රාශි දොළහට අයත් ප්‍රදේශවලින් සිවුවැනි ප්‍රදේශය අයත් කකුළුවකුගේ හැඩය ගෙන නැඟෙනහිර අහසේ තරු වළල්ල උදා වෙමින් පවතින අවස්ථාවක ඔබ උපත ලද්දේ නම් ඔබගේ ලග්නය කටක ලග්නය බව ජ්‍යොතිෂයේ සඳහන්ව ඇත.
මෙම තරු සමූහයේ දක්නට ලැබෙන සුවිශේෂී ගුණය වන සිසිල් ගුණයක් ජලාශ්‍රිත භූමියක ඇති ස්වභාවයට සමානකම් දක්වන ස්වභාවය නිසා මෙය පෘථිවියේ ජලයට සම්බන්ධ මහා සමුද්‍ර, ගංගා, ඇළ දොළ, වැව්, පොකුණු, ළිං, තටාක යනාදියට සම්බන්ධ දේවලට ප්‍රධානය.
ඒ අයුරින්ම මෙය චර රාශියක් ද, ජල රාශියක් ද වන නිසා රාශි දොළහේ වඩාත්ම වෙනස් වන රළ මෙන් උස් පහත් වන ගතියක් ඇති රාශිය වශයෙන් දැක්විය හැකිය.
සාගරය මෙන්ම මෙම ලග්න හිමියන්ගෙන් ද අන් අයට බොහෝ ප්‍රයෝජන ගත හැකි වනවා ඇත. ඔවුන්ගේ දියුණුවට, පැවැත්මට, ගුරුහරුකම්, උපදෙස් දීමට දක්ෂතාවක් දැක්වුව ද තමාගේ වැඩ කටයුතු ආදායම් මාර්ගයන් පිළියෙල කරගැනීමට එතරම් උත්සාහයකින් කටයුතු කරන්නේ නැත.
කතාවට ප්‍රියමනාප ගතියක් දක්වන සේම වැඩ කිරීමටත්, වැඩ ගැනීමටත් එක සේ දක්ෂතාවක් ඇති වුව ද තමාට එන දේ හරි ද වැරදි ද යුක්ති සහගතද නැද්ද යන්න නොවිමසා කටින් පිට කරන ගතියක් ද ඇත. එය තමාගේ දුර්වලතාවක් බව සිතට ගන්න.
ගෙදර දොර වැඩවලට දක්ෂය. ගේදොර, යාන වාහන, දේපළවලට ආශා කර එවන් දේ ලබා ගැනීම සඳහා දක්ෂ ලෙස, කඩිසරව ක්‍රියා කරන අවස්ථාවන් ද මොවුන්ගෙන් දැකිය හැකි ලක්ෂණයක් වන්නේය. චංචලභාවය නිසාම සිතේ කල්පනාවන් ඇති වී යම් අනතුරක්, විපතක් ගැන බයක් ඇති වුව ද විපතට පත්වූ විට බිය නැතිව කටයුතු කරනවා ඇත. එසේම එම බිය නිසාම තමාට ඇති විය හැකි ඇතැම් ආපදාවන් ගැන දැනගැනීමට ගුප්ත කටයුතුවලට ද නැඹුරුවක් කටක ලග්න හිමියාට නිතැතින්ම ඇති වන දෙයකි.
මෙම ලග්නයෙන් උපත ලද්දන් සමාජයේ, විශ්වයේ උසස් තනතුරු ලබා උසස් පුද්ගලයන් ලෙස වැජඹීමට වාසනාවක් ඇත්තෝ වෙති. ඒ නිසා උසස් අධ්‍යාත්මයක්, අනුකම්පාවක්, කරුණාවක් මොවුන් උපතින්ම උරුම කරගෙන මෙලොවට බිහි වූ අය වෙනවා ඇත. මේ විශේෂිත කරුණු අනුව තමාගේ ඥාන ශක්තිය, සිතීමේ දක්ෂතාව, පරසිත් හඳුනා ගැනීමට ඇති හැකියාව මේ ලග්න හිමියන්ට ලැබෙන්නා වූ ආශිර්වාදයක් නිසා මොවුන් බොහෝ දාර්ශනිකයන්, උසස් චින්තකයන් ලෙස උසස් පෞරුෂත්වයක් ඇතිව ගැඹුරු ශාස්ත්‍රයන්හි පරතෙර දකින විශේෂයෙන් ජ්‍යොතිර් විද්‍යාව, ධර්ම ශාස්ත්‍රය, මානසික විද්‍යාව ආදිය මෙන්ම බොහෝ ගැඹුරු පර්යේෂණයන් ද සිදු කිරීමට දක්ෂ බුද්ධි බලයක් නිසඟයෙන් පිහිටා ඇති අය වනවා ඇත. ශරීර ශක්තිය ද ජව බලයෙන් යුක්ත දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.
