වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)
සිළුමිණ “ඉසිවර” මෙවර කලාපයෙන් අප විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මෙම උතුම් “සර්වතොභද්රය” පුරාණ ඇදුරන් විසින් ඉතා ගෞරවයෙන් භවිත කළ මහා බලගතු ආරක්ෂක දැහැනකි. රැය පහන් වන තුරු රෝගීන් වෙනුවෙන් යාගහෝම ශාන්තිය පුද පූජා පවත්වන ඇදුරන් විසින් හිමිදිරියේම ඉතා රහසින් මෙම උතුම් ආරක්ෂා දැහැනින් පැන් මතුරා රෝගියාට බොන්නට සහ මුහුණ සොදා ගැනීමට දීමෙන් අනතුරුව සියලු දෝෂ නිමාවට පත් කරයි.
ඒ තරමට මහත් බල ඇති මෙම ආරක්ෂක දැහැන අපි විසින් ඉතාමත් ගෞරවයෙන් රැකගෙන එන අතර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පින් පිණිස මෙසේ පාඨක ඔබ වෙත තිළිණ කිරීමට අදහස් කළෙමු. කිසියම් මුදලක් අය කර මෙය යම් අයෙක් වෙනුවෙන් කර දීම බලවත් වැරැද්දක් බව මුලින්ම සිහිපත් කළ යුතුය. හුදෙක් ඔබගේ සහ ඔබට හිතැති යමෙකුගේ යහපත සඳහා පමණක් මෙය භාවිත කරනු මැනවි. ඕනෑම මන්ත්‍ර ශාන්තියකින් ප්‍රතිඵලයක් ලැබීමටනම් එය සිදු කරන පුද්ගලයා බාහිර මෙන්ම විශේෂයෙන් අභ්‍යන්තර පාරිශුද්ධ භාවය ඇතිකර ගත යුතුය.
පන්සිල් සමාදන්ව එය ආරක්ෂා කරමින් තෙරුවන් වන්දනා කර හැකි පමණින් පැන්, මල්, පහන් ආදිය පූජා කර උතුම් පිරිත් සූත්‍ර සජ්ඣායනා කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්රමුඛ දෙවි – දේවතාවුන්ට පින් දී යහපත් සිතුවිලිවලින් යුක්තව ‘මෙම ශාන්තියෙන් යහපත සැලසේවා‘ යන ප්‍රාර්ථනාවෙන් මෙම කටයුක්ත ආරම්භ කළ යුතුය.
පිරිසිදු පැන් බඳුනකට මෙම ආරක්ෂා දැහැනෙන් 49 වතාවක් ජීවම් කර – බීම සහ මුහුණ සේදීම, පිරිසිදු පොල් තෙල් හෝ බෙහෙත් තෙලකට 49 වතාවක් ජීවම් කර හිසේ සහ ඇඟේ ගෑම, අඹ අත්තක් ගෙන මෙම දැහැන කියමින් රෝගීන්ට සෙත් පැතීම, නූල් පොට 9කට 49 වතාවක් ජීවම් කර බෙල්ලෙ බැඳීම, සියලු යක්ෂ – භූත දොෂ දුරු වීමට සහ සියලු රෝග පීඩා දුරු වීමට ඉතාමත් පිහිටක් වේ. (ආරක්ෂක දැහැන මේ සමඟ පළවේ.)
මෙය පාඩම් කර කියවීමෙන් ස්ථානගත භූමිගත සියලු යක්ෂ දෝෂ දුරු වේ. තමන්ට අපමණ ආරක්ෂාව සැලසේ. තමන්ගේ ආරක්ෂාවට මෙය නිතර සිහි කරන්න. තමාට ආරක්ෂාව සඳහා මෙය භාවිත කිරීමේදී “මගේ” යන්න යොදා ජීවම් කරගන්න.
ලක්ෂයක් මන්ත්රවලට අධිපති මහා සර්වතොභද්රයයි.