භාවනානුයෝගීන් සිහිය පවත්වා නොගත් විට ඇති වන තත්ත්වය ගැන අපි සාකච්ඡා කළෙමු. සිහිය රෝගය වළක්වන මාර්ගය හා ප්‍රතිකාරය යන දෙකම බවත් පූර්ණ වශයෙන් වර්ධනය වූ සිහිය, ලෝකයේ ඇති කිසිවකට බැඳීමක් ඇතිකර නොගන්නා, කිසිවක් කෙරෙහි ඇලීමක් නොදක්වන ස්වභාවයක් ඇති කරන බවත් අපි දැන ගතිමු.
මෙය පවත්වාගත හැකි නම් මිනිස් දුර්වලතාවලින් ජය ගැනීමට හා බාධාවලින් නිදහස් වීමට වෙනත් උපක්‍රමයක් අනවශ්‍යයි. සිහිය ගැඹුරු දැනීමයි. මතකයන්ට හා සංකල්පයන්ට යටින් තිබෙන ගැඹුර සිහිය දකියි. මෙවන් ගැඹුරු නිරීක්ෂණය ව්‍යාකූලතාවයෙන් තොර නිසැක බවක් ඇති කරයි. කිසිදා පසු නොබසින හෝ හැරී නොයන, නොසැලෙන හා නොවෙනස් වන අවධානයක් ලෙස සිහිය මූලික වශයෙන්ම පෙනී සිටියි. මෙම නොකැලැල් විමර්ශනාත්මක දැනීම, මානසික බාධාවන් වළක්වනවා පමණක් නොව, ඒවායේ නියම ක්‍රියාකාරිත්වය පෙන්වා දී ඒවා විනාශ කර දමයි. සිහිය, සිතේ තිබෙන ක්ලේශයන් බල රහිත කරයි. එහි ප්‍රතිඵලයක් වන්නේ නොකිලිටි, ශක්තිමත් හා ජීවිතයේ කම්කටොලුවලදී නොසැලෙන සිතක් උරුමවීමයි.
විපස්සනා හෙවත් විදර්ශනා භාවනාව එක්තරා ආකාරයක මනස සමතුලිත කිරීමේ ක්‍රියාවකි. සිහිය සහ සමාධිය යන එකිනෙක වෙන් වූ ගුණාංග දෙක මනසේ වඩා ගැනීමට ඔබ මෙහිදී උත්සාහ දරයි. නියමාකාරයෙන් ගත් කල, මෙම ද්විත්වය කණ්ඩායමක් ලෙස එක්ව ක්‍රියාකරයි. ඉදිරියෙන් සහ පිටුපසින් එක දෙසකට ඇදෙමින් යන බයිසිකලයක රෝද දෙකක් සේ එක්ව ක්‍රියාකරයි. එමනිසා මේවා සමතුලිතව දියුණු කර ගැනීම වැදගත් කාරණයකි. එක සාධකයක් වැඩියෙන් දියුණු කර අනෙක පහත් මට්ටමක පවතින විට මනසේ තුල්‍ය බව නැතිවී භාවනා පුහුණුව අසීරු වෙයි.
සමාධිය හා සිහිය එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරිත්වයන් දෙකකි. භාවනාවේදී ඒවාටම ආවේණික වූ භූමිකා තිබෙන අතර තිබෙන සම්බන්ධය සියුම් මෙන්ම නිශ්චිතය. සමාධිය යනු මනස එක අග්‍රයක පිහිටුවීම යනුවෙන් බොහෝ විට හඳුන්වනු ලබයි. එය මනස එක අරමුණක රඳවා තැබීමට බලපෑම් කරයි. කරුණාකර “බලපෑම් කිරීම” යන්න සනිටුහන් කර ගන්න. සමාධිය බලෙන් ඇති කළ හැකි ක්‍රියාවකි. නොනවතින අධිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කළ හැකිය. දියුණු වූ විට එය තරමක් දුරට එහි බලපෑම් ඇති කරන ස්වභාවය රඳවා ගනියි. අනෙක් අතට සිහිය, දැනීමේ ශක්තිය තීව්‍ර කරන සියුම් ක්‍රියාකාරකමකි. භාවනාව නමැති කාර්යයේ සහායකයින් දෙදෙනා සමාධිය හා සිහියයි. සිහිය සංවේදී සාධකයකි. එය දේවල් දකියි. සමාධිය අවශ්‍ය ශක්තිය සපයයි. එය අවධානය, එක වස්තුවකට එල්ල කර තබා ගනියි. මෙම සම්බන්ධයේදී සිහිය අවධානයේ අරමුණ තෝරාගෙන අවධානය ඉවත ගිය විට එය දැනගනියි. අවධානය තෝරාගත් අරමුණ කෙරෙහි රඳවා තබාගෙන කාර්යය ඉෂ්ට කරන්නේ සමාධියයි. එක සහායකයෙක් හෝ දුර්වල වූ විට ඔබගේ භාවනාව පිට පාරේ යයි.