ඔබ කාන්තාවක් නම් නියතව ස්ත්‍රි ලාලිත්‍ය ඇති රූප ශෝභාවෙන් අගතැන්පත් ගුණදම් වැඩීමට කැමති කාන්තාවක් වුව ද මෙහිදී ද පාපී ග්‍රහයන්ට සඳු, කුජ, ශුක්‍ර ආදිය සංයෝගයෙන් පීඩිත වූ විට මෙවන් කාන්තාවක් වුව ද දක්ෂ මායාකාරියක් වැනි වූ පහත් සිරිත් ගති ඇති ඉතා තදින් රහස් ඇති ඒවා රකින අය බවට ද පත්විය හැකි බව ද කීමට පුළුවන. ඔබේ ජීවිතයේ බොහෝ සුබ අසුබ විශේෂයෙන් යහපත චන්ද්‍රයා සිටින රාශිය හා ස්ථානය අනුව මුල් වී කටයුතු සිදු වනවා ඇත. කටක ලග්න හිමියාගේ බොහෝ වැදගත් කරුණු කාරණා චන්ද්‍රයාගේ බලය අනුව ඔබට ලැබෙන දෙයක් බව ද සිත්හී තබා ගන්න.
ඔබ දැනුම්වත් විය යුතු තවත් කරුණක් වනුයේ ඇතැම් අයට යහපත් වන රවි ඔබට නරකක්, ඇතැම් විට මාරක විපාක ද ගෙන දීමට ද හැකියාවක් ඇති අයකු බවත් ඒ නිසාම රවි, බුධ, ශුක්‍ර යන ග්‍රහයන් අබල වීම නිසා ඔබට ඇති වන අශුණයන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමටද හැකියාවක් ඇත. එසේ වුව ද ඔබගේ කේන්දර සටහනේ ප්‍රධාන ස්ථානයක් වශයෙන් දැක්වෙන 1,4,7,10 යන ස්ථානයන්ගේ සිටින ග්‍රහයන් අනුව ඔබගේ ජීවිත විවරණය නියත අයුරින් දැක්වීමට හැකියාව ඇත. ඒ නිසා දක්ෂ ජ්‍යොතිෂවේදියකු හට ඔබගේ කේන්දර සටහන ඉදිරිපත් කර කළ යුතු වත්පිළිවෙත් ඒ ඒ කාලයන්හිදී නියම ආකාරයට සිදු කර ඇතිවන අනිටු පලවිපාකවලින් මිදීමට ඔබට හැකියාව ඇති බව ද සිත්හි තබාගන්න. මේ මගින් ඔබ උප්පත්තියේදී රැගෙන එන කර්ම ශක්තිය නියම අයුරින් හඳුනාගෙන ඔබගේ චෛතශිකය බලවත් ද දුබල ද කෙබඳු මාර්ගයක යයිද නැතහොත් කිසියම් ආකාරයක පසුබෑමක් සිදුවේ ද යන්න හඳුනා ගැනීමෙන් ඔබට යහපත උදාකර ගැනීමට සිතට ගන්න. සමස්තයක් වශයෙන් ඔබට රුධිරය හා සම්බන්ධ ලෙඩ රෝගවලට මුහුණ දීමට සිදුවන බවද එනම් ඇදුම, සෙම් රෝග, පෙණහැල්ලේ ඇතිවන රෝග පිළිකාවන් වැනි දේ මුත්‍ර රෝගයන් මෙන් සන්ධිගතව ව්‍යාධීන් ද ඔබ හට ඇතිවිය හැකිය
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු