නිවසක ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදී වඩාත් බරැති සහ උසින් වැඩි ගෘහ භාණ්ඩ පොදුවේ නිරිත, දකුණ හෝ බස්නාහිර දිශාවන්ට පිහිටුවීමෙන් නිවැසියනට ඉමහත් සෙතක් සැලසෙන බව නවීන වාස්තු විද්‍යා පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබේ.
මෙහිදී සාලය, නිදන කාමර ආදී එක් එක් ගෘහ අංග වෙන වෙනම සැලකීමේදීත් ඒ ඒ කොටස්වල නිරිත, දකුණ හෝ බස්නාහිරට වන්නට ගෘහ භාණ්ඩ වැඩියෙන් පිහිටුවීම සිදු කළ යුතු බවද එමඟින් අනාවරණය වෙයි.
නිදසුනක් ලෙස නිදන කාමරයක අල්මාරි වැනි විශාල හා බරැති භාණ්ඩ පිහිටුවීමේදී දකුණු හා බස්නාහිර බිත්තිවලට යාව ඒවා පිහිටුවීම සිදු කළ යුතු වේ. එවිට ඒවා විවෘත වන්නේ ශුභ දිශාවනට වීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.
නිවසේ මධ්‍යයද නිදහස්ව තැබිය යුතු අතර මූලික සිද්ධාන්ත අනුව සැලකීමේදීත් නිවසේ මධ්‍යයට හිමි ධාතුව ලෙස ආකාශ ධාතුව නම් කොට තැබීම ද සුවිශේෂි ලක්ෂණයකි. බරැති භාණ්ඩ මධ්‍යයේ පිහිටුවා ඇති නිවසක හට ගන්නා අනෙකුත් වාස්තු දෝෂයන් ද පවත්නා තත්ත්වයටත් වඩා අහිතකර ලෙස බලවත් වන බව මෙම පර්යේෂණයන්ගෙන් තවදුරටත් අනාවරණය වී තිබේ. මෙතෙක් සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයට අනුව ගෘහ භාණ්ඩ පිළිබඳ විග්‍රහය නූතන බටහිර විද්‍යාවේ ඇසුර ලබමින් වැඩී ආ නූතන වාස්තු විද්‍යාව අනුවද විග්රහ කිරීමේදී පොළොව වටා පැතිර පවතින ෆෝටෝන අංශුවලින් සමන්විත ශක්ති වලාව ඇතුළත පොළොවේ සිදුවන කරකැවීම (භ්‍රමණය) නිසාත්, සූර්යයා වටා එය සිදු කරන පරිභ්‍රමණය (ගමන් කිරීම) නිසාත් පෙර කී ශක්ති වලාව ස්පර්ශ වීම නිරන්තරයෙන් සිදු වේ. මේ ක්‍රියාවලිය සරල ආකාරයට අප වෙත ඊශාන දිශාවෙන් විශ්ව ශක්තිය ගලා ඒමක් ලෙස (සාපේක්ෂ වශයෙන්) සැලකීම ද මේ අනුව වරදක් නොවේ. මෙසේ ගලා එන ශක්ති (ෆෝටෝන්) ධාරාව අපගේ නිවාස වෙත ගලා ඒමේදී නිවස ඇතුළත ඇති ගෘහ භාණ්ඩ විසින් ඒවා උරා ගැනීමද යම් පමණකින් සිදු වේ.
ඒ හේතුව නිසා ඊශානය ප්‍රධානව උතුර හා නැඟෙනහිර වැඩි වැඩියෙන් ගෘහ භාණ්ඩ පිහිටුවනු ලැබූ විට ඒවා විසින් ගලා ආ ශක්තිය උරා ගැනීම නිසා විවෘත අවකාශයේ පවත්නා අන්තරීක්ෂ ශක්තියේ තීව්‍රතාව (COSMIC ENERGY INTENSITY) අඩු වේ. එවිට අපගේ භෞතික ශරීරය වටා පවත්නා විස්මිත ශක්ති ශරීරය ලබා ගත හැකි ශක්ති ප්‍රමාණය ද කෙමෙන් අඩු වී ගොස් දුර්වල ශක්ති ශරීර සහිත නිවැසියන් පිරිසක් බවට ඔවුන් පත්වීමෙන් බරපතළ දුර්විපාක අත්විය හැකි බවද මෙහිදී හෙළි වී ඇත.
අපගේ ශක්ති ශරීරයේ ඇති ශක්තියට වඩා බාහිර වටපිටාවේ ශක්තිය අඩු වූ විට අපෙන් ඉවතට ශක්තිය ගලා යෑම නිසා තව තවත් දුර්වල වන නිවැසියන් කෙරෙහි අසාර්ථකත්වය වේගයෙන් පැමිණෙන බව මෙහිදී මැනවින් වටහාගත යුතුව තිබේ. මෙවැනි පුද්ගලයන් අතර සිටින සංවේදී භවතුනට නිවසට පිටතදී මහත් සුව පහසුවක් හා නිවසට පැමිණි පසු බරපතළ අපහසුවක් පවා දැනෙන්නට පටන් ගැනීමට ඉඩ තිබේ. මේ තත්ත්වය නොදැනෙන කෙනෙකුට වුවත් පත්වන අපහසුතාව නිසා නිතර හේතු විරහිතව කෝපයට, තැති ගැනීමකට, දුක් ඉපදීමට අවස්ථා සැලසෙන බව බාහිරදී මතක් කර ගත හැකි තත්ත්වයට පත් වේ.
නිවස එතරම් විශාල නොවූ විට අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ පිහිටුවා ගැනීමට සිදු වීමෙන් නිවසේ ආකාශ ධාතුව පීඩා කිරීම පහසුවෙන් වළක්වා ගත නොහැකි බැවින් මෙයට විකල්ප විසඳුම් ද සෙවීමට සිදු වේ. එහිදී ඊශානය ප්රමුඛව උතුරේ හා නැඟෙනහිරේ පවත්නා දොර, ජනේල, කවුළු අදිය හැකිතාක් කාලයක් විවෘතව තැබීමත්, ඒවාට තිර රෙදි යොදන්නේ නම් තුනී ඒවා පමණක් භාවිත කිරීම කළ යුතු වේ. නිවස වටා ඇති ගහකොළවලින් වැඩි ආවරණයක් නොවන පරිදි කටයුතු කිරීමත් මෙහිදී විශේෂයෙන් සැලකිය යුත්තකි.
සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ
ප්‍රධාන පර්යේෂක
ජනක ප්‍රියන්ත දයාරත්න