මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත’ ආර්ථික ඝාතනය ‘ කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 25 වැනි සඳුදා පෙ.ව. 11.30ට සිට ප.ව 1.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කරනු ලබයි. රට බංකොලොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් සහ ඊට බලපාන ලද දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ආර්ථිකමය වශයෙන් විග්‍රහ කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙය ශ්‍යාම් විසින් රචිත සහ සංස්කරණය කළ ග්‍රන්ථ මාලාවේ 20 වන කෘතියයි. මෙම ග්‍රන්ථය ජනගත කරන අවස්ථාවට ආර්ථික හා මූල්‍ය අංශවල නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ශ්‍යාම් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු විදු පියසේ ආර්ථික විද්‍යාව, බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වන ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පැවති රජයේ මාධ්‍ය පුහුණු ආයතනයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. වසර දෙකකදී වසරේ හොඳම ව්‍යාපාර හා මුදල් පිළිබඳ වාර්තාකරණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
මේ වන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටී.
එසේ ම ඔහු අෙමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් 2015 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, නිව්යෝර්ක්, ඇට්ලන්ටා, චිකාගෝ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ යන නගරවල දී පැවති ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ පුහුණු වැඩ සටහනකට ද සහභාගී විය. එසේම දකුණු කොරියාව, ඉන්දියාව සහ ඩුබායි යන රටවල පැවති මාධ්‍ය වැඩසටහන්වල පුහුණුව ලබා ඇති ඔහු ඔස්ට්‍රේලියාව සහ චීනය ඇතුළු තවත් රටවල ද මාධ්‍ය සංචාර සඳහා සහභාගී වී ඇත.
‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ඔහු දැනට එම පුවත්පතේ මුල්‍ය හා ආර්ථික කතුවරයා ලෙස කටයුතු කරයි.
එසේම ඔහු එම පුවත්පතේ සතිපතා පළවන ‘ආර්ථික ඇසින්’ ලිපියේ සහ දිවයින ඉරිදා සංග්‍රහයේ සතිපතා පළ වන ‘econo කොලම’ ලිපියේ රචකයා ද වේ. ඔහු මාධ්‍යවේදියකු ලෙස ආර්ථික, ව්‍යාපාර සහ මූල්‍ය ක්‍ෂේත්‍රයේ දිගු කලක් තිස්සේ කටයුතු කිරීමෙන් අත්දැකීම් රැසක් ලබා සිටින ඔහු එකී විෂය ක්‍ෂේත්‍රයන්ට අදාළව ආර්ථික ග්‍රන්ථ මාලාවක් සම්පාදනය කරමින් සිටියි. ‘ආර්ථික ඝාතනය ’ නමින් මේ එළි දකින්නේ එම ආර්ථික ග්‍රන්ථාවලියේ දොළොස් වැනි කෘතියයි. මෙම ග්‍රන්ථයත් සමඟ ඔහු විසින් රචිත සහ සංස්කරණය කළ මුළු ග්‍රන්ථ ප්‍රමාණය විස්සකි.
“ රජය පසුගිය කාලයේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූවා. මෙයට බොහෝ දෙනා විවිධ අර්ථකතන ඉදිරිපත් කළා. බොහෝ දෙනා මෙය රට බංකොලොත්වීමක්, ආර්ථික ඝාතනයක් කියලා අර්ථ දැක්වූවා.
මේ තත්ත්වය ඉබේම සිදුවූ දෙයක් නොව වැරදි ආර්ථික තීන්දු තීරණ, කළමනාකරණය වැනි හේතු සමුච්චයක ප්‍රතිඵලයක් නිසා සිදු වූවක් බැවින් මෙය ආර්ථික ඝාතනයක් ලෙසයි මා මේ තත්ත්වය හඳුන්වන්නේ. මාගේ මෙම ‘ ආර්ථික ඝාතනය ‘ කෘතියෙන් ඊට බලපෑ ආසන්න හේතු මෙන්ම දිගුකාලීන හේතු පිළිබඳ පරිච්ඡේද 13ක් හරහා දීර්ඝ විග්‍රහයක් සිදු කරනවා. ආසන්න හේතු ලෙස 2019 ගෝඨාභය හිටපු ජනාධිපති බලයට පත්වීම, ලිහිල් බදු ප්‍රතිපත්තිය, කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, කොවිඩ් වසංගතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රමාදවීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් හරහා පුළුල් ආර්ථික විග්‍රහයක් සිදු කරනවා. අවසන් පරිච්ඡේදයේ රට බංකොලොත්වීම පිළිබඳ මහ බැංකු අධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් පළ වෙනවා. “
මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මීට පෙර ආර්ථිකය සම්බන්ධ කෘති ගණනාවක් ලියා පළකර ඇත.
ඒ අතර ‘මුදල් ආයෝජනායේ ප්‍රතිලාභ හා අවදානම්’, ‘ආර්ථික යුද්ධය ජය ගැනීම’, ‘කොටස් වෙළෙඳ පොළ ඉතා සරලව’, ‘බුදු දහමේ ආර්ථික විද්‍යාව’, ‘බැඳුම්කර මගඩිය’, ‘යහපාලන රජයේ ආර්ථික ශේෂ පත්‍රය’, ‘කොවිඩ් 19 හමුවේ ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම’, ‘සංචාරක ආර්ථිකයට රට සූදානම් කිරීම’ ඔහු ලියූ ආර්ථික ග්‍රන්ථ අතර ප්‍රධානය. ආර්ථික විග්‍රහයන්ට අමතරව ශ්‍යාම් විසින් ‘පුංචි යහළුවෝ’ නමින් ළමා පොතක් ද රචනා කර ඇත. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ග්‍රන්ථ 4 ක සම සංස්කාරකත්වය දරා ඇත.
ශ්‍යාම්ගේ මෙම ‘ආර්ථික ඝාතනය’ ග්‍රන්ථය අර්ථික බංකොලොත්භාවයට බලපෑ යථාර්ථය පිළිබඳ පාඨකයා නිවැරදි මාවතකට යොමු කිරීමට සමත් වෙයි.
මේ ග්‍රන්ථ ගැන වැඩිදුර විස්තර 077 3558189 දුරකතන අංකයෙන් විමසිය හැකිය.
සුභාෂිණී ජයරත්න