මනස එක වස්තුවක් කෙරෙහි කේන්ද්‍රගත කරන ඉන්ද්‍රිය සමාධිය ලෙස හැඳින්විය හැක. සැබෑ සමාධිය යනු යහපත් මනස එක ලක්ෂ්‍යයකට කේන්ද්‍ර වී තිබීම බව අවධාරණය කරමු. මෙම ස්වභාවය තෘෂ්ණාවෙන්, වෛරයෙන් හා මුළාවෙන් තොරය. අයහපත් ඒකාග්‍රතාවයක් වුවද සිදුවිය හැකි නමුත්, එය විමුක්තියට මඟ සලසන්නේ නැත. කාම ආශාව කෙරෙහි ඔබගේ මනස මනාව ඒකාග්‍රවී තිබිය හැක. නමුත් එයින් ප්‍රයෝජනයක් නැත. ඔබ ද්වේශ කරන දෙයක් කෙරෙහි ඒකාග්‍ර වූ මනස උපකාරී නොවෙයි. එවන් ඒකාග්‍ර මනසක්, විශේෂයෙන් ඔබ තව කෙනෙකුට හිංසාවක් කිරීමට යොදාගන්නා විට, එය ඉතා කෙටි කාලයක් පවතින තත්ත්වයකි. සැබෑ සමාධිය එවන් දූෂිත බවෙන් තොරවෙයි. එය මනස එක් තැන්වීමේ ක්‍රමයක් බැවින් බලය හා ශක්තිය ලබාගනී. මෙය කාචයකට සමාන කළ හැක. කඩදාසියක් මතට වැටෙන සාමාන්‍ය හිරුඑළිය කඩදාසිය උණුසුම් කිරීමට වඩා දෙයක් නොකරයි. නමුත්, එම හිරුඑළිය ප්‍රමාණයම කාචයක් තුළින් ඒක කේන්ද්‍රික වී පතිත වන විට කඩදාසි කොළය ගිනි ගනියි. සමාධිය කාචයයි. මනසේ ගැඹුරු ස්ථාන දැකිය හැකිවන තරම් ප්‍රබලත්වයක් එය නිපදවයි. කේන්ද්‍ර කර ගත යුතු වස්තුව තෝරා ගන්නා සිහිය කාචය තුළින් එහි තිබෙන දේ නිරීක්ෂණය කරයි.
සමාධිය මෙවලමක් ලෙස සැලකිය හැකිය. අනෙකුත් සෑම උපකරණයක් සේම, එය ද යහපත සඳහා හෝ අයහපත සඳහා හෝ භාවිත කළ හැක. තියුණු පිහියක් සුන්දර නිර්මාණයක් කැටයම් කිරීමට මෙන්ම තවකකුට හානියක් කිරීමට ද පාවිච්චි කළ හැකිය. තේරීම ඇත්තේ එය පාවිච්චි කරන්නාගේ අතේය. සමාධිය ද මෙයට සමාන වෙයි. මනාව භාවිත කළ විට එය ඔබගේ විමුක්තිය සඳහා උදව් කරනු ඇත. නමුත් එය ඔබගේ මමත්වයට සේවය කිරීම සඳහා ද පාවිච්චි කිරීමට පුළුවන. ඔබගේ දිනා ගැනීම් සහ සාර්ථකත්වය උදෙසා ද එයට ක්‍රියා කළ හැක. ආත්මාර්ථකාමී වීම සඳහා ද එය පාවිච්චි කිරීමට හැකිය. අනෙක් පුද්ගලයන් යටපත් කිරීමට ද එය යොදාගත හැකිය. ප්‍රශ්නය වන්නේ, සමාධිය තනිව ගත්කළ ඔබට, ඔබ පිළිබඳව මනා පින්තූරයක් ලබා නොදීමයි.
ආත්මාර්ථකාමීත්වය හා දුකෙහි ස්වභාවය පිළිබඳව ඔබට අවබෝධයක් එය ලබා නොදෙයි. ගැඹුරු මානසික ස්වභාවයන් දක්වා ගමන් කිරීමට එය පාවිච්චි කළ හැකිය. එසේ වුවද මමත්වයේ බලය හඳුනා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත. එය කළ හැක්කේ සිහියට පමණි. කාචය තුළින් බලා අනාවරණය කරගත් දේ කුමක්දැයි දැකීමට සිහිය එහි නැතිනම්, එය ද නිෂ්ඵලය. සිහිය පමණක් තේරුම් ගනියි. ප්‍රඥාව ඇති කරන්නේ ද සිහිය පමණි. සමාධියට වෙනත් අඩුලුහුඬුකම් ද තිබේ.
ගැඹුරු සමාධිය ඇතිවන්නේ සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණකි. භාවනා ශාලා හා ආරණ්‍ය ගොඩනැඟීමට බෞද්ධ ශ්‍රාවකයෝ බොහෝ වෙහෙස මහන්සි වෙති. ඔවුන්ගේ පරමාර්ථය මෙම නිපුණතාවය පුරුදු කිරීමට අවශ්‍ය භෞතික පරිසරය නිර්මාණය කිරීමයි. ශබ්ද හා බාධා නැති වාතාවරණයක් ගොඩනැඟීමයි. කෙසේ වෙතත් බාධාවලින් තොර මානසික වටපිටාව ද ඒ හා සමානවම වැදගත් වෙයි.
(සමාධිය ගල් පිළිමයක් වන අයුරු ලබන කලාපයෙන් සාකච්ඡා කරමු)