සතියක කාලය කාර්යබහුලතාව සමඟින් ගෙවී යයි. අද පාසල් ඇරුණු පසු නිවස කරා යන්නට සිතුවේ හෙට සෙනසුරාදා උදේම සඳමාලි හමුවීමේ අවශ්‍යතාව නිසාමය. සවස නැවතත් ආපසු ඒමට සිතමින් සිටිමි. හේ ඉරිදා පාන්දරම නිවසින් පිටත් වන්නට ද සිතමින් සිටිමි. ඒ ඉරිදා උදේ මාටින් ගුරුන්නාන්සේ බැහැදැකීමේ අරමුණ නිසාවෙනි. අමතර බෑගය සමඟ පාසලට මා ඇතුළු වනුවා දුටු විදුහල්පතිතුමා “සර් අද ගෙදර යන්න වගේ” යැයි ඇසුවේ කාරුණික වදනිනි. “ඔව් සර්” මා කෙටි පිළිතුරක් දී එතනින් වහා ඉවත් විමි.
උදෑසන පාසලේ කටයුතු නිවැරදිව, අකුරට සිදු කළෙමි. මා අද ගණිතය පිළිබඳ කෙටි ක්‍රම කීපයක්ම දරුවනට කියා දුන්නෙමි. ඒ වේදාන්ත ගණිතය අනුවය. විශ්වවිද්‍යාල කාලසීමාවෙහි ඉගෙන ගත් ගණිත කෙටි ක්‍රම බොහෝමයක් වේදාන්ත දර්ශනයෙහි එන ඒවා බවත් පවසා ඒ සඳහා මූලාශ්‍රත් මට සොයා දුන්නේ මගේ මිත්‍රයාමය. යන්ත්‍ර මන්ත්‍ර ආදියට පමණක් නොව ජ්‍යොතිෂය ඉගෙනීමටත් ආශාව වර්ධනය වීමට ඒ සාධකය ඉවහල් වූයේ දැයි හැඟේ.
එන සතියේ තවත් කෙටි ක්‍රම ටිකක් උගන්වන්නට පොරොන්දු වූයේ දරුවන්ගේ ඉගෙනීමේ ආශාව වර්ධනය කරන්නටමය. මාසය සෙමින් ඇදෙන අතර පාසලේ සිද්ධි මෙන්ම වරින්වර සඳමාලිද සිහි වේ. අද මා එන බව ඇය දන්නේ නැත. මා අද එන එක ගැන ඇය සතුටු වුවත් හෙට හෝ අනිද්දා පාන්දරම නැවත පැමිණීම ගැන නම් ඇය සතුටු නොවනු ඇත. විවාහය තවත් පමා නොකළ යුතු බව අම්මා අප්පච්චි මෙන්ම සඳාගේ පවුලේ අයගේද අදහස වී ඇත. එය ඉක්මන් කළ යුතු යැයි මටද දැන් දැන් හැඟෙන්නේ මා සිතෙහි ඇති උතුරා යන ප්‍රේම සිතිවිල්ල නිසාවෙන්ම විය හැකිය. කල්පනා කරන්නට බොහෝ දේ ඇත. ගෙදර කිසිවෙකු අද මා ගෙදර එන බව නොදනී. මඟ බලා සිටි කවුරුත් නැත. “අම්මා” යැයි මා හඬ නැඟූයේ මා පැමිණි බව පවසන්නටය.
“ඇයි පුතා අද කිව්වෙත් නැහැනේ” ඇගේ සිත කලබලයෙනි.”නෑ නෑ, අම්මා කලබල වෙන්න දෙයක් නැහැ. මම හොඳින්, අනිද්දා උදේම යන්න බලාගෙන ආවේ” මාගේ පිළිතුර නිසා ඇය විශේෂ යමක් නොකීවේය. “ඉන්න මම තේ එකක් හදාගෙන එන්නම්” ඇය මුළුතැන්ගෙය දෙසට ගියාය. අප්පච්චි පේන්න නැත. ඇය තේ කහට කෝප්පය සමඟ වෙනදාට ගෙනෙන කිතුල් හකුරු කැබැල්ල වෙනුවට “සව් දොදොල්” කෑලි කීපයක්ම ගෙනවිත්ය. මා එවාට ආශා බැව් ඇය දනී. මා හෙමිහිට කහට උගුරක් බොන ගමන්ම සව් දොදොල් රස බැලීමි.
