සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ
ප්‍රධාන පර්යේෂක
ජනක ප්‍රියන්ත දයාරත්න
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයත්, නූතන වාස්තු විද්‍යාවත් තුලනය කරගත නොහැකි වුවහොත් වත්මන් ඉදිකිරීම් ශිල්පයට සමගාමී භාවිතාවක් ලෙස ගොඩනැඟීම පහසු නොවේ. අද වන විට ලොව පුරා පවත්නා විවිධ ඉදිකිරීම් ශෛලීන් දේශීය සම්ප්‍රදාය නොසලකා උකහා ගන්නා තත්ත්ව යටතේ පුරාතන ඉදිකිරීම් පිළිවෙත් අනුව වාස්තු ශාස්ත්‍රීය පරීක්ෂාවන් භාවිතයට ගත හැකි නොවේ. එබැවින් බටහිර විද්‍යාවන් සමඟ ගොඩනැඟී එන නූතන වාස්තු විද්‍යාවේ එන සිද්ධාන්ත අධ්‍යයනය අනිවාර්ය අංගයක්ම වන්නේය.
ඒ අනුව පොළොව වටා පැතිර ගිය ශක්ති වලාව ඇතුළත සිදු වන පොළොවේ භ්‍රමණය (කරකැවීම) හේතු කොටගෙන සාපේක්ෂ වශයෙන් පොළොව වටා ශක්ති ධාරාවක ගලා ඒමක් සිදු වේ. මෙසේ සිදු වන ශක්ති ධාරාව අන්තරීක්ෂ (COSMIC) ශක්තිය ලෙස හැඳින්වේ. මේ පිළිබඳව 1911/12 සමයේදී බටහිර විද්‍යාඥයකු වන වික්ටර් හස් විසින් දුෂ්කර පරීක්ෂණ ගණනාවක් සිදු කර අන්තරීක්ෂ ශක්තියේ ස්වභාවය හඳුනා ගන්නා ලදි.
මෙසේ සාපේක්ෂ වශයෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ වැදෙමින් පොළොවට උරා ගන්නා අතර, ඒවා යම් සීමාවකදී පොළොවට උරා දරා ගත හැකි උපරිම මට්ටමට පත්වේ. මෙසේ අන්තරීක්ෂ ශක්තියෙන් සංතෘප්ත (SATURATED) වූ පොළොව වෙත තවදුරටත් ශක්ති වලාව ඇතුළත භ්‍රමණයෙන් ලැබෙන ශක්ති ධාරාව පොළොවට උරා ගනු ලැබුවද ඊට සමාන ශක්ති ප්‍රමාණයක් පොළොවෙන් පිටතට ගලා ඒම සිදු වේ. (එය ගතිකව සමතුලිත වීමක් යැයි බටහිර විද්‍යා අධ්‍යාපනය අපට කියා දෙයි) මෙසේ පොළොවට සිරස් ලෙස නිකුත් වන ශක්ති ධාරාවේ සංයුතිය අන්තරීක්ෂ ශක්තියම වුවත් එහි ස්වභාවයේ ඇති වෙනස්කම් සලකා මෙකී ශක්ති නිකුතුව භූ (EARTH) ශක්තිය ලෙස භාවිතයට පැමිණ තිබේ.
ඊට අමතරව පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ක්‍රියා කරන චුම්බක බල රේඛා ආදියද සැලකීමේදී මනුෂ්‍යයාට බලපාන ප්‍රධාන ශක්ති විශේෂයක් බවට චුම්බක ශක්තියද පත්ව තිබේ.
මෙකී ශක්තීන්ගේ බලපෑම අනුව මනුෂ්‍යයාට සිදු වන හිතකර හා අහිතකර තත්ත්වයන් විග්‍රහ කළ හැකි අතර, ඒවා පුරාතන සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය සමඟ ද මැනැවින් ගැළපේ. මේ සැසඳීම වඩාත් හේතු යුක්ත කරගැනීමට මනුෂ්‍ය ශරීරය වටා පවත්නා ශක්ති ක්ෂේත්‍රයේ ස්වභාවය පිළිබඳ නූතන මෙවලම් හරහා වන අධ්‍යයනයද යොදා ගත හැකියි.
