Home » වසර 137ක අභිමානවත් ගමනක යන හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය

වසර 137ක අභිමානවත් ගමනක යන හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය

by mahesh
September 23, 2023 12:30 am 0 comment
විද්‍යාලයීය ප්‍රාථමික අංශය

ස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් වසර 137ක ඉතිහාසයකට හිමිකම් කියනු ලබන හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය අනාගත අභියෝග ජයගත හැකි සවිමත් පරපුරක් දැයට බිහි කිරීමේ දැක්ම ඇතිව ක්‍රියාත්මක වන අධ්‍යාපන තෝතැන්නකි. ඉඩම් අක්කර අටකට අධික භූමියක් පුරා පැතිරුණු මනරම් හරිත පරිසරයක ස්ථාපිත වී ඇති මෙම විද්‍යාලය ඉකුත් 21 වැනිදා චාම් එහෙත් අභිමානවත් උත්සව සිරියක් ගෙන තිබුණේ විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට පදක්කම් පැලඳ වීමේ අවස්ථාව වෙනුවෙනි.

පළමු ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදු කෙරෙන හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයේ සිසුහු 650 ක් අධ්‍යාපනය ලබති. ගුණ නුවණින් පොහොසත් මනා පෞරුෂයකින් යුතු නිර්මාණශීලී පරපුරක් දැයට දායාද කිරීමේ මෙහෙවර මෙම විදුහල තුළ ක්‍රියාත්මක කිරීම සඳහා 45 දෙනකුගෙන් යුතු ආචාර්ය මණ්ඩලය කැපවී ක්‍රියා කරති. ඔවුන්ට සහාය වන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සාමාජිකයන් තිදෙ­‍ෙනකුගෙන් සමන්විත වේ. විද්‍යාලයේ උසස් පෙළ විෂයය ධාරාව ක්‍රියාත්මක වන්නේ කලා අංශයෙනි.

විද්‍යාරාජ මහා විද්‍යාලයට තිඹිරිගෙය වන්නේ වර්ෂ 1886 දී හෝකන්දර දකුණ ග්‍රාමයේ ජීවත් වූ ඩබ්. ඩී. ජාලිස් වානගුරු ගුරුන්නාන්සේ විසින් සිය නිවසේ ආරම්භ කළ කුඩා පාසලයි. ටික කලකට පසුව හෝකන්දර හන්දියට ආසන්නව වර්තමානයේ පාසල පවතින ස්ථානයට යාබද භූමියක ස්ථානගත කොට ඇත. එවකට විදුහල පාලනය කළ ජයසූරිය මහතා පාසල තුළ බෞද්ධ අධ්‍යාපනය ස්ථාපිත කිරීම වෙනුවෙන් කොළඹ පරම විඥානාර්ථ සමාගමට පාසල පවරා දෙන අතර, එතැන් සිට පාසල විද්‍යාරාජ බෞද්ධ විද්‍යාලය නම් විය. 1943දී විදුහලේ එවකට විදුහල්පති වූ පී. ඩී. රාජසිංහ විසින් ජ්‍යෙෂ්ඨ පන්ති ආරම්භ කළ අතර, 1962 දී මෙය රජයේ පාසලක් බවට පත්විය. 1974 දී උසස් පෙළ කලා අංශයේ සහ 1976 දී වාණිජ අංශයේ පන්ති ආරම්භ වී ඇති අතර විද්‍යාලයට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය වී ඇත්තේ 1987 දීය. 2010 වසරේදී වසරේ ජාතික ඵලදායිතා සම්මානය දිනා ගැනීමට ද විද්‍යාරාජ මහා විද්‍යාලයට හැකියාව ලැබෙන අතර, නවීන තාක්ෂණය හා අනුගත වෙමින් විදුහලේ පළමු සුහුරු පන්ති කාමරය ස්ථාපිත වන්නේ 2018 වසරේදීය.

වසර 137ක් පුරා දියුණුවේ මාවත දිගේ පැමිණි විද්‍යාරාජ මහා විද්‍යාලයට පරිපාලනමය නායකත්වය දෙන වත්මන් විදුහල්පති ආර්. එම්. රාජරත්න, මෙම විද්‍යාලයේ 21වැනි විදුහල්පතිවරයාය. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන ඔහු අධ්‍යාපන සේවයේ 21ක් වසරක් ඇතුළුව රාජ්‍ය සේවයේ 31 වසරක පෘථුල අත්දැකීම් සහිත නිලධාරියෙකි. වර්ෂ 2002දී ගුරුවරයකු ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට සිය පළමු පත්වීම ලබන හෙතෙම සහකාර විදුහල්පතිවරයකු සහ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස අගනුවර ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක කලක් කටයුතු කළේය. සිය වෘත්තීය ජීවිතයේ සේවය කරන සිවුවැනි පාසල ලෙස ආර්. එම්. රාජරත්නයන් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයට 2021 වසරේ ජුලි මස 16 වැනිදා පැමිණෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසිනි. 2021 වසරේ ඔක්තෝබර් 06 වැනිදා හෙතෙම වැඩබලන විදුහල්පති ලෙස පත්වීම් ලබන අතර, 2022 වසරේ පෙබරවාරි 03 වැනිදා විදුහල්පති ධුරයට උසස්වීම් ලබන්නේය.

