වසර 1987 සැප්තැම්බර් 15 දින යාපනය සරසවිය ආසන්නයේ උපවාසයක් ආරම්භ කර දින 11ක් නිරාහාරව සිට මිය ගිය රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් පිළිබඳව නැවත කරළියේ කතා බහට ලක්වී ඇත. ඒ ඔහු මිය ගොස් වසර 37කට පසුව පැවැත්වීමට ගිය ගුණ සැමරුමක් මුල් කරගෙනය. තිලීපන්ගේ උපවාසය ද්‍රවිඩ ජනයාට බලපාන ඉල්ලීම් 5ක් මුල් කරගෙන ඇරඹීය.
වසර 30කට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය පිළිබඳව අද කාටත් සිහියට නැඟෙන්නේ නැත. 1983 ආරම්භ වූ යුද්ධය වාර්තා කිරීමට උතුරු නැඟෙනහිර අස්සක් මුල්ලක් නෑරම කරක් ගැසූ ජාතික රූපවාහිනියේ අපිට එය අමතක නොවන්නේ බිහිසුණු, ත්‍රාසජනක, අමතක කළ නොහැකි මතක සැමරුම් ගොන්නක් තාමත් අප හදවත්වල තැන්පත්ව තිබෙන බැවිනි.
එවකට යුද්ධයේ පැවැති බිහිසුණු වාතාවරණය තුළදී ද උතුරේ නැවතී පටිගත කිරීම්වල යෙදීමට අවස්ථාව උදා වූයේ රූපවාහිනියට පමණක්ය. උතුරේ පවතින වාතාවරණය සම්බන්ධව දිනපතාම ප්‍රවෘත්ති පටිගත කර කොළඹට එවීම අපගේ ප්‍රධාන කාර්යභාරය විය. අද මෙන් ක්ෂණිකව ප්‍රවෘත්ති එවීමට එදා කිසිදු පහසුකමක් නොතිබූ අතර අප විසින් පටිගත කරනු ලබන කැසට්පට කොළඹ ආයතනයට එවනු ලබන්නේ පලාලි ගුවන් හමුදා කඳවුරේ සිට දිනක් හැර දිනක් කොළඹට එන ගුවන් යානයේය. ජංගම දුරකතන තියා ඍජු දුරකතන පහසුකම්වත් නොතිබූ අතර කොළඹ ප්‍රධාන කාර්යාලයට කතා කිරීමට හැකියාව ඇත්තේ සතියකට එක් වතාවකි. ඒ ද රාත්‍රී කාලයේය.
මේ අන්දමට මාසයකට අධික කාලයක් අප නවාතැන්ගෙන සිටියේ පලාලි යුද හමුදා කඳවුරේ අපටම වෙන්වූ නිවෙස්නයකය. මෙම කාල වකවානුවේදී සටන් විරාම ගිවිසුමක් පැවතිය ද කිසිදු ආරක්ෂක සාමාජිකයකුට හෝ වෙනත් කිසිවකුට යාපනයට ඇතුළුවීම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තහනම් කර තිබිණි. අපට පමණක් යාපනයේ ඕනෑම තැනකට ගමන් කිරීමට අවසර ලබාදී තිබූ අතර ලබාදී තිබූ අවසර පත්‍රය වූයේ එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත කොඩියකි. එළියට යන ඕනෑම අවස්ථාවක එම කොඩිය අප රූපවාහිනී රථයේ ප්‍රදර්ශනය කළ යුතු විය.
මේ අන්දමට පටිගත කිරීම්වල යෙදී සිටින අපහට දිනක් එල්.ටී.ටී.ඊ ප්‍රධාන කාර්යාලයට ගිය විට සංවිධානයේ දෙවැනි ප්‍රධානියා දමිළ බසින් විශේෂ කරුණක් පැවසීය. ඉන්දීය සාම සාධක හමුදාවෙන් තමන්ට දැන් දැන් අකටයුතුකම් සිදුවන බවත් ඒ සඳහා ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් තම සාමාජිකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත්ය. මේ සඳහා කොළඹ මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා. ඇත්තෙන්ම එය ඉල්ලීමකට වඩා නියෝගයක් යැයි කිවොත් නිවැරැදිය.