කෙසේ වුවත් වාස්තු පරීක්ෂාවන්හිදී හඳුනා ගනු ලබන දෝෂ ඉවත් කිරීම නම් කිසිසේත් පහසු කාර්යයක් නොවේ. එක් අතකින් කැඩීම් බිඳීම් හා යළි ඉදිකිරීම් සඳහා වන දරාගත නොහැකි වියදමත්, තවත් අතකින් ගොඩනඟා ඇති ඉදිකිරීමක් කඩා නැවත තැනීමේදී ඇති ප්‍රායෝගික කරදර ආදියත් සැලකීමේදී දෝෂ හඳුනා ගත්තද නිවැරදි කිරීම ඉතා අපහසු බව කිව යුතුව තිබේ. මේ නිසා වෙනත් සරල හා පහසු ක්‍රම කෙරෙහි වාස්තු ශිල්පීන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වී තිබේ.
වාස්තු දෝෂ නිවාරණය කිරීම සඳහා ලොව පුරා වසර දශක ගණනාවක් තිස්සේ භාවිතයට පැමිණ ඇති පිරිමීඩ මෙවලම් භාවිතයද මෙහිලා අතිශයින් වැදගත් වේ. විවිධ ප්‍රමාණයන්ගෙන් හා තඹ, ප්ලාස්ටික්, රන් ආලේපිත ආදී විවිධ ද්‍රව්‍යයන්ගෙන් තනා ඇති මෙකී පිරමිඩ භාවිතයේ ඇති පහසුව නිසා දෝෂ ඉවත් කර ගැනීම සඳහා යොදා ගැනීම අපේ රටේත් වේගයෙන් ජනප්‍රිය වන බව පෙනේ. එසේ වුවත් මෙකී පිරමීඩ භාවිතය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් නොමැතිව ක්‍රියා කිරීමක්ද පවත්නා බැවින් පළමු වතාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු.
පිරිමීඩයක් යනු ත්‍රිකෝණාකාර පැති හතරක් හා සම චතුරස්‍රාකාර පතුලකින් සමන්විත ගන රූපයකි. ඇතුළත සිදුරක් සහිතව මෙවැනි දැවැන්ත ඉදිකිරීම් ලොව පුරා දක්නට ඇතත් ඊජිප්තුවේ ගීසා පිරිමීඩ ලොව වඩාත් ප්‍රචලිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එතරම් දැවැන්ත නිර්මාණයන් කවර අපේක්ෂාවක් සහිතව ඉදි කළේ ද යන්න නිශ්චිතව තවමත් කිව නොහැකි වෙතත් එහි පවත්නා විස්මිත ක්‍රියාකාරිත්වය පිළිබඳව නම් නූතන බටහිර විද්‍යාඥයන් පවා පිළිගනු ලබයි. ඔවුන් ඒ පිළිබඳ විවිධ එකිනෙකට වෙනස් පැහැදිලි කිරීම් සිදු කරනු ලැබුවද තවමත් ඒවායේ පවත්නා සුවිශේෂ ශක්තිමය බලපෑම් අධ්‍යයනය අවසන් වී නොමැත.
