Home » නිවසේ ව්‍යාපාරික ස්ථානයේ දෝෂ සොයන්න ගුප්ත ක්‍රමයක්

නිවසේ ව්‍යාපාරික ස්ථානයේ දෝෂ සොයන්න ගුප්ත ක්‍රමයක්

by thanushika
September 23, 2023 12:55 am 0 comment

‍ප්‍රේතයින්, යක්ෂයන්, අමනුෂ්‍යයන් නිසා හෝ කොඩිවින, බන්ධන, හූනියම් දෝෂවල බලපෑම් නිසා හෝ විවිධ ගැටලුවලට ප්‍රශ්නවලට මැදිවී මානසික වශයෙන් පීඩාවට පත්වන ලක්වන පිරිස් වර්තමානය වන විට බහුල වෙමින් පවතී. යම් නිවසකට, ව්‍යාපාරික ස්ථානයකට එවැනි දෝෂ පවතීද නැද්ද යන්න සොයා බැලීමට පාරම්පරිකව පැවත එන්නාවූ ගුප්ත ක්‍රමයක් ඔබටම බලා ගැනීමට සඳහන් කරමි. ඒ අනුව දෝෂ පිළිබඳව අවබෝධය ලැබ ඊට අදාළ කටයුතු කර එකී දෝෂ ඉවත්කර ගන්න.

එවැනි දෝෂ නොමැති බව මෙම කටයුතු කිරීමේදී අවබෝධ ලද හොත් යක්ෂ, භූත, අමනුෂ්‍ය දෝෂ හෝ අනවින කොඩිවින බන්ධන ආදී දෝෂ නැති බවට ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. එවැනි දෝෂ නැතිමුත් ඔබට විවිධාකාර ගැටලු ප්‍රශ්න ඇති වන්නේ නම් ඔබගේ හෝ පවුලේ සැමගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන ඊට අදාළ ශාන්තිකර්ම කර ගන්න.

මෙහි දෝෂ ඇද්ද නැද්ද යන්න පරීක්ෂා කර බැලීමට නිවසේ ඇති දිය ලුණු භාජනයෙන් ලොකු ලුණු කැට නමයක් ද, බුදු පහන දැල්වීමට මැටි පහනක් ද, හඳුන්කූරු, සුවඳ කුඩු, බුලත් කොළ නවයක් ද, විවිධ පාට මල් වර්ග නවයක් ද, පොල් තෙල් ද, නැවුම් අලුත් ඇතිළියක් ද සූදානම් කරගන්න.

බුදු පහන දල්වා සුවඳ දුම් අල්ලා බුලත් කොළ මත මල් තබා තුනුරුවන් වැඳ නමස්කාර කර ලුණු කැට නවය අතට ගැනීමට සූදානම්ව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා උදාහරණ වශයෙන් හම්බන්තොට ප්‍රදේශයේ අයෙකු නම් කතරගම දෙවියන්ද මැදවච්චිය ප්‍රදේශයේ අයෙකු නම් පුල්ලෙයාර් හෙවත් ගණ දෙවියන් වශයෙන් සිතින් සිහිපත් කර “මාගේ නිවසේ යම් දෝෂයක් පවතී නම් ඒ පිළිබඳ අවබෝධය ලැබීමට මා හට පිහිට වන්න“ කියා ලුණු කැට අතටගන්න.

ඇතිළිය ළිප මත තබා රත් කිරීම වෙනත් අයෙකුට පවරා මෙහි සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් ලුණු කැටවලට මතුරා අවසානයේ ළිප මත ඇතිළිය හොඳට රත්වී ඇත්නම් ඒ තුළට (ජීවම් කරන ලද ලුණු කැට) දමන්න.

මන්ත්‍රය –

ඕං වෛර කිඩ නැවුම් පෙරියපුර

නැහුම් සදර්වානා වාවා – මාකාය හෙයියාය

සුං – හෙයියාය කුඩකුරුවා සුනියං ගිනි ගිනි සුං

ලුණු කැට දමා මඳ වේලාවක් හොඳින් රත් කරන්න. ලුණු සියල්ලේම පැහැය වෙනස් නොවී පුපුරා ගොස් ඇත්නම් ඉන් අදහස් වන්නේ යක්ෂ, භූත, අමනුෂ්‍ය හෝ අනවින කොඩිවින බන්ධන හූනියම් දෝෂ නොමැති බවය. ලුණු කැට කළු පැහැයට පත්ව පුපුරා ගොස් ඇත්නම් නිවසේ මළ භූත දෝෂයක් ඇත. ලුණු කැට කළු පාට වී පුපුරා නොගොස් පවතී නම් ප්‍රබල ලෙස බලපාන මළ යක්ෂ දෝෂයක් ඇත. ලුණු සුදු පාටට ඒ ආකාරයෙන්ම පැවතීමත් පුපුරා නොගොස් ඇත්නම් නිවසට භූමියට කොඩිවිනයක් ඇති බව සිතන්න. යම් හෙයකින් ලුණු කැට ගින්දර පාටවී ඇත්නම් ඉතා තදබල ලෙස කරන ලද කොඩිවිනයක් ඇති බව සලකන්න.

භූමිවල නිවෙස්වල දෝෂ සෙවීමට ඇදුරන් මෙන්ම දේවාලවල දේවගැතියන්ද මෙන්ම කපු මහත්වරුද විවිධ ක්‍රියා අනුගමනය කරති. මහා භද්‍රකාලි දේව මැණියන්ගේ දේව දිෂ්ටි වරමින් නිවස තුළ බුදු පහන දල්වා ඒ අසල දෙහි ගෙඩි නවයක් භාජනයකට දමා කරනු ලබන දෝෂ බැලීම ද ඉතා සාර්ථක ක්‍රමයකි. මෙහි සඳහන් වනුයේ ඔබ නිවසේදීම තමාටම දෝෂ ඇද්ද නැද්ද යන්න සොයා බැලීමේ පහසු ක්‍රියාවලියකි.

දෝෂ ඇත්නම් ඊට අදාළ කටයුතු සුදුසු අයෙකු ලවා කරවා ගන්න. ප්‍රබල දෝෂයක් ඇතත් නැතත් නිවෙස්වල දෝෂ ඉවත් කර ආරක්ෂා බල පිහිටුවාලීමේදී බහිරව දෙවියන් වෙනුවෙන් සුළු පූජාවක් හෝ දී භූමිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ඉන් විශාල රැකවරණයක් ලැබෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වෛද්‍යාචාර්ය එම්. රූපසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division