ඒ අනුව පසුදා උදේන්ම නල්ලූර් කෝවිල අසලට ගිය ද උපවාසය කරනු ලබන පුද්ගලයා කවුදැයි අප දැන සිටියේ නැත. විශාල වේදිකාවක් සකසා තිබූ අතර මුළු වේදිකාවම එල්.ටී.ටී.ඊ. ලාංඡනයත්, රතු මලිනුත් සරසා තිබූ අතර මුළු ප්‍රදේශයම දෙවනත් වෙන්න සංවිධානයේ රණ ගී යැයි හැඳින්වූ ශෝකාකූල ගීත ප්‍රචාරය විය. උපවාසයේ නිරත වූ තිලීපන් පුටුවක වාඩිවී පොතක් කියවමින් සිටි අතර සංවිධානයේ කීපදෙනෙකුම මහා හඬින් තිලීපන්ව අගයමින් කතා පැවැත්විය. ඔහුගේ උපවාසය පැවැති මුල්දින කීපයේම එය පටිගත කිරීමට අපට අවසර දුන්න ද අවසාන දින දෙකේ ඊට අපහට අවසර නොලැබිණි.
තිලීපන් විසින් තම උපවාසය නල්ලූර් කෝවිල අසලදී ආරම්භ කරනු ලැබීය. දින 12ක් පුරා පැවති උපවාසය වාර්තා කිරීමට මා සමඟ කැමරා ශිල්පීන් සමන් වන්නිආරච්චි ඇතුළු අනෙක් ශිල්පීහු සහභාගී වූහ. විශාල ජනකායක් වේදිකාව අවට නිරන්තරයෙන්ම බිම වාඩිවී දුක් ගීතය ගායනා කරමින් සිටි අතර මුල් දින තුන හතරේදී තිලීපන් පුටුවක අසුන් ගෙන පොත් කියවමින් සිටියේය. කිසිදා ඉටු නොවන ඉල්ලීම් වෙනුවෙන් ඔහු උපවාසයක් ඇරඹුවේ ඇයි ද යන්න රට තුළ කතාබහට ලක්ව තිබූ අතර ඔහු පිළිකා රෝගයෙන් පෙළුණු බව ද කතාබහට ලක්විය. එහි සත්‍ය අසත්‍යතාව යාපනයේ සිටි අප ද නොදැන සිටි නමුදු, උපවාසය අතරතුරේ ඔහුට තැඹිලි වතුර පෙවීමට, ලෙමන් පෆ් කැවීමට, ඔළුව පිරිමැදීමට නම් ප්‍රභාකරන් තියා එකෙකුවත් පැමිණියේ නැත. ඇත්තෙන්ම එය දකුණේ ඇතැම් භික්ෂූන් මෙන්ම දෙශපාලඥයන් කරන උපවාස රංගවලට හාත්පසින්ම වෙනස් විය. ක්‍රමයෙන් තම ශරීරය දුර්වල වී කෝමා තත්ත්වයට පත්වූ තිලීපන් අවසානයේදී මිය ගියේය.
තිලීපන්ගේ උපවාසයට මුල්වූ කරුණු ඉටුකර ගැනීමට නොහැකි වුවද ඔහු එකල උතුරේ ඇතැම් ජනතාව අතර වීරයෙක් බවට පත්විය. තවත් වසර ගණනාවක් පුරා එල්.ටී.ටී.ඊ. සංවිධානයට තරුණ කොටස් බඳවා ගැනීමට තිලීපන්ගේ කැප කිරීම ඉවහල් විය. ඔහුගේ සිරුර යාපනය වෛද්‍ය පීඨයට භාරදෙන ලදි.