අප විසින් නිවසේදී තනා ගනු ලබන කුඩා පිරිමීඩයක් භාවිත කරමින් අපටද මෙකී විස්මිත අත්දැකීම් ලබා ගත හැකිය. නිවැරැදි පරිමාණයට තනා ගත් පිරිමීඩයක් ඇතුළත විවිධ දේ තබමින් සිදු වන විස්මිත ප්‍රතිඵල අත්දැකීමට ඔබටත් අවස්ථාව සලසා ගත හැකියි. පිරිමීඩයක් තනා ඒ ඇතුළත ඉක්මනින් නරක් වන පිරිසිදු එළකිරි (කල්තබා ගන්නා රසායන නොදැමූ) තැබූ විට එය දින ගණනක් නරක් නොවී පැවතීම අපටම අත්දැකිය හැකිය. අප විසින් රැවුල කැපීමට භාවිත කරන රේසර් තල මෙවැනි පිරිමීඩයක් ඇතුළත තැබූ විට එහි ‘මුවහත්‘ බව කලාන්තරයක් පවත්වාගත හැකියි. මෙවැනි තවත් සිය ගණනක් විස්මිත අත්දැකීම් ලොව බොහෝ දෙනා අදටත් ලබා ගන්නා අතර අප ඉහත දක්වන ලද වාස්තු දෝෂ නිවාරණයට පිරමීඩ භාවිත කිරීමද අද වන විට ලොව පුරා දහස් ගණනක් ජනතාව භාවිත කරන බව පැවසිය යුතුයි.
වාස්තු දෝෂ නිවාරණයෙහිලා පිරමීඩ භාවිත කිරීමේදී අපට ඇති වාසි ගණනාවකි. ඒ අතරින් ප්‍රධානතම කාර්යය වන්නේ නිවසක කොටස් හෝ සමස්තය කඩා බිඳ නැවත සකස් කිරීමට සිදු කරන වියදම හා මුහුණ දීමට සිදු වන කරදරය වෙනුවට කෙටි වේලාවක් ඇතුළත මෙවැනි පිරිමීඩාකාර මෙවලම් යොදා ගත හැකි වීමයි. දෝෂ නිවාරණයට අමතරව නිවාස අභ්‍යන්තරයේ ඇති වන අන්තරීක්ෂ ශක්තියේ වර්ධනය බලවත් ලෙස නිවැසියන්ගේ ශක්ති ශරීරය (AURA) දියුණු කිරීමට ඉවහල් වේ. මෙයද එදිනෙදා පුද්ගල ක්‍රියාකාරීත්වය පලදායි කරවන බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.
මෙවැනි සරල භාවිතයකින් (පිරිමීඩ භාවිතයෙන්) වාස්තු දෝෂ නිවාරණය වූයේ දැයි අයකුට සැකයක් මතු විය හැකිය. සාමාන්‍ය ක්‍රමයට කැඩීම් බිඳීම් සිදු කර දෝෂ ඉවත් කිරීමේදීත් දෝෂ නිවාරණය වූයේ යැයි නිශ්චිතව කිව නොහැකි මුත් පිරිමීඩ භාවිතයේ ආරම්භයේ සිටම ලීමර් අන්ටෙනාව ආදී නූතන බටහිර විද්‍යාත්මක මෙවලම් භාවිතයෙන් ඒ සියල්ල දළ පරීක්ෂාවකට ලක් කළ හැකිය. පිරිමීඩ සවිකර සති දෙකක් පමණ ඉකුත්ව ගිය පසු නිශ්චිතව දෝෂ නිවාරණය වූ බව තහවුරු කළ හැකිය.
මෙයට අමතරව යම් අභියෝගාත්මක පරීක්ෂණයක් අවශ්‍ය නම් පිරිමීඩ සවි කිරීමට පෙර නිවසේ වැඩි වශයෙන් රැඳී සිටින නිවැසියන්ගේ ශක්ති ශරීරය ‘ඕරා පරීක්ෂක‘ උපකරණයකින් මැන බලා ඡායාරූප සටහන් කර පිරිමීඩ සවි කළ පසු යළි ඒවා පිරික්සා හොඳින් සසඳා බලා නිශ්චිත කොට තහවුරු කොට දැක්විය හැකි බව අපගේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ පර්යේෂණවල අත්දැකීමයි.