එතැන් සිට මේ දක්වා ඔහුගේ පරිපාලනය යටතේ හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයට භෞතික සහ ගුණාත්මක යන දෙඅංශයෙන් අත්කර දී ඇති ප්‍රගතිය ඉහළ මට්ටමක පවතී. වත්මන් විදුහල්පති ආර්. එම්. රාජරත්න මෙම විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ලෙස කටයුතු කරද්දී පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ ව්‍යාපෘතියට මෙම පාසල ද ඇතුළත් වූ අතර විද්‍යාලයේ භෞතික පහසුකම් රැසක් ඉහළ නංවන්නට අවස්ථාව සැලසිණ.

මේ අවධියේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණය ද විශාල ප්‍රතිසංස්කරණ රැසකට ලක් වූ අතර, වර්තමානයේ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ විශාලම ක්‍රීඩාපිටිය හිමි පාසල ලෙස මෙම විද්‍යාලය විරාජමාන වන්නේ ප්‍රදේශයේ පාසල් රැසක පොදු ක්‍රීඩාංගණය බවට පත්වීමේ අභිමානය ද සමඟිනි. අඩපණ වී තිබුණු විද්‍යාලයීය මාධ්‍ය අංශය, සෞන්දර්ය අංශය ඇතුළු අංශ ගණනාවක් සක්‍රිය කර සිසු දරු දැරියන්ගේ බාහිර ක්‍රියාකාරකම් ඔප් නැංවීමට ද වත්මන් විදුහල්පතිවරයා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. විශේෂයෙන් තමා විදුහල්පති ධුරයට පත්වන විට විද්‍යාලයේ සමස්ත සිසු සංඛ්‍යාව 410ක් වූ අතර, විදුහලෙන් ඉවත් වී යෑමේ ප්‍රවණතාවට තිත තබමින් මේ වන විට සිසු සංඛ්‍යාව 650 දක්වා ඉහළ නංවන්නට හැකිවීම ගැන තමා සතුටට පත්වන බව විදුහල්පති ආර්. එම්. රාජරත්න සිහිපත් කළේ නිහතමානීවය. එකල විද්‍යාලයේ උසස් පෙළ පන්තියකට අයත් වූ සිසුන් 5-6ක් පමණ වූ සිසු සංඛ්‍යාව 20ක් හෝ ඊට වඩා ඉහළ නැංවීමට ලැබීම ද තවත් ජයග්‍රහණයකි.

ඒ සියලු ජයග්‍රහණ තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත ලබාගත් ජයග්‍රහණ බව ද විදුහල්පති ආර්.එම්. රාජරත්න පැවසීය. විදුහලේ පරිපාලනය විධිමත්ම පවත්වාගෙන යෑම සඳහා නියෝජ්‍ය විදුහල්පති ඩී. යූ. එන්. විජේතුංග, සහකාර විදුහල්පතිවරුන් වන එම්. කේ. සී. එම්. ජයතිලක, ඩබ්. ඩී. ජයවර්ධන සහ ජේ. ජී.ඩබ් ජයසූරිය, භාණ්ඩාගාරික එම්. ඒ. වයි. ජයසිරි, 12,13 අංශ ප්‍රධාන පී. ජී. ඩී. පී. ප්‍රේමචන්ද්‍ර, 10,11 අංශ ප්‍රධාන එස්. එච්. සේනසිරි, 8,9 අංශ ප්‍රධාන යූ. එන්. ජයතුංග, 6,7 අංශ ප්‍රධාන කේ. ඒ. ටී. චන්ද්‍රසේකර, අංශ ප්‍රධාන ප්‍රාථමික ආර්. ඩබ්ලිව් එම්. එන්. කේ. වීරසිංහ, ක්‍රීඩා භාර ආචාර්ය අයි. සේනාධීර සහ උපගුරු බී. එම්. ඩී. පී ගුණතිලක යන විද්‍යාලයීය කළමනාකරණ කමිටුවෙන් ලැබෙන්නේ නොමඳ සහායකි. එමෙන්ම විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබාදෙන පාසල් සංවර්ධන කමිටුව ඇතුළු මවුපියන්ට සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට විදුහල්පතිවරයා සිය ස්තුතිය පළ කළේය.

