරුණයකු බවය.
වර්ජනය නිසා එදා දුම්රිය මගීන්ට සිදුවූ අපහසුතා නිමක් නැත. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන අපහසු නිසා යළි ගෙදර එන්නැයි දුරකතන ඇමතුමක් දුන් මව දිනිත්ට පැවසුවද ඔහු කීවේ පරෙස්සමෙන් ගිහින් එන්නම් කියාය. එහෙත් යකඩ යකා එදා අහිංසක මිනිස් බිල්ලක් ගන්නටම සැදී පැහැදී සිටියා වැනිය. මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙසින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ වහලය මත ගමන් කරමින් සිටි දිනිත් මරුවාට බිලි වූයේ හොරපේ දුම්රිය ස්ථානයේය. මරුවා සැඟව සිටියේ එහි වහලය මතය. දුම්රිය වහලයේ හිස ගැටීමෙන් පදික වේදිකාවට වැටුණු දිනෙත් පදික වේදිකාවෙන් රේල්පාරට පෙරළී ගිය අතර, දුටුවන්ගේ කෑගැසීම නිසා නතර කළ දුම්රියෙන්ම දිනිත් හුණුපිටිය දුම්රිය ස්ථානයට රැගෙන ගිය බව සිද්ධිය දුටුවන් පවසා තිබිණ.
” එදා මම පුතාව ඇරලන්න ගියාම ස්ටේෂන් එකේ විශාල සෙනඟක් හිටියා. ගෙදර ඇවිත් මම සුදුනෝනට කිව්වා, පුතාට කතාකරලා කියන්න අද යන්න ඕනෙ නෑ, මම ආපහු එක්ක යන්න එනවා කියලා. ඒත් පුතා අම්මට කියල තිබුණේ ඊයෙත් ගියෙ නැති නිසා අද යන්නම ඕනෙ කියලයි. එදා උදේ 7.20ට විතර මට කෝල් එකක් ආවා රාගම රෝහලට එන්න කියලා. පුතා කෝචිචියෙන් වැටුණු වෙලාවේ ඒ සිද්ධිය දැකපු කෙනෙක් මට කෝල් කරලා කිව්වා කොහෙවත් යන්න එපා, හුනුපිටිය ස්ටේෂන් එකට යන්න කියල. අපි හුනුපිටියට යද්දි පුතාව රෝහලකට ගෙනියන්න කවුරුත් උත්සාහ කරලා නැහැ. පොලිසියෙන් ආවම මම කිව්වා පොලිස් ජීප් එකෙන් හරි පුතාව රෝහලකට ගෙනියන්න කියලා. පොලිසියෙන් කිරිබත්ගොඩ මල් ශාලාවකට කතා කරලා වෑන් එකක් ගෙන්නුවා. ඉස්පිරිතාලෙට ගෙනාවට රුපියල් 11,000ක් මගෙන් ඉල්ලුවා. ඉස්පිරිතාලෙට ගෙනාවම කිව්වා පුතා නැතිවෙලා කියලා. ඒ වෙලාවේ මට ඕන වුණා මගෙ පුතා මට නැතිවුණත් ඒ තරුණ ජීවිතෙන් තවත් කීප දෙනෙක් ජීවත් කරන්න පුතාගේ අවයව පරිත්‍යාග කරන්න. මම වෛද්‍යවරුන්ගෙන් ඒ ගැන ඇහුවම ඔවුන් කිව්වෙ, ඒකට දැන් පරක්කු වැඩියි කියල. ඒත් පුතාගෙ ඇස් දෙක හොඳයි කිව්ව නිසා මම පුතාගේ ඇස්දෙක අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කළා. මේ නැතිවුණේ දරුවෙක් නෙවෙයි. පවුලට අම්මා තාත්තා වගේ හිටිය රත්තරන් දරුවෙක්. මේ වේදනාව අපිට දරාගන්න බැහැ…”
දිනිත්ගේ පවුල සිය ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජීවත් වූ පවුලකි. ඔහුගේ වියෝවෙන් පවුලේ පියස්ස හිස මත කඩා වැටුණාක් බඳු ඉරණමක් අත්වූයේ පවුලේ ඉදිරි සැලසුම් සියල්ල දිනිත් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී තිබූ නිසා බව දිනිත්ගේ ආච්චි අම්මලා දෙදෙනාම පැවසූහ. ඔහුගේ නිවෙසේ පිටුපස කොටස ඇත්තේ කොයි මොහොතේ කඩා වැටේ දැයි කිව නොහැකි අබලන් තත්ත්වයේය. රැකියාවක් කර ඒ සියල්ල පිළිසකර කරන්නට බලා සිටි දිනිත්ගේ රැකවරණය අහිමි වූ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් කිසියම් පිහිටක් විය හැකි නම් ඔබේ මනුෂ්‍යත්වය මේ අවස්ථාවේ ඔවුන්ට විසල් සවියක්ම වනු ඇත.
ඡායාරූප- කොටදෙනියාව සමූහ එම්. පුෂ්පකුමාර සහ සුදත් නිශාන්ත
සුරේකා නිල්මිණි ඉලංකෝන්