“එක නෙවේ පුතේ… හොඳ ආරංචියක් තියෙනවා” ඒ මොකක්ද මම ඇසුවෙමි. “ඇසිලින් ඇන්ටි අප්පච්චිට කතා කරල තිබුණනෙ පෙරේදා ” “ඉතින්” මා ඇසුවේ සතුටිනි. “ඇසිලින් නැද්දා” සහ අපේ අප්පච්චි අතර තිබෙන නඩුවට මාටින් ගුරුන්නාන්සේ කළ ගුරුකමට සති තුනක්වත් ඉක්ම ගොස් නැත. මා සාවදානව සවන් දුනිමි. ඇසිලින් නැන්දා කීවලු නඩුහබ කීව මැදෑ මල්ලි අපි ඕක සාමදානෙන් විසඳගමු කියා. අම්මා සතුටින් පවසයි. මේ ඉඩමේ ප්‍රශ්නයද මාගේ විවාහය පමා කළ එක් හේතුවක් වී තිබුණි. කෙසේ වෙතත් ප්‍රශ්න එකින් එක විසඳෙමින් යන බව පෙනේ. හෙනහුරා හැමදාමත් කරදර නොකරනු ඇතැයි මා සිතමි. “අප්පච්චි මාර සන්තෝසෙන් පුතා එනකම් මඟ බල බලා උන්නෙ.” “අප්පච්චි කෝ අම්මේ” මා ඇසුවේ තවමත් අප්පච්චිව නොදුටු හෙයිනි.
“ඇසිලින් නැන්දා ඉඩමෙ වැඩේට සමාදාන වුණු නිසා ඊළඟ නඩු වාරෙට නඩුව අහක් කර ගමුය කියා ‘ලෝයර්‘ මහත්තයව හමුවෙන්න ගියෙ…” ඇය පැවසුවේ සතුටිනි. “ඒක නෙවේ පුතා අප්පච්චි කීවා ‘පුතා එක්ක කතා කරල මාටින් ගුරුන්නාන්සෙව හම්බ වෙන්නත් යන්න ඕනි‘ කියල මා එයට මොකුත් නොකීවෙමි. මට දැන් වුවමනා වනුයේ ඇඟපත සෝදාගෙන “සඳා” ව බලන්ට යාමටය. “ආ… එහෙනම් පුතා ඇඟපත හෝදාගෙන පාරට ගිහින් එන්නකෝ” යැයි කීවේය. සඳා බැලීමට මා පුන පුනා සිතමින් සිටින බව ඇයට තේරුණ නිසාවෙන් විය හැකිය.
අද සෙනසුරාදාය. කෙතරම් රෑ බෝවී නිදා ගත්තත් පාන්දර හතර වන විට මම ඇහැරේ. නිවසේ සිටි කාලය තුළ දිනපතා බුදුන් වැඳීම සඳහා මල් – පහන් සූදානම් කරන්නේ මමය. මා ඇටියාවල පාසලට ගිය පසු අම්මා ඒවා සිදු කරනු ලැබේ. සති අන්තයේ මා නිවසට ආවත් අම්මාට පුරුද්දක් ලෙස එම කටයුතු සිදු කරනු ලැබේ. අම්මා අප්පච්චි එකට බුදුන් වඳී. පාසලට යාමට පෙර නම් මමද ඔවුන් සමඟම බුදුන් වැන්දෙමි. කෙසේ වෙතත් අම්මා අප්පච්චි බුදු කුටියෙන් එළියට ආ පසු මම බුදුකුටිය වෙත ගියෙමි. පිච්ච මල් සුවඳින් එය පිරී ගොස්ය. සිත සන්සුන් කරන ඒ සුවඳට අපි සියලු දෙනාම කැමති වෙමු. මා පන්සිල් සමාදන්ව බුදු ගුණ ගයා විෂ්ණු දෙවියන්ගේ ස්තෝත්‍රයක් ගයා උන්වහන්සේට තුති පිදුවෙමි. මාටින් ගුරුන්නාන්සේගේ හමුව ගැනත්, නඩු කටයුත්ත ගොඩින්ම ජය ගැනීමට ලැබීම ගැනත්ය. ඒ.
“ශශි ගුණ යුග නේත්‍රං – පද්ම නාභං මුකුන්දං
විවිධ බල ප්‍රදාරං – කෘෂ්ණ දේහං මනෝඥං
ප්‍රබල දස බලාථීං – පාරමී ධර්ම පූරං
අඛිල භය හරන්තං – විෂ්ණු දෙවං නමාමී”
මේ ස්තෝත්‍රයට මා පුදුමාකාර ලෙස කැමැත්තෙමි. ලොකු චිත්ත පීඩාවක්, කරදරයක්, බාධකයක් පැමිණි විට හොඳින් බුදුන් වැඳ මා මෙය තෙවරක්ම ලස්සනට ගයමි. ඊට පසුව විෂ්ණු දෙවියන්ට සැල කළ කිසිම කරුණක් උන්වහන්සේ ප්‍රතික්ෂේප නොකළේ යැයි හැඟේ.
උදේ කෑම නොකා ගෙදරින් එළියට ගියොත් බැනුම් කෝටියක් අහන්න සිදුවන බව දනිමි. අදත් උදෑසනම මා සඳාලගේ ගෙදර යන බව දන්නා අම්මා උදේම කිරිබත් සහ ලුණු මිරිස් සකස් කර තිබේ. මා ප්‍රිය කරන ආහාර අනිවාර්යයෙන්ම සති අන්තයේ නිවසට පැමිණියොත් ලැබෙන බව මා දනිමි. අම්මා අපිට කොතරම් ආදරේද ළෙන්ගතුද යන්න දැන් දැන් හොඳින් වැටහේ. ‘සඳමාලි මාළිගාවට යමුය‘ කියා යෝජනා කර මාස ගණනක් ඉක්ම ගොසිනි. එහෙත් තවමත් එය ඉටු කිරීමට මා අපොහොසත් වී තිබේ. ඊයේ රාත්‍රී මාළිගාව ගැන කතාබහක් ඇති වුවත් සඳමාලි නිහඬව සිටීම ගැන මා සිතේ ඇත්තේ දුකකි. ලබන සතියේ අනිවාර්යයෙන්ම ඇය සමඟ මාළිගාවට යාමට මා ඊයේම තීරණය කළ නමුත් එය අද උදෑසන ඇයට පවසන බව සිතුවෙමි. හෙට උදෑසන මා ආපසු යා යුතු බවද ඒ සමඟම පවසා ඇගේ සිත සන්සුන් කළ හැකි යැයි මා සිතුවෙමි. අද දවසේ වැඩි හරියක් ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමේ අදහස ඇතිවම “අම්මා අද දවල් මම සඳාලගෙ ගෙදරින් කෑම ගන්නම් කියා” කීවේ අම්මා ද ඒ පිළිබඳව දැනුවත් විය යුතු නිසාවෙනි. ඊයේ එන ගමන් ටවුමේ පොත් කඩෙන් පොත් පිංචක් මිලට ගත්තේ එහි නාමය නිසා මිස අභ්‍යන්තර හරය විමසා නම් නොවේ. “ආදරයට ආදරයක්” පොත් පිංචද රැගෙන මම සඳමාලිගේ සිත් සෙවණ සොයා ඇදුණෙමි.