සිසුන්ගේ පෞරුෂත්වය ඔප් නංවන ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, කරාතේ, චෙස්, නෙට්බෝල්, කැරම්, මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසක් විදුහල තුළ ක්‍රියාත්මක වන අතර, පරිසර නියමු, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම් ඇතුළු බාහිර ක්‍රියාකාරක්ම් ද ක්‍රියාත්මක වේ. ක්‍රීඩා ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන ඇති මෙම විද්‍යාලයේ වයස අවුරුදු 15න්, 17න් සහ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ක්‍රිකට් තරගවලින් පාසල් 35ක් අතරෙන් ප්‍රථම ස්ථානයට පත්වීමට ද විද්‍යාරාඡ දරුවෝ දක්ෂයෝ වූහ. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කලාප තරගවලින් මීටර් 60 ඉසව්වේ පරිසාදන මට්ටම ඉක්මවූ සිසුන් දස දෙනා අතර පස් වැනි ස්ථානය දිනාගැනීමට මෙම විදුහලේ සචින්ත මලීෂ සිසුවා සමත් විය. ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ වයස අවුරුදු 20න් පහළ ක්‍රිකට් ශූරතාවට සහ 20න් පහළ එල්ලේ අනුශූරතාවට හිමිකම් කියන්නේ ද විද්‍යාරාඡ විදුහලයි. එමෙන්ම අවුරුදු 20න් පහළ සමස්ත ලංකා චෙස් ශුරතාව ද විද්‍යාරඡ දියණියක වන චමෝදි හංසිකා විසින් දිනාගත්තාය. සෞන්දර්ය අංශයෙන්ද දස්කම් පාන විදුරම් සිසු සිසුවියන් අතරෙන් සමස්ත ලංකා සංගීත කලාප තරගයේ ප්‍රථම ස්ථානය (ඒකල ගායනා) ප්‍රථම ස්ථානය ප්‍රමෝද්‍ය රුක්ෂාන් සිසුවා විසින් දිනාගත් අතර එම තරගාවලියේ සමූහ ගායනා 2 වැනි ස්ථානය ද විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ඊට අමරව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් මෙහෙය වූ බෞද්ධ නාට්‍ය උලෙළේ හොඳම කුසලතා ස්ථාන දහය අතරට පැමිණීමට ද විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම සමත් විය.

ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් ද විදුහල තුළ ක්‍රියාත්මක වේ. ඒ යටතේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉහළ නංවන වැඩසටහන් අතර, සම්පත් දායකයන් සහ විද්‍යාලයීය ගුරු මණ්ඩලය මඟින් සිදුකරන වැඩසටහන් සහ ශිෂ්‍යත්ව විභාගයට සති 3කට පෙර පවත්වනු ලබන ආදර්ශ විභාග දරුවන් තුළ විභාග බිය, ආතතිය දුරු කරන මහඟු වැඩසටහන්ය. සාමාන්‍යයෙන් මෙම විදුහලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් රැසක්ම ලකුණු සියය ඉක්ම වූ අතර, සෑම වර්ෂයකදීම සිසුන් කිහිපදෙ‍ෙනකු කඩඉම් ලකුණු ඉක්මවමින් විභාගය සමත් වේ. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ද ප්‍රතිපෝෂණ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. කලක් තිස්සේ පැවති මෙම විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමේ ප්‍රතිශතය 36% සිට ඉකුත් වසරේදී 62% දක්වා ඉහළ නැංවීමෙන් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ඇගැයීමට ද ලක්විය.

අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා සිසුන්ගේ නීරෝගී බව ද අත්‍යවශ්‍ය සාධකයක් කොට සලකන විදුහල්පති ඇතුළු පරිපාලනය කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථික කඩාවැටීම හමුවේ සිසුන් පාසලට පැමිණීම අඩුවීමේ ගැටලුවට විසඳුමක් සෙවූයේ එවකට අධ්‍යාපන අමාත්‍යා‍ංශයේ හිටපු ලේකම්වරියක වූ වෛද්‍ය තාරා ද මෙල්ගේ අදහසක් සහ සම්පත් දායකත්වයෙන් ආරම්භ කළ ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා සමබර ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන තුළිනි. සතියට දින 3ක් බැගින් වසර එකහමාරක කාලයක් එම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කළ අතර, මේ වන විට සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහයෙන් සතියේ දින පහේම ප්‍රාථමික අංශයේ දරුවන්ට තවත් වසරක කාලයක් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් ගත වී ඇත.

විද්‍යාලයේ පස් අවුරුදු සැලැස්ම තුළ ජාතික මට්ටමේ විභාගවලින් සමත්වන සිසු ප්‍රතිශතය ඉහළ නැංවීම, මත් උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහන් තවදුරටත් සාර්ථක කරගැනීම, මානසික වශයෙන් ශක්තිමත් දරු පරපුරක් තැනීම සඳහා උපදේශනය ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සිසුන් පාසලට පැමිණීම ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල හැරයන සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, භාෂා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සහ විදුහල ක්‍රීඩා සහ සෞන්දර්ය පාසලක් ලෙස සංවර්ධනය කිරීම ආදී සැලසුම් වේ. ක්‍රීඩා පිටිය තවදුරටත් සංවර්ධනය කරමින් මීටර් 400 ධාවන පථය දියුණු කිරීